ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම වෙනුවෙන් තුච්ඡ තුරුම්පුවක් ලෙස දොස්තර සාෆි සහබ්දීන් මහතාගේ වඳ සැත්කම් සිදුවීම යොදාගත් බවට මාධ්‍යවේදියෙකු බරපතළ අනාවරණයක් සිදු කර තිබෙනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ මාධ්‍යවේදී තරිදු ජයවර්ධන මහතා මෙම කරුණු හෙළි කර තිබෙනවා.
පොලිසිය, අධිකරණය සහ රෝහල් ඇතුළු ආයතන රැසකගේ පුද්ගලයින් රැසක් ද මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වී කටයුතු කළ ආකාරය පිළිබඳවද ඔහු මෙහිදී කරුණු හෙළි කර තිබෙනවා.
මෙහි ඇති විශේෂත්වය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක් අදාළ පරීක්ෂණ වලට සහභාගී වූ විමර්ශන නිලධාරීන්ට බලපෑම් කර ඇති බවද මෙහිදී අනාවරණය වීමයි.
2019 මැයි මස 23 වනදා තෞහිද් ජමාත් දොස්තර සිංහල මව්වරුන් 4000ක් වඳ කරලා යන මැයෙන් මෙරට ප්‍රසිද්ධ ජාතික පුවත්පතක පළවූ පුවතක් හේතුවෙන් මෙරට ජන සමාජය තුළ බරපතළ අර්බුධ රැසක් නිර්මාණය වූ අතර මෙම සිද්ධිය හේතුවෙන් කුරුණෑගල රෝහලේ නාරි හා ප්‍රසවවේදය පිළිබඳ වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔහුගේ රැකියාවද ඔහුට අහිමි වුණා.
කෙසේ වෙතත් සිදු කරන ලද විමර්ශන වලදී මෙම සිදුවීම නිර්මාණය කරන ලද ව්‍යාජ එකක් බව තහවුරු වී ඇති අතර වෛද්‍ය සාෆි සහබ්දීන් මහතාට හිඟ වැටුප් ද ගෙවමින් යලි සේවයේ පිහිටුවීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.










