ජනක රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, කුමාර වෙල්ගම සහ ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ආණ්ඩුවත් සමග එක්ව ඡන්දය ලබාදුන්නද, ඔවුන්ට අමාත්‍ය ධුර ලබා නොදෙන බව ආණ්ඩුවේ ඉහළම තැනකින් පොහොට්ටුව වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
අවස්ථා කිහිපයකදීම පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයා හමුවී පොහොට්ටුවට කැබිනට් අමාත්‍ය ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලීම් කර තිබුණද, මෙතෙක් එය ඉටුවී නැත.
නමුත් අනුර ප්‍රියදර්ශන යාපා, ඒ.එච්.එම්. ෆවුසි සහ කුමාර වෙල්ගම යන මහත්වරුන් ආණ්ඩුවත් සමග එක්ව පසුගිය බදාදා ඡන්දය ලබාදීමත් සමග ඔවුන්ට කැබිනට් අමාත්‍ය ධුර හිමිවන බවට යම් කිසි රාවයක් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගොස් තිබිණි.
මේ බව පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ද බැසිල් රාජපක්ෂ මහතා හමුවී පැමිණිලි කිරීමට පියවර ගෙන තිබිණි.
ඒ අනුව ආණ්ඩුවෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඉහළම තැනකින් දැනුම් දී ඇත්තේ මෙම මන්ත්‍රීවරුන් තිදෙනාට අමාත්‍ය ධුර ලබාදීමක් කිසිසේත් සිදු නොවන බවත්, එසේ අමාත්‍ය ධුර ලබාදෙන්නේ නම් පළමුව පොහොට්ටුවට ලබාදීමට කටයුතු කරන බවත්ය.