හරියටම මීට මාස 6කට කලින් කඳුකරයේ කඳු අතරින් එහා මෙහා දිවයන මල් කොල්ලෙක් ගැන ලෝකයේම අවධානය යොමුවුණා. අනේ මේ කතාකරන්නේ අපේ රටේ කොල්ලෙක් ගැන නේ කියන හැඟීම අපේ හදවතට දැනුණා. චීන ජාතිකයන් පිරිසක් රැගත් බස් රථයක් සංචාරයක නිරත වන විට මේ මල් කුමාරයා ඔවුන්ට මල් විකුණන්න දුවගෙන ආවා. එදා ඒ චීන ජාතිකයන් එය වීඩියෝ කරලා සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් අනතුරුවයි ඔහු ගැන ලෝකයම කතාකරන්නට පටන් ගත්තේ. (Sri Lanka Latest News)
කෙනකුගේ ජීවිතයට වාසනාව උදාවෙන්නේ අපි නොහිතන වෙලාවකයි. මේ මල් කුමාරයාගේ නම දිලිප් මධුශංක. ගම්පොළ පාරේ ලබුකැලේ ෆැක්ටරිය ආසන්නයේ කොණ්ඩගල ප්‍රදේශයේ පිහිටි කුඩා නිවෙසක ජීවත් වෙන දිලිප්ට තවම වයස අවුරුදු 18යි. ඔහු එදා ඔහුට ආදරය කරන අයගෙන් ඉල්ලුවේ මල් විකුණන්න පුංචි මල් කඩයක් හදලා දෙන්න කියන ඉල්ලීමයි. ඔහුගේ ඒ අහිංසක සිහිනය සැබෑ කරගන්න හිත හොඳ මනුස්සයෙක් උදව් කරලා කියලා අපට දැනගන්න ලැබුණා. ඒ පුවත කනවැකුණු අපි හැමෝටම දැනුණේ වචනයෙන් කියලා නිම කරන්න බැරි සතුටක්.
දිලිප්ගේ මේ සිහිනය ජයගන්න උදව් කරලා තියෙන්නේ ඔස්ටේ්‍රලියාවේ ජීවත් වෙන අනූ තෝරදෙණිය කියන මහත්මයා. සමාජ මාධ්‍ය පරිශීලනය කරන බොහෝ දෙනෙක්ට ඔහුව අමුත්තෙක් නෙවෙයි. අනූ තෝරදෙණිය මහතා ලංකාවේ නිවාඩුවකට පැමිණි වෙලාවක නුවරඑළිය බලා යන අතරතුරදී දිලිප්ව මුණගැහිලා ඔහුට පොරොන්දුවක් දීලා තිබුණා අපේ මල් කුමාරයට මල් කඩයක් හදලා දෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි අනූ තෝරදෙණිය මහත්තයගේ ගීතයක් සහිත වීඩියෝවකට දිලිප්ව රංගනයෙන් දායක කරගන්නත් ඔහු කටයුතු කරලා තිබුණා. නැවත වරක් ලංකාවට පැමිණි අනූ තෝරදෙණිය මහත්තයා එදා දිලිප්ට වෙච්ච පොරොන්දුව පසුගිය 07 වැනිදා ඉටුකරලා තියෙනවා. දිලිප්ට සිය මල් ව්‍යාපාරය හොඳින් කරගෙන යන්න අවශ්‍ය පහසුකම් සහිතව ඉතා ආකර්ෂණීය මල් අලෙවි සලක් ඔහු ඉදිකරලා දීලා. ඒ වගේම සෑම මසකම විදේශීය සංචාරකයන් පිරිසක් මේ මල් අලෙවිසලට එවන්නත් තෝරදෙණිය මහත්මයා කටයුතු යොදලා තියෙනවා.
දිලිප්ගේ අලුත් මල් අලෙවිසල පිහිටා තිබෙන්නේ පලාගොල්ල පූනාව කියන ගම්මානයේ. අහිංසක හිනාවෙන් මුව සරසාගත් දිලිප්ගේ විශාල ප්‍රමාණයේ ඡායාරූපයකුත් මල් අලෙවිසල ඉදිරිපස සවිකරලා තියෙනවා. ඉතින් මේ වාසනාවන්ත අවස්ථාව තමන්ගේ දරුවාට හිමිවීම ගැන දිලිප්ගේ පුංචි අම්මා, ආච්චි අම්මා සහ තාත්තාටද ඇත්තේ ඉහවහා ගිය සතුටක්.
අද අපේ කතානායකයා දිලිප් තමන්ගේ සතුට ප්‍රකාශ කළේ මේ විදියට.
‘අද ගොඩාක් සතුටුයි. අනූ මහත්තයාට ගොඩාක් ස්තුතියි. ගොඩාක් කාලයක් ඉඳලා මට තිබුණු ලොකුම හීනය වුණේ මල් කඩයක් දාන එක. ඒ හීනය සැබෑ කරලා දුන්නේ අනූ මහත්තයා. මට අනූ මහත්තයා කිව්වා හැම මාසෙකම 15 වැනිදාට ඔස්ටේ්‍රලියාවේ ටුවරිස්ට්ලා කට්ටියක් මගේ කඩේ ගාවට එවනවා කියලා…’
විදෙස්ගත වෙලා රැකියාවක් කරන බොහෝ දෙනකුට තමන්ගේ උපන් බිම වන ලංකාව අමතක වෙනවා. නමුත් අනූ තෝරදෙණිය ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්. තමන් පිටරට ඉඳලා මුදල් උපයනවා වගේම, ධනවත් වෙන විදිය ගැන, හිත ධෛර්යවත් කරගෙන ඉහළට යන විදිය ගැන ඔහු තම අත්දැකීම් හැම කෙනෙක් එක්කම බෙදාගත්තා. උදව් අවශ්‍ය බොහෝ දෙනකුට උපකාර කරන්න නොපැකිලව ඉදිරිපත් වුණා. ඔවුන්ගේ හිත් ශක්තිමත් කළා. තමන්ගේ ජීවිතේ කටුක අත්දැකීම් ගැනත්, ඒවා ජයගත් විදිය ගැනත් ඔහු නිර්ලෝභීව අපේ අයට කියලා දුන්නා.
අපේ රටේ දියුණු වෙන්න ආසාවක් තියෙන අහිංසක කොල්ලෙකුගේ අනාගතය වෙනුවෙන් කැපවුණු තෝරදෙණිය මහත්මයාට අපි හැමෝම ස්තුතිවන්ත විය යුතුයි. ඔහුගේ සංකල්පය වුණේ ‘සීරෝ ටු හීරෝ’ (’ැරද එද ්‍යැරද) යන්නයි. අන්තිම අඩියේ ඉන්න කෙනෙක් ඉහළටම ඔසවා තැබීමයි ඒ සංකල්පයේ අර්ථය වෙන්නේ.
බොහෝ දෙනෙක් කරන්නේ දුප්පත් කෙනෙක් දැක්කාම කීයක් හරි දෙන එකයි. නමුත් ඒ විදියට දෙන සල්ලි ටික දවසකින් ඉවර වෙනවා. ඊට පස්සේ ඔහු කලින් වගේම ආයෙත් අසරණ වෙනවා. නමුත් අනූ තෝරදෙණිය මහත්මයා කරපු මේ උපකාරයෙන් දිලිප්ගේ අනාගතයටම වටිනාකමක් ලැබුණා. ඒක ඔහුට වටිනා ආයෝජනයක් වුණා.
කඳු පාරවල් අතරින් දුවගෙන ගිහින් සංචාරක බස් රථ, වෑන් රථ හඹාගිහින් මල් විකුණන රස්සාව පහසු එකක් නම් නෙවෙයි. දවසට කිලෝමීටර 4ක් 5ක් දුවලා තමයි කීයක් හරි හොයාගන්න ලැබෙන්නේ. මොකද එක තැනකින් සංචාරක බස් එක මිස් වුණොත් වෙනත් පාරකින් නැවතත් බස් එක හඹාගෙන යන්න ඕනේ. වංගු, කඳු බෑවුම් සහිත තේ වතු මැදින් දිවයමින් ජීවිතයත් පරදුවට තියලා දුවන්නේ ජීවිතය ගැටගහ ගන්නටයි. සමහර වෙලාවට දෙපයේ කූඩැල්ලෝ එල්ලිලා ලේ ගලනවා. ඒ ගැනවත් නොහිතා තමන්ගේ ඉලක්කය ජයගන්නයි දිලිප් හැම තිස්සෙම කටයුතු කළේ. ඔහු මේ රස්සාව කළේ ඉතා සතුටෙන්. හැම වෙලාවෙම ඔහුගේ මූණේ රැඳිලා තිබුණේ සුන්දර හිනාවක්. කරන රැකියාව මොකක් වුණත්, කොයි තරම් දුෂ්කර වුණත් ඒක ආදරෙන්, හදවතට එකඟව කළාම ඒ තුළින් ජීවිතයට ආශීර්වාදයක් උදාවෙනවා. දුක් මහන්සියෙන්, කාටවත් වංචාවක් නොකර කරපු රැකියාව දිලිප්ට වාසනාව උදාකළේ අන්න ඒ හින්දයි.
‘දිලිප්ගේ තාත්තාගේ ඇස් පේන්නේ නැහැ. පුංචි අම්මා ශල්‍යකර්මයක් කරලා. ගොඩාක් අය දිලිප්ගේ වීඩියෝ සමාජ මාධ්‍යයට යොමුකරලා මුදල් හම්බකරගන්නවා. ඒත් දිලිප්ට උදව් කරන පිරිස අඩුයි. අනූ මහත්තයා තමයි ගොඩාක් සල්ලි වියදම් කරලා ඔහු වෙනුවෙන් කඩයක් හරි හදලා දුන්නේ. ඒ මහත්තයා බුදුන් දැක නිවන් දකින්න ඕනේ….’ ‘මව්රට’ අපිට එහෙම කිව්වේ දිලිප්ගේ ආච්චි අම්මායි. දිලිප්ට ඉන්නේ මල්ලි කෙනෙක් සහ අක්කලා දෙදෙනෙක් විතරයි. පසුගිය කාලේ ඔහුට චීනයට යන්න ආරාධනා ලැබුණත් ඔහු ඒකට කැමැති වුණේ නැත්තේ තමන්ගේ ආදරණීයයන් දාලා යන්න බැරි නිසයි.
සංචාරකයන් මේ කොල්ලාවම සොයාගෙන ආ අවස්ථා තිබුණා. ලංකාවේ කොල්ලෙක් ජීවත් වෙන්න දරන උත්සාහය ගැන මුළු ලෝකයටම පෙන්නුවා. ඔහු මානසිකව වැටුණේ නැහැ. අන්තිම වෙනකල්ම මේ මල් මල්ලි සටන අතහැරියේ නැහැ. ජීවිතය දිනන්න හොඳම ආදර්ශය මේ මල් මල්ලි. චින සංචාරකයකුගේ ජංගම දුරකතනයෙන් මේ මල් කුමාරයාගේ වීඩියෝව මුදාහැරලා මුළු සමාජ මාධ්‍යයම වගේම චීනයත් කැලඹීමට පත්කළා. ඊට පස්සේ තමයි බොහෝ දෙනෙක් දැනගත්තේ මෙහෙම මල් විකුණන රැකියාවක් තියනවා කියලා. චීනය ඇතුළු මුළු ලෝකයේම මෙම වීඩියෝවේ නැරඹුම් වාර ගණන මිලියන සිය ගණනක් ඉක්මවා ගියේ ඉතා කෙටි කාලයකින්. ඊට පස්සේ මේ මල් මල්ලිව සොයාගෙන බොහෝ දෙනෙක් එන්න පටන්ගත්තා. චීන සංචාරක නියෝජිත ආයතනයක් විසින් මේ තරුණයාව සොයාදෙන ලෙස මෙරට සංචාරක ආයතනයකට දැනුම් දුන්නා. චීන ජාතිකයන් මේ දිලිසෙන ඇස් තියෙන මල් කුමාරයා දැකලා එදා සමාජ මාධ්‍යයේ මේ වගේ සටහන් තබලා තිබුණා.
‘එයා හරිම කෙට්ටුයි. නමුත් ජීවිතයට ආදරය කරන, ගොඩාක් වෙහෙස මහන්සි වෙන ඔහු ඇත්තටම කඩවසම්. මම දවසක ලංකාවට ගියොත් මමයි මගේ යාළුවොයි එයාගේ මල්වලට කැමැති වේවි… එයාව හඳුනාගන්න ආසයි…’
‘එයා වෙනුවෙන් ශ්‍රී ලංකාවට යන්න ආස හිතුණා. ඒ, වෙන දෙයක් නිසා නෙවෙයි, එයාගේ දිලිසෙන ඇස් නිසා…’
‘ශ්‍රී ලංකාව දුරද? ඔව් දුරයි. මම අවුරුදු 7කට කලින් එහෙ යන්න වාසනාවන්ත වුණා. මුළු ජීවිතේටම ඒ ගමන අමතක වෙන්නේ නැහැ….’
‘දැන් මගේ වයස 36ක්. මගේ මුළු ජීවිතයේම ලංකාවට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතිවෙයි. ඒ නිසා මම මේ විඩියෝව තුන් සැරයක්ම බැලුවා. ඒ වීඩියෝවේදි එයා මට 15 සැරයක් මල් දුන්නා. ඒ මල් ඇත්තටම මගේ අතට ආවේ නෑ. නමුත් ඒ මල් මගේ හදවතේ පිපිලා…’
දිලිප්ට චීන ජාතිකයන් කොයි තරම් වසඟ වෙලාද? දිලිප් ඒ හදවත් කොයි තරම් සොරාගෙනද කියලා ඒ වචන අපිට සනාථ කරනවා. තවත් කමෙන්ට් එකක මෙහෙම සඳහන් වී තිබුණා.
‘එයා හරි කළුයි. ඒත් කඩවසම්. මම ලංකාවට ආවොත් එයාව බලන්න කැමැතියි. කතා කරන්න ආසයි….’
දිලිප් ගැන වීඩියෝව වයිරල් වෙද්දී චීන ජාතිකයන් ඔහුට ජංගම දුරකතන, ඇඳුම් පැලඳුම්, මුදල් ඇතුළු බොහෝ තෑගිබෝග ලබාදුන්නා. ඔහු ගැන සොයා බලන්න, සංචාරයන් අතරතුරදී ඇවිත් ගියා.
එක වෙලාවක දිලිප් තමන්ගේ රැකියාව ගැන මේ විදියට කිව්වා.
‘2014 තමයි මල් විකුණන්න පටන් ගත්තේ. අපි ඉස්කෝලේ ගිහින් ඇවිත් හවස 2ට විතර පාරට එනවා මල් හදාගෙන. නිවාඩු දවසට උදේ 9ට විතර එනවා මල් හදාගෙන. උඩට පල්ලෙහාට දුවනවා. හැන්දෑවේ 6.30ට විතර ගෙදර යනවා. මල් මිටි දෙකක් විකිණෙන දවස් තියෙනවා. විකුණගන්න බැරි දවසුත් තියෙනවා…’
මල් තියෙන්නේ ජීවිතයේ විවිධ අවස්ථාවන් එළිය කරන්නයි. උපතේ සිට මරණය දක්වාම අපි විවිධ අවස්ථාවන්ට මල් යොදාගන්නවා. දිලිප් ඒ ලස්සන මල්වලින් ලෝකයක් වසඟයට පත්කළා. මිනිස්සු කොයිතරම් ජීවිතවල දුක හිනාවකින් වහගෙන කල් ගෙවනවාද? ඒ ජීවිතවලට සොබාදහමත් ආශීර්වාද කරනවා. සංසාරේ කළ පින් ඔහුව සොයාගෙන එන හැටි හරි පුදුමයි කියලයි අපිට දැනෙන්නේ. අපිට දිලිප්ගෙන් ගන්න පුළුවන් ආදර්ශය තමයි තව කෙනකුගේ හදවතක් සොරාගන්න අවංක හිනාවකට පුළුවන්ය කියන කාරණාව. ඔහුගේ අහිංසක හිනාව නිසා ඔහුගේ ජීවිතයම ආලෝකවත් වුණා.
වර්තමානයේ බොහෝ තරුණ දරුවන් මත්ද්‍රව්‍යවලට, විවිධ අපචාරයන්ට ඇබ්බැහි වෙලා ඉන්නවා. නමුත් දිලිප් ඒ හැමෝටම කදිම ආදර්ශයක්. විනාශකාරී දේවලට ඇබ්බැහි නොවී තමන්ගේ අම්මා තාත්තා ජීවත් කරවන්න, අලස නොවී වීර්යයෙන් කටයුතු කරපු ඔහු ලෝකයටම අපූරු පාඩමක් කියලා දුන්නා.
අහිංසක මිනිස්සු ජීවිතය දිනනවා දකිද්දී හදවතට දැනෙන හැඟීම සතුට මෙතෙකැයි කියලා නිම කරන්න බැහැ. එයාලට ජීවිතය දිනන්න උදව් කළ හැම කෙනාටම බොහෝ පින්. ඒ වගේ මිනිස්සු ලෝකේ කොහේ හිටියත් උතුරන්න හරියන්න ඔනේ කියලයි හැමෝගෙම ප්‍රාර්ථනාව වුණේ. දිලිප්ගේ අහිංසක දෑස්වලට හිනාවක් ගේන්න දායක වෙච්ච හැම දෙනාටම බොහොම ස්තුතියි. නුවරඑළියේ යන එන වෙලාවක ඔබත් දිලිප්ගේ පුංචි කඩේට ගොඩවෙලා ඔහුගෙන් මල් මිටක් අරන් යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම දුරබැහැර ඉන්න ඔබට, පහත සඳහන් දුරකතන අංකවලින් දිලිප්ට කතාකරලා සුබ පතන්නත් පුළුවන්. 0705345313 / 076 052 6702

නිලන්ති රේණුකා










