කවුඩුල්ල රක්ෂිතයේ සිට මඩකලපුව – කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි අලි රංචුවක් මීනගයා ශීඝ්‍රගාමි දුම්රියේ ගැටී පසුගිය 20 වැනිදා රාත්‍රියේ අනතුරක් සිදුවිය. එහිදී වන අලින් 6 දෙනකුට දිවි අහිමි වූ අතර, තවත් වන අලින් කිහිප දෙනකුට එම අනතුරෙන් බරපතළ තුවාල සිදුවිය. මෙලෙස දුම්රියේ ගැටී සිදුවන අලි මරණ දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන් මෙම ගැටලුව පාර්ලිමේන්තුවේදීද සාකච්ඡාවට බඳුන් විය. එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා, වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා ගතහැකි පියවරක් යෝජනා කළේය. අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ලෝකයේ විවිධ රටවල වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා යොදාගන්නා ක්‍රියාමාර්ගයන් ගැන දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළේය. Sri Lanka Latest News
පහත පළවන්නේ අමාත්‍ය බිමල් රත්නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් පළකළ එම අදහස්ය.
අමාත්‍ය බිමල් රත්නායක
‘මම අලි ගැන විශේෂ අවබෝධයක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි. නමුත් අමාත්‍යාංශයේ වැඩ භාර අරන් දෙසැම්බර් මාසේ 09 වැනිදාත්, දෙසැම්බර් 30 සහ ජනවාරි 03 යන දිනවල දුම්රියේ ගැටිලා අලි මැරෙන එක සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව එක්ක අපි කරපු සාකච්ඡාවලදී කිව්වා දුම්රිය මාර්ගය හරහා යන වන අලින් දුම්රියේ ගැටෙන ප්‍රදේශ හඳුනාගෙන ඒවාට යෝජනා කරලා තියෙන්නේ ගරු සභාපතිතුමනි, ගොඩක් විශාල වියදම් යන විශාල ෆ්ලයි ඕවර්ස් හදන යෝජනා. ඒ නිසා අපි යෝජනා කළා අධික වියදම් යන යෝජනා පස්සේ බලමු, ප්‍රජාව සම්බන්ධ කරගෙන. මොකද අලි පාර මාරුවෙන ස්ථානවලදී අලි හැප්පිලා මැරෙන්නේ ගම්මාන 10ක වගේ තැන්වලදී. ඒ 10 පිළිබඳ විස්තර පරිසර අමාත්‍යාංශයේත් දුම්රිය දෙපාර්තමේන්තුවේත් තියෙනවා.
දැන් මේ හැප්පිච්ච ගල්ඔය ගත්තොත් සැතපුම් 133 ඉඳලා 141 දක්වා ප්‍රදේශයේ හොඳට මාර්ක් වෙලා තියෙනවා අලි හැප්පෙනවා කියලා. ඒ නිසා අපි යෝජනා කළා මේ අවස්ථා තුනේදී දුම්රිය දෙපාර්තමේන්තුවට කරුණාකරලා මේ ගම්මාන 10 දෙන්න. ඒ ගම්මාන 10 ඉන්න ජනතාව සම්බන්ධ කරගෙන අපේ ජාතික ජනබලවේගයේ කොට්ඨාස සභාවල අතිවිශාල පිරිසක් ඉන්නවා ස්වේච්ඡාවෙන් වැඩකරන. ඔවුන්ගේ උදව්වත්, ගම්මුන්ගේ උදව්වත්, ග්‍රාමසේක මහත්වරුන්ගේ උදව්වත් අරගෙන, අලි ගැවසෙනවා නම් කෝච්චි පාර ආසන්නයේ ස්ටේෂන් මාස්ටර්ට කතාකරලා කියන්න කියලා මෙහෙම රංචුවක් ඉන්නවා, ඩ්‍රයිවර් මහත්වරුන්ට කියන්න කියලා. ඒ නිසා මේ රොකට් සයන්ස් මොනවත් මෙතැන නෑ. මම ඒකයි කියන්නේ ප්රශ්නය දැකලා, ප්‍රශ්නයට උත්තර හොයන්න මහන්සි වෙලා තිබියදී මේ ඛේදවාචකය වීම සම්බන්ධව ඇත්තටම කනගාටු වෙනවා…’
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
‘වන අලි සහ දුම්රිය අතර ගැටුම් සාර්ථකව නිරාකරණය කරපු අවස්ථා රැසක් තිබෙනවා. විශේෂයෙන්ම මම ඔබතුමාගේ අවධානය යොමුකරන්න කැමැතියි ඉන්ඩියන් ඩේල්වේ එක වයිල්ඩ් ලයිෆ් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ඩියා එක්ක ගජරාජ් කියලා ඇලර්ට් සිස්ටම් එකක් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒකට තර්මල් කැමරා සහ සෙන්සර් භාවිත කරනවා. මම යෝජනා කරනවා ඔබතුමාගේ අවධානය ඒකට යොමුකරන්න. ඒකට කියනවා කවක් සිස්ටම් කියලා. මේ ගැන පුළුල් අධ්‍යයනයක් කිරීම වැදගත්.
මම දන්නේ නෑ මේ යෝජනාව අපේ රටට සුදුසුද නැද්ද කියලා. කෙන්යාව වගේ රටවල යෝජනා වෙලා තිබෙනවා එලවේටඩ් රේල්වේ ලයින් සහ අන්ඩර්පාසස්. ඒකත් එක විසඳුමක්. හැබැයි ඒක අපේ රටේ ප්‍රශ්නවලට විසඳුම්ද නැද්ද, භූගෝලීය වටපිටාව පරිසරය ගැන හොයලා බලන්න ඕනේ. ඒ වගේම ඉන්දියාවේ අසාම්වල තියෙනවා මීමැසි ගහනය වැඩිකිරීම තුළින් සහ ඒකෙන් පිටවන ශබ්දය හරහා පාලනය කරන ක්‍රමවේදයක් තිබෙනවා. ඒ වගේම ජපානය නිර්මාණය කරලා තියෙනවා එල්.ඊ.ඩී ලයිට් විසඳුමක්.
තව විසඳුම් රාශියක් තිබෙනවා. හැබැයි මම ඔබතුමාට යෝජනා කරනවා මේ ප්රශ්නය විසඳා ගැනීම සඳහා යම්කිසි ඒකාග්‍රතාවක් ඇතිවෙන ඒකාබද්ධ වැඩසටහනකට ඔබතුමාගේ අමාත්‍යාංශයත් වනජීවී ක්ෂේත්රය නියෝජනය කරන අමාත්‍යාංශයත් හොඳ ස්ථාවර කමිටුවක් හරහා මේ ප්‍රශ්නයට විසඳුම් ලබාගන්නට විද්වත් විශේෂඥ රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම දේශපාලන අධිකාරියේත් අදහස් ලබාගෙන ඔබතුමාට හැකියාවක් තිබෙනවා මේ අයවැය රැස්වීම් ක්‍රියාත්මක වෙන කාලය තුළ පාර්ලිමේන්තුවේ අපේ අදහසුත් ලබාගන්න පොඩි වෙලාවක් කමිටු කාමරයක වෙන් කරලා ලබාගන්න පුළුවන් නම්, මම හිතනවා මේ ප්‍රශ්නයට දේශපාලනයක් නෑ. මේකට විසඳුමක් තමයි අවශ්‍ය. අපිත් සූදානම් අපේ අදහස් වඩාත් පුළුල්ව ලබාදෙන්න…’










