පසුගිය රජය විසින් බෝඩ් ගසා ජාතික පාසල් බිහි කිරිමට ලක්ෂ 20ක් එවක වියදම් කළ බවත් එම ලක්ෂ 20න් වත්මන් මිලට සුහුරු පන්ති කාමර 2ක් සෑදීමට හැකි වුවත් එවැනි දෙයක් සිදු නොවු බවත් එම නිසා නාමපුවරු දේශපාලනය ඉවත් කර සැම මුදලක්ම පාසල් දූදරුවන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා යොදා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල වැඩසටහනේ 99 වැනි අදියර යටතේ බණ්ඩාරගම වල්ගම ශ්‍රී සද්ධාතිස්ස ජාතික පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් නොව දරුවන්ගේ සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කරන්න
වත්මන් පාලකයන් බදු ගෙවන්නන්ගේ මුදලින් සුන්දර විදේශීය ගමනක් ගොස් සැප විද පැමිණියත් දේශපාලනඥයන් පාලකයන්ගේ සුඛ විහරණය වෙනුවෙන් නොව රටේ අනාගතය බාර ගැනිමට නියමිත දරුවන්ගේ සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ මිනිස්සු ණය කාරයෝ වෙලා
රටේ මිනිසුන් බොහොම අමාරුවෙන් ජීවත් වෙන බවත් වැටුප ප්‍රමාණවත් නොවන නිසා ණය ලබා ගෙන ඇති බවත් පොලී කාරයන්ට ණය කාරයන්ට යටත් වී ඇති බවත් ගුරු ක්ෂේත්‍රය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් ඇතුළු පොදු ජනතාව මේ විෂම චක්‍රයට හසුවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගත් රට ආර්ථික ත්‍රස්තවාදීන්ට යට වුණා
දේශපාලඥයන් පාසල්වල පලක සකස් කර ගොඩනැගිලි විවෘත කර ප්‍රවෘත්තිවලට ලස්සන රූපරාමු ලබා දී ගෙදර ගියත් එම පාසල් ගොඩනැගිලි නඩත්තු කිරිමට නොහැකි වීම නිසා විනාශ වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 30 වසරක කොටි ත්‍රස්තවාදී යුද්ධයෙන් වීරෝධාර රණවිරුවන් රට මුදවා ගත්තත් එසේ මුදවා ගත් රට බේරා ගත් නායකයෝ රටේ මුදල් පිට් පොකට් ගසා ආර්ථික ත්‍රස්තවාදයක් ඇති කළ බවයි.
මෙම ආර්ථික ත්‍රස්තවාදීන්ට කිසිදු සහනයක් ලබා දීමට සමගි ජන බලවේගය කටයුතු නොකරන බවත් ඔවුන් සොරා ගත් සම්පත් දේපල නැවත රටට ලබා ගෙන එම මුදල් රටේ සංවර්ධනය වෙනුවෙන් යොදවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 99ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 976ක් වැය කර තිබේ.



























