දරුවෙකුට ජීවිතයේ ලැබෙන උපරිම රැකවරණය, ආදරය ලැබෙන්නේ තමන්ගේ අම්මා තාත්තා ළඟ ඉන්නකොටයි. අම්මා තාත්තාගෙන් තරම් ආදරයක් රැකවරණයක් කිසිම දරුවකුට වෙන කාගෙන්වත් ලැබෙන්නේ නැහැ. නමුත් එවැනි ආරක්ෂාවක් ලබාදෙන අම්මා තාත්තාගේ ඇස් වහලා දරුවෙක් පැහැරගෙන ගිහින් දූෂණය කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒක මොන තරම් ඛේදජනක සිදුවීමක්ද? (Sri Lanka Latest News)
එවැනි සිදුවීමක් පසුගිය දවසක අපට අහන්න ලැබුණේ පිළියන්දල ප්‍රදේශයෙන්. පියාගේ උණුසුමේ නිදා සිටි පස් හැවිරිදි දැරියක් එලෙස පැහැරගෙන ගිහින් අපයෝජනය කිරීමට උත්සාහ දරා තිබුණේ 17 හැවිරිදි තරුණයෙක්. ඔහු මෙම දැරිය පැහැරගෙන ගිහින් අතහැර දමා සිටියදී සොයාගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා. ඒ අනුව 17 හැවිරිදි තරුණයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර තිබුණේ.
සැකකරු පසුගිය 22 වැනිදා රාත්‍රියේ මත්පැන් පානය කර ඇති අතර, අනතුරුව දැරියගේ නිවසට ඇතුළුවී පියා සමග නිදා සිටි දැරියව පියාට නොදැනෙන ලෙස පැහැරගෙන ගොස් තිබුණා. රෝගී තත්ත්වයක් නිසා එදින දැරියගේ මව වෙනත් කාමරයක නිදා සිට ඇති අතර, දැරිය පියා සමග නිදා සිට ඇත්තේ නිවසේ සාලයේ තිබූ ඇඳකයි. රාත්‍රී 11.45ට පමණ මව වැසිකිළියට ගොස් ඇති අතර, ඒ අවස්ථාවේදීත් දැරිය පියාගේ තුරුලේ සිටින බව ඇය දැක තිබුණා. අනතුරුව දැරියගේ මවට ටික වේලාවකින් විශාල ශබ්දයක් ඇසී ඇති අතර, ඒ සමගම ඇය දැරිය නිදා සිටි තැනට පැමිණ තිබෙනවා. ඒ අනුව, පියා සමග නිදා සිටි දැරිය එහි නොමැති බව දැකීමෙන් කලබලයට පත්වූ මව කෑගසන්නට පටන්ගෙන ඇත. සැකකරු දැරියව පැහැරගෙන ගොස් තිබුණේ ඇගේ නිවසේ සිට මීටර දෙසීයක් පමණ දුරින් පිහිටි අතහැර දමන ලද කුඹුරකටයි. අනතුරුව එම කුඹුර අසල පිහිටි තාප්පයක් අයිනේ දැරිය අඬමින් සිටියදී ඇගේ මවුපියන්ට දැරිය සොයාගැනීමට හැකියාව ලැබී තිබුණා.
මෙම සිදුවීමෙන් මහත් කම්පනයට පත් දැරියගේ මව සිය අත්දැකීම මෙලෙස විස්තර කර සිටියා.
‘ප්ලාස්ටික් පුටුවක් සෙලවෙනවා වගේ ශබ්දයක් ඇහුණා. අම්මා කෑගහුවා දරුවා නැහැ කියලා. ජනේලයේ තිර රෙද්දත් ඈත්වෙලා තිබුණා. මම හිතුවා කවුරු හරි දරුවා අරන් ගිහින් කියලා….’
දැරියගේ පියා පැවැසුවේ මෙවැන්නකි.
‘මමයි දුවයි නිදාගෙන හිටියේ. බබා නැහැ කියලා කෑගහද්දීයි මට ඇහැරුණේ. මම කුස්සියටත් ගිහින් බැලුවා. දුව නැහැ. අම්මයි නෝනයි කෑගැහුවා. මම එළියට බැහැලා හොයන්න පටන් ගත්තා. පස්සේ වෙල ළඟ හිටපු දුවව මම අරන් ආවා….’
ඒ සමගම ඔවුන් මෙම සිදුවීම සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය 17 හැවිරිදි සැකකාර තරුණයා අත්අඩංගුවට ගත්තා. ඔහු නිවන්තිඩිය, සියඹලාගහ වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි අනාවරණ කරගෙන තිබුණේ.
සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී සැකකරු පවසා තිබුණේ මාස කිහිපයක සිට තමන්ට දැරිය කෙරෙහි දැඩි කැමැත්තක් හටගත් බවත්, ඒ අනුව ඇයව අපයෝජනය කිරීමේ අදහසින් මෙලෙස පැහැරගෙන ගිය බවයි. කෙසේ වෙතත් දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණු අතර, එහිදී හෙළිව ඇත්තේ ඇයට කිසිදු හිරිහැරයක් සිදුව නොමැති බවයි.
මෙම පැහැරගැනීම සිදුවූ අවස්ථාවේ දැරිය සෙවීමට මවුපියන් සහ ගම්වාසීන් කටයුතු කරද්දී අදාළ සැකකරුද ඔවුන් සමග එක්ව දැරිය සෙවීමට උදව් කර ඇති බවද හෙළිව තිබේ.
‘මව්රට’ අපි මෙවැනි කනගාටුදායක සිදුවීම් රාශියක් මීට පෙර අවස්ථා ගණනාවකදීද ඔබට ලියා තැබුවා. අප රට තුළ අහිංසක දරුවන්ට සිදුවන මෙවැනි හිංසනයන් දිනෙන් දිනම ඉහළ යමින් පවතින බව මේ සිදුවීමෙන්ද පැහැදිලි වෙනවා. වසරකට ළමා ආරක්ෂක අධිකාරියට මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබෙන බවයි එම අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
යම්කිසි දරුවකුට අපරාධයක් සිදුවන බව දැනුණහොත් ඒ පිළිබඳ වහාම ළමා අරක්ෂක අධිකාරියට දැනුම් දීමට කටයුතු කළ යුතුයි. රටේ අනාගතය වන මල් කැකුළු වන් දරුවන්ගේ අනාගතයම අඳුරු කිරීමට මෙවැනි විකෘති ආශාවන්ගෙන් පිරුණු පුද්ගලයන්ට ඉඩ නොතැබීමට අප සැවොම වගබලාගත යුතුයි. එම නිසා දරුවන් පිළිබඳ ඉතා විමසිල්ලෙන් කටයුතු කරන්නටත්, දරුවන්ව මෙවැනි අපචාරයන්ගෙන් මුදාගැනීමටත් වැඩිහිටියන් වන අපගේ මෙන්ම සමාජයේද වගකීමකි.
නිතරම ඔබේ දරුවාට සවන් දෙන්න. ඔවුන් පවසන දේ පිළිබඳ සැලකිලිමත් වන්න. විමසිල්ලෙන් ක්‍රියා කරන්න. දරුවන් ආරක්ෂා කරගැනීම ඔබේ ප්‍රමුඛ වගකීමක් බව සිතන්න. එවිට දරුවන්ගේ හෙට දවස ලස්සන වේවි.
ළමා හිංසනයක් හෝ අපචාරයක් ගැන ඔබ දන්නේ නම් වහාම 1929 හෝ 0112 778 911 – 12 – 14 යන දුරකතන අංක අමතා ළමා ආරක්ෂක අධිකාරිය දැනුවත් කරන්න.

නිලන්ති රේණුකා









