කුමාර් මහත්තයා සටන එළියට අරන් එයි!
IMF ඡන්දෙට නුවර සිටි මහින්දව කොළඹ අරන් ආ බැසිල් මෙහෙයුම!
වඩිවේල් ගැන දිගම්බරම් කියපු රහස!
මැයි රැලි සටනින් දිනුවේ සජිත්ද-අනුරද-බැසිල්ද?
ඇල්මැරුණු දේශපාලනය උණුසුම් කළ මැයි රැලි!
පළාත් පාලන මැතිවරණ ඡන්ද උණුසුම කෙමෙන් කෙමෙන් දේශපාලන පක්ෂවලින් සහ ජන සමාජයෙන් පහව ගියද, පසුගිය සතියේදී නැවත වතාවක් දේශපාලන පක්ෂ අතර උණුසුම වර්ධනය කරලීමට සමත් මාතෘකාව වූයේ මැයි රැලීන්ය. පසුගිය සති කිහිපය පුරාම ඇල්මැරුණු අයුරකින් දේශපාලන පක්ෂ කටයුතු කළද මැයි රැලි හේතුවෙන් නැවත වතාවක් සක්‍රීය ලෙස පාරට බසින්නටත්, පාක්ෂිකයන් ඒකරාශී කරන්නටත් සියලු දේශපාලන පක්ෂ ලහිලහියේ කටයුතු කරන ආකාරය දැකගත හැකි විය. මෙහිදී රටේම අවධානය යොමුව තිබූ ප්‍රධානම මැයි රැලි සටන පැවැත්වුණේ සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් අතරය. ඊට හේතුවී තිබුණේ එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවත් ජාමෙ බේරා ගැනීමට වැඩි සෙල්ලම් නොදමා මැයි දින සැමරුම් සිදුකරද්දී සජබෙ සහ ජවිපෙ සිය පූර්ණ ශක්තිය යොදා තම බලය පෙන්වීමට මැයි රැලි සංවිධාන කිරීමය.
සජිත්, ප්‍රේමදාස බළකොටුවට!
මේ සඳහා සමගි ජන බලවේගය තෝරාගත්තේ ප්‍රේමදාස බළකොටුවය. ඔවුන් සැලසුම් කර තිබුණේ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනය ආසන්නයේ සිට දහස් සංඛ්‍යාත ජනකායක් සමග පිටකොටුව ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයට පැමිණ එහි මැයි දින රැලිය පැවැත්වීමටය.
ජවිපෙ ගේමක් ගහයි!
ජවිපෙ මේ සඳහා තෝරාගත්තේ ඉකුත් වතාවේ මෙන්ම ක්‍රීඩාංගනයකට වඩා මහ පාරය. ඉකුත් වසරේ මැයි රැලිය පැවැත්වීම සඳහා ජවිපෙ තෝරාගත්තේ පිටකොටුව ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට මහ පාරය. එවිට සතර අතින් ඇදෙන පාක්ෂිකයන් මහ පාරේ ඒකරාශි වන බැවින් එය විශාල ජනකායක් ලෙස පෙන්වා දීමට එදා ජවිපෙට හැකි විය. ඒ අත්දැකීම මෙවරද ක්‍රියාවට නංවමින් ජවිපෙ මෙවර මැයි රැලිය පැවැත්වීමට තෝරාගත්තේ ටවුන්හෝල් වටරවුමය.
ගත්ත විදිහ ‘රාජ්‍ය රහස්’ දන්නවා!
මෙම ටවුන්හෝල් පරිශ්‍රය තෝරාගැනීම පසුපසද එක්තරා විශේෂ කතාවක් තිබේ. මුලින් ජවිපෙ ගාලුමුවදොර පිටියේ මැයි රැලිය පැවැත්වීමට සූදානම් වන බවට කතාබහක් ගියද පසුව යෝජනා වූයේ නිදහස් චතුරස්‍රයේ හෝ කොටුව දුම්රියපළ ඉදිරිපිට හෝ ටවුන්හෝල්වල මැයි රැලිය පැවැත්විය යුතු යැයි කියාය. ඒ අනුව ජවිපෙ ප්‍රධානීන් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුට කිහිප වතාවක්ම කතා කොට ඔවුන්ගේ මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී සමගි ජන බලවේගය කොටුව ආසන්නයේ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනය වෙන්කරගෙන තිබීම නිසා ඒ ආසන්නයේ ජවිපෙ මැයි රැලිය පැවැත්වීමට නොහැකි බව එම අමාත්‍යවරයා ජවිපෙට දැනුම් දීමක් කොට තිබිණි. නිදහස් චතුරස්‍රයද ඊට ලබා දීම ප්‍රතික්ෂේප කළ මෙම අමාත්‍යවරයා අවශ්‍ය නම් ටවුන්හෝල් පරිශ්‍රය ලබාදිය හැකි බව ජවිපෙට දැනුම් දී තිබිණි. ජවිපෙ සිය මැයි රැලිය පැවැත්වීම සඳහා උපක්‍රමශීලී ලෙස ටවුන්හෝල් පරිශ්‍රය ලබාගත්තේ ඒ ආකාරයටය.
එදා ඉදන්ම ෂෝ එක තිබ්බා!
සාමාන්‍යයෙන් ඉතිහාසයේ සිටම ආකර්ෂණීයම සහ සංවිධානාත්මකම මැයි රැලිය පැවැත්වූයේ ජනතා විමුක්ති පෙරමුණය. පක්ෂයේ ආරම්භක නායකයා වූ විජේවීරගේ කාලයේ සිටම ඉතා පිළිවෙළට, ආකර්ෂණීය ලෙස මැයි රැලි පැවැත්වීම ජවිපෙ සිරිත විය. එදා සිටම ජවිපෙ ඒ ෂෝ එක ඒ ආකාරයෙන්ම ඉදිරියට රැගෙන ආවේය. පසුගිය කාලය පුරාම එජාපය සහ පොහොට්ටුව විශාල ජනකායක් සහභාගි කරගෙන දැවැන්ත මැයි රැලි පැවැත්වුවද, ජවිපෙ සාමාන්‍ය පාක්ෂිකයන් පිරිසක් සමග වුවද අනෙකුත් මැයි රැලි සමග හරි හරියට සිටගත්තේ මේ සංවිධාන ශක්තිය මුල් කරගෙනය.
අභියෝගය පොහොට්ටුවට!
මේ සියල්ල අතරවාරයේ අභියෝගාත්මකම මැයි රැලිය පැවැත්වීමේ වගකීම පැවරී තිබුණේ පොහොට්ටුවටය. එහි වගකීම භාරගෙන තිබුණේ වෙන කවුරුවත් නොව බැසිල් රාජපක්ෂය. ඒ අනුව බැසිල් මෙවර ගැහුවේ සජබෙට, ජවිපෙට වඩා සෙනග ගෙනැවිත් සෙනග පෙන්වන ගේමක් නොව, අරගලය හේතුවෙන් සීසීකඩ වී විසිරී තිබුණු පොහොට්ටුව එක තැනකට ගෙන නිල වශයෙන් යළි කලඑළි දැක්වීමේ ගේමක්ය. ඒ අනුව බැසිල් මෙවර පොහොට්ටුවෙ ප්‍රධානත්වයෙන් පෙළපාළි තියන්න ගියේ නැත. මැයි රැලි පවත්වන්න ගියේ නැත. ගෝල්ෆේස් පිටිය පුරවන්න උත්සාහ කළේ නැත. ඒ වෙනුවට බැසිල් කළේ කැම්බල් පිටිය තෝරාගෙන එහි සීමිත පිරිසක් අසුන්ගත හැකි ආකාරයට ආසන පනවා පක්ෂය යළි එකමුතුව ඇති බව වැට උඩ සිටින පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පෙන්වීමට සැලැස්වීමය. එමෙන්ම ඔහුගේ සැලසුම වී තිබුණේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට පොහොට්ටුවම විනා අලියාගෙන් හෝ වෙනත් කිසිදු පක්ෂයකින් ඡන්දය ඉල්ලා යළි පාර්ලිමේන්තු ඒමට අවස්ථාවක් නොමැති බව තහවුරු කොට පෙන්වීමය.
බැසිල් වැඩේ ප්ලෑන් කළ හැටි!
මීට අමතරව බැසිල්ගේ ඔළුවේ කාලයක සිට යම් දේශපාලන ගේමක් වැඩකරමින් තිබිණි. ඒ, පොහොට්ටුව සතුව තිබූ ආණ්ඩු බලය යළි පොහොට්ටුවටම ලබාගැනීමේ උත්සාහයය. නැතහොත් අගමැති ධුරය යළි පොහොට්ටුවට ලබාගැනීමේ ගේම් ප්ලෑන් එකය. අපි අවස්ථා කිහිපයකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මේ බව රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. බැසිල් කැම්බල් පිටියේ මැයි රැලිය පැවැත්වූයේ ඒ ගේම් ප්ලෑන් එකට සමගාමීවය. එහිදී බැසිල් හයියට ගත්තේ පක්ෂය සතුව ඇති හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ යාන්ත්‍රණයය. සියලු ප්‍රාදේශීය සභාවලට ඔහු දැනුම් දී සිටියේ එක ප්‍රාදේශීය සභාවකින් සාමාජිකයන් 50 දෙනකු මැයි රැලියට සහභාගි කරවන්න යැයි කියාය. ඒ අනුව බැසිල්ගේ පැත්තෙන් බලන විට මෙවර පොහොට්ටුවේ මැයි රැලිය සාර්ථක බවක් සඳහන් කිරීමට පුළුවන.
සටන සජිත් අනුර අතර!
කෙසේ වෙතත් මැයි දින සටන තිබුණේ සජබයත්, ජවිපෙත් අතරය. මේ සටන කොච්චර දුරදිග ගියාද කියනවා නම් මැයි පළමුවැනිදා පාන්දරම බුද්ධි වාර්තාවක් ලෙස හඳුන්වමින් සජබ හා ජවිපෙ මැයි රැලිවලට සහභාගි වන සංඛ්‍යාව ඇතුළත් ලිපියක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන්නට විය. එම වාර්තාවල තිබුණේ සජබෙට වඩා ජවිපෙට වැඩි ජනතාවක් සහභාගි වීමේ ඉඩක් ඇතැයි කියාය. නමුත් අපට ඇති තොරතුරුවලට අනුව නම් කියැවෙන්නේ ජවිපෙට වඩා සජබෙට වැඩි ජන සහභාගිත්වයක් තිබූ බවකි. නමුත් සජබයට එය ජවිපෙට මෙන් උළුප්පා දැක්වීමේ මාධ්‍ය මෙහෙයුමක් සිදුකරගැනීමේ අවස්ථාවක් තිබුණේ නැත. ජවිපෙ ටවුන්හෝල් පාරට සෙනග ගෙනැවිත් මහා සෙනග ගොඩක් පෙන්නුවද, සජබෙ ක්‍රීඩා පිටියක් තුළ ජනතාව ඒකරාශී කොට තිබූ නිසා එය විශාල ජනතාවක් ලෙස පෙන්වීමට හැකියාවක් තිබුණේ නැත.
ජවිපෙ මීඩියා පැත්තෙන් දිනුම්!
එමෙන්ම ජවිපෙ දැවැන්ත සමාජ මාධ්‍ය මෙහෙයුමක් රැලියට පෙර හා පසු (ප්‍රී කැම්පේන් – පෝස්ට් කැම්පේන්) දියත් කිරීමට පියවර ගෙන තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණ. එහිදී වේදිකාව සකස් කරන ආකාරය, ඊට මන්ත්‍රීවරුන් පැමිණෙන ආකාරය, වේදිකාව සූදානම් කරද්දී අනුරලා කෙසෙල් කොළයට බෙදාගෙන පාක්ෂිකයන් සමග බත් කන ආකාරය, පාක්ෂිකයන් ගෙන්වන ආකාරය, රැස්වීම් පවත්වන ආකාරය, රැස්වීම අවසන් වීමෙන් පසු පක්ෂ නායකයන් සමග පාක්ෂිකයන් ඡායාරූප ගන්නා ආකාරය, ක්‍රීඩා පිටිය පිරිසිදු කරන ආකාරය ආදී වශයෙන් රැලියට පෙර සහ රැලියට පසු පියවරෙන් පියවර දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් ඔවුන්ගේ පාර්ශ්වයෙන් දැකගන්නට ලැබිණි. සජබයද මේ සියල්ලම කළ නමුත් ඔවුන්ගේ පාර්ශ්වයෙන් මෙවැනි කිසිවක් පියවරෙන් පියවර මාධ්‍ය හරහා ප්‍රචාරය කරනු දැකගන්නට ලැබුණේ නැත.
කුමාර් මහත්තයලාත් එළියට එයි!
මේ තුනට අමතරව තවත් විශේෂ මැයි රැලියක්ද දැකගන්නට ලැබිණි. ඒ, පෙරටුගාමීන් විසින් නුගේගොඩ එළිමහන් රංග පීඨයේ සංවිධාන කර තිබූ මැයි රැලියය. කිසිදු මාධ්‍යයක වැඩි අවධානයක් යොමු නොවුණද මෙය ඉතා සංවිධානාත්මකව පැවැත්වීමට පෙරටුගාමීන් කටයුතු කොට තිබිණි. වෙනදා නම් ශාලාවක් ඇතුළත ඔවුන් මෙවැනි රැස්වීම් පැවැත්වුවද, ඔවුන් මෙවර එම සම්ප්‍රදායෙන් පිට පනිමින් සැලකිය යුතු ජන සහභාගිත්වයක් ඇතිව පැවැත්වූ මැයි රැලිය හරහා සිය දේශපාලන ඉදිරිය සම්බන්ධයෙන් පැහැදිලි සංඥාවක් සමාජයට ලබාදීමට පියවර ගෙන තිබිණි.
රනිල් IMF ඡන්දෙට ආපු හැටි!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ ගිවිසුම පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදුකිරීම සඳහා ජනාධිපතිවරයා තීන්දු කළේ දේශපාලන සැලසුම් කිහිපයක් ඔළුවේ තබාගෙනය. ඉන් ප්‍රධාන එකක් වූයේ සජබ මන්ත්‍රී කණ්ඩායමක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරවාගෙන සජබය දෙකට තුනට කඩා විනාශ කිරීමය. දෙවැනි සැලසුම වූයේ සජබය ඇතුළෙන් සජිත්ට දැඩි බලපෑමක් එල්ල කෙට පක්ෂයම එම ගිවිසුමට පක්ෂ ලෙස ඡන්දය ප්‍රකාශ කරවා ගැනීමය. තුන්වැනි සැලසුම වූයේ තමන්ගේ ආර්ථික වැඩපිළිවෙළට කවදත් විරුද්ධව පෙනී සිටි රාජපක්ෂවරුන් ඇතුළු පොහොට්ටු කණ්ඩායම රාජ්‍ය ආයතන විකිණීම, සුබසාධනය කප්පාදු කිරීම, රජයේ සේවකයන් ඉවත් කිරීම, ජලය විදුලිය යනාදී අත්‍යාවශ්‍ය සේවා අසීමිත ලෙස ඉහළ දැමීම වැනි තමන්ගේ ආර්ථික සැලැස්ම ඇතුළත් මූල්‍ය අරමුදලේ ගිවිසුමට පක්ෂව අත ඔසවා ගැනීමය. ඒ හරහා තමන් අතීතයේ සිට පෙනී සිටි ප්‍රතිපත්තිය නිවැරැදි බව පොහොට්ටුවට ඒත්තු ගැන්වීමටය.
පොහොට්ටුව නැමෙයි!
කෙසේ වෙතත් පොහොට්ටුව සම්බන්ධයෙන් නම් ජනාධිපතිවරයා සැලසුම් කරගෙන සිටි උපාය සියයට සියයක්ම සාර්ථක කරගැනීමට හැකියාව ලැබුණු ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, රාජ්‍ය ආයතන විකිණීමට, රාජ්‍ය සේවක කප්පාදුවට, ජනතා සුබසාධනය කප්පාදුවට එරෙහිව කවදත් පෙනී සිටි මහින්ද ඇතුළු පොහොට්ටුවේ අතිබහුතරයක් ඊට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීම හරහාය.
කෙසේ නමුත් මුලින් මහින්ද සහ නාමල් සිටියේ අයි.එම්.එෆ්. ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට නම් නොවේ. ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගැබේ නොසිටීමටය. මහින්දගේ සහ නාමල්ගේ මෙම ස්ථාවරය දැනගත් පසු පොහොට්ටුවේ මහලේකම්වරයා වූ සාගර කාරියවසම් සහ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් 12 දෙනකුද සිටියේ ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ නොසිටීමටය.
මහින්දට ලැබුණු උපදෙස!
මහින්ද සහ නාමල්ට මෙම තීන්දුව ගැනීම සඳහා බලපෑ හේතු කාරණාවක්ද තිබිණි. ගිවිසුම පොහොට්ටුවට ලැබීමෙන් පසු මහින්ද විසින් එය අධ්‍යයනය කිරීම සඳහා තමන්ගේ ආණ්ඩු සමයේ තමන්ට ආර්ථික උපදෙස් ලබාදුන් ආර්ථික විශේෂඥයන් කිහිප දෙනකුට භාර දීමට පියවර ගෙන තිබිණි. දීර්ඝ අධ්‍යයනයකින් පසු ඔවුන් මහින්දට දැනුම් දී තිබුණේ මෙහි රටට අහිතකර මෙන්ම මහින්ද චින්තනයට එරෙහි වගන්ති රැසක් ඇතුළත්ව ඇති බවකි. උදාහරණයක් ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතන විකිණීම පමණක් නොව, ලාභ ලබන රාජ්‍ය ආයතන පවා විකුණා දැමීමට මෙහි යෝජනා කොට ඇති බවක් එම ආර්ථික විශේෂඥයන් මහින්දට පෙන්වා දී තිබිණි. එමෙන්ම ඉදිරියේදී මෙම ගිවිසුමට එරෙහිව රට තුළ දැවැන්ත වෘත්තීය සමිති විරෝධයක් සහ ජනතා විරෝධයක් එල්ල විය හැකි බැවින් ඉන් බේරී සිටීමට නම් මෙම ගිවිසුමට මහින්ද විසින් ඡන්දය නොදී සිටිය යුතු බව ඔවුන්ගේ උපදේශය වී තිබිණි.
මහින්ද- නාමල් නොදෙන තීන්දුවක!
ඒ අනුව මහින්ද, නාමල් ඇතුළු පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් 15 දෙනකු පමණ ඡන්දය විමසන අවස්ථාවේ සභාගැබේ නොසිටීමට තීන්දු කොට තිබිණි. එම තීන්දුවට අනුව යමින් ඡන්දය විමසන දිනයේ මහින්ද මහනුවර ගොස් දළදා වහන්සේ වැඳපුදා ගැනීම ඇතුළු පින්කම් රැසකට සහභාගි වී සිටියේය.
113 නෑ! ආණ්ඩුවෙන් මෙහෙයුමක්! වැඩේ බැසිල්ට පවරයි!
මේ පසුබිම යටතේ ඡන්ද විමසීම පැවැති සිකුරාදා දහවල වන විට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් රැසක් සභා ගැබේ නොමැති වීම නිසා විපක්ෂයෙන් කණ්ඩායමක් ගිවිසුමට පක්ෂව ඡන්දය භාවිත නොකළහොත් ආණ්ඩුවට 113ක බහුතරය හෝ නොමැති වීමේ අවදානමක් මතුව ඇති බව ආණ්ඩුවේ ප්‍රබලයන්ට වැටහී ගොස් තිබිණි. ඒ අනුව සජබ කණ්ඩායමක් ආණ්ඩුවට එක්වනු ඇති බවට වූ සැලසුම පසෙක තබා වහාම මහින්ද ඇතුළු පොහොට්ටුවේ සියලු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමට මෙහෙයුමක් දියත් කිරීමට ආණ්ඩුවට සිදුවිය. ඒ සඳහා ආණ්ඩුවේ ප්‍රබලයන් යොදා ගත්තේ බැසිල්ට සහ රාජපක්ෂ පවුලට අතිශය සමීප තුන්වැනි පාර්ශ්වයකි. ඔහු හරහා වහාම බැසිල්ට පණිවුඩයක් යැවූ ආණ්ඩුවේ ප්‍රබලයන් කියා තිබුණේ අයි.එම්.එෆ්. ගිවිසුම ඡන්ද විමසන අවස්ථාවේ කෙසේ හෝ මහින්ද ඇතුළු පොහොට්ටුවේ කණ්ඩායම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන්න යැයි කියාය.
නුවර සිටි මහින්දව කොළඹ අරන් එයි!
එම දැනුම් දීමට අනුව බැසිල්ද කළේ වහාම මහනුවර ගොස් සිටි මහින්දට ඇමතුමක් ලබාදී ඔහුව සම්බන්ධ කරගැනීමය. මතුව ඇති තත්ත්වය මහින්දට පැහැදිලි කළ බැසිල්, අයි.එම්.එෆ්. ගිවිසුමේ කුමන කොන්දේසි තිබුණද ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීමට මහින්ද එකඟ කරවා ගැනීමට සමත් විය. ඒ මෙහෙයුමට අනුව සිකුරාදා පස්වරුව වන විට මහින්ද පාර්ලිමේන්තු සභා ගැබට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් සමග ඇතුළු නොවුණේ නම් ආණ්ඩුවට අයි.එම්.එෆ්. ගිවිසුම සම්මත කරගැනීමට සිදුවනු ඇත්තේ 113ක බහුතරයක් නොමැතිවය.
මහින්දට නාමල්ගෙන් පණිවුඩයක්!
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මහින්ද අයි.එම්.එෆ්. ගිවිසුමට පක්ෂව ඡන්දය ලබාදුන්නද නාමල් රාජපක්ෂ මුලින් සිටි ස්ථාවරයේම සිටිමින් ඊට ඡන්දය නොදී සභා ගැබෙන් ඉවත් වීමට පියවර ගැනීමය. එපමණක් නොව අවසන් මොහොතේ මහින්ද තීරණය වෙනස් කොට ගිවිසුමට පක්ෂව ඡන්දය ලබාදීමට සභා ගැබට පැමිණ ඇති බව දැනගත් වහා මහින්දට පණිවුඩයක් එවමින් ඡන්දය නොදී සභා ගැබෙන් පිටවන ලෙසට දැනුම් දීමටද නාමල් කටයුතු කළේය. නමුත් මහින්ද ඊට පිළිතුරු දෙමින් නාමල්ට දැනුම් දී තිබුණේ තමන් දැන් සභාගැබට පැමිණ ඇති බැවින් ගිවිසුමට පක්ෂව ඡන්දය ලබාදෙනවා යැයි කියාය.
සජබය කඩන්න බැරිවෙයි!
මේ ආකාරයට රාජපක්ෂ පවුල ඇතුළේ පවා බෙදීමක් ඇතිකරමින් අයි.එම්.එෆ්. ගිවිසුමට මහින්ද ඇතුළු පොහොට්ටුවේ ඡන්දය ලබාගැනීමට ආණ්ඩුව සමත් වුවද සමගි ජන බලවේගය මුල්කරගෙන ආණ්ඩුව ගෙනගිය වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අසාර්ථක එකක් බවට පත්වීම විශේෂ සිදුවීමක් විය. මහින්දලා ගිවිසුමට පක්ෂ කරගැනීමේ මෙහෙයුම බැසිල්ට බාරදුන් ආකාරයට සජිත් ඇතුළු සජබය ගිවිසුමට පක්ෂ කරගැනීමේ මෙහෙයුම රනිල් භාරදී තිබුණේ වජිර අබේවර්ධනටය. ඒ අනුව වජිරගේ මෙහෙයුම වූයේ එක්කෝ සජිත් ඇතුළු මුළු සජබයම ගිවිසුමට පක්ෂව ඡන්දය ලබාගෙන එය තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත කරගැනීමටය. එසේත් නැත්නම් සජබයෙන් කණ්ඩායමක් ආණ්ඩුවට ගෙන සජබය දෙකට කැඩීමටය.
වැඩේ බාරගත්තෙ වජිර! පණිවුඩකරුවා රාජිත!
වජිර මේ සඳහා මුල සිටම උපයෝගී කරගත්තේ වෙන කවුරුවත් නොව කාලයක් තිස්සේ සෞඛ්‍ය ඇමැතිකම ඉල්ලමින් ආණ්ඩුවට එක්වීමට බලා සිටින රාජිත සේනාරත්නවය. මේ වන විට එළියට එමින් ඇති තොරතුරුවලින් කියැවෙන්නේ රාජිත ඒ දින කිහිපය පුරාම සජබ කණ්ඩායමක් ගිවිසුමට පක්ෂ කරවා ගැනීම සඳහා විශාල මෙහෙයුමක් සජබය ඇතුළේ දියත් කර තිබූ බවකි. නමුත් ගිවිසුමට ඡන්දය විමසීමට පැය කිහිපයක් තබා සජබය කැඳවා තිබූ මන්ත්‍රී කණඩායම් රැස්වීමේදී ඡන්දය වර්ජනය කොට සභා ගැබෙන් පිටව යෑමට මන්ත්‍රී කණ්ඩායම තීන්දු කිරීමත් සමග රාජපක්ෂලාගේ පමණක් නොව, වජිරලාගේ සැලසුම්ද සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් වී ගිය ආකාරයක් දැකගත හැකි විය.
රාජිතට වෙච්ච දෙයක්!
කෙසේ වෙතත් රාජිත සම්බන්ධයෙන් තොරතුරු බොහෝ ප්‍රමාණයක් පසුගිය කාලය පුරා අපි මෙම ‘රාජ්‍ය රහස්’ තීරයෙන් පමණක් නොව, අප අඅඅගප්අර්ඒබැඅිගකන වෙබ් අඩවියෙන්ද රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. අප කළ එම අනාවරණයන්හි අවසන් ප්‍රතිඵලය වූයේ රාජිතට එරෙහිව පක්ෂය ඇතුළේ පමණක් නොව රට ඇතුළේද විශාල විරෝධයක් ගොඩනැගීමය. ඒ අනුව පසුගිය අවුරුදු සමයේ ගමරටවල ගිය පක්ෂයේ මන්ත්‍රීවරුන් මුණැගසීමට පැමිණි සංවිධායකවරුන් සහ පාක්ෂිකයන් දැඩිව ඔවුන්ට පෙන්වා දී තිබුණේ වහාම රාජිත සජබයෙන් පන්නා දැමීමට කටයුතු කරන්න යැයි කියාය. ආණ්ඩුවේ ඇමැතිකම් ඉල්ලමින් රාජිත තවදුරටත් සජබය ඇතුළේ සිටීම පක්ෂයට විශාල හානියක් බවද එම පාක්ෂිකයන් මන්ත්‍රීවරුන්ට වැඩිදුරටත් පෙන්වා දී තිබිණි.
ශක්තිමත් විනය කමිටුවක්!
සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජිත සම්බන්ධයෙන් කටයුතු කිරීම පක්ෂයේ විනය කමිටුවට පැවරුවේ ගමේ මතය පක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් සජිත්ට දැනුම් දීමෙන් අනතුරුවය. නමුත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුගේ මැදිහත් වීමෙන් රාජිත සජබයෙන් පන්නා දැමීමේ කටයුත්ත තාවකාලිකව නැවතුණද එහි ප්‍රතිඵලයක් ලෙස සජබයට ඉතා බලවත් විනය කමිටුවක් පත්කිරීමේ අවස්ථාව සැලසී තිබිණි. ඒ අනුව සජිත් එම විනය කමිටුවේ සභාපති ධුරය කීර්තිමත් ජනාධිපති නීතිඥවරයකු වූ උපුල් ජයසූරිය මහතා යටතට පත්කිරීමට කටයුතු කළේය.
සජබ කඩන කතා ඉවරයි!
කෙසේ වෙතත් මෙම සිදුවීම් දාමය හරහා එකක් පැහැදිලව දැකගන්නට ලැබිණි. ඒ, සමගි ජන බලවේගයේ ඡන්ද පදනම යළි රනිල් සමග එකතු වීම ප්‍රතික්ෂේප කොට ඇති බවය. රනිල් ජනාධිපති වුවද සජබය සමග සිටින එජාප ඡන්ද පදනම රනිල් සමග යළි හිටගැනීමට සූදානම් නැති බවය. රනිල්ට එජාප ඡන්ද පදනම තුළ කිසිදු බලයක් නොමැති බවය. සජබෙන් ඉවත්ව රනිල් ළඟට යන කිසිවකුට යළි සජබයේ දොර විවෘත නොවන බවය. අවසන් මොහොත් හෝ රාජිත මේ යථාර්ථය වටහා ගෙන සජබ තීන්දුවට ගරු කරමින් පක්ෂය සමග සිටියද කළුතර දිස්ත්‍රික්කයේ රාජිතගේ දේශපාලන අනාගතය නම් ඇත්තේ අවදානම් තත්ත්වයකය. කොටින්ම කියනවා නම් රාජිතට යළි සජබෙන් හෝ කළුතරින් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳ ඇත්තේ බරපතළ සැක සංකාවකි.
ෆවුසි එළියටම දමයි!
මේ ආකාරයට අයි.එම්.එෆ්. ගිවිසුමට ඡන්දය නොදීමට සජබය ගත් තීන්දුවට අනුව යමින් රාජිතද ඊට අනුගත වුවද සජබ එක් මන්ත්‍රීවරයකු පමණක් ඊට එරෙහිව යමින් ආණ්ඩුව සමග එක්ව ගිවිසුමට පක්ෂව ඡන්දය ලබාදීමට පියවර ගෙන තිබිණි. ඒ, වෙන කවුරුවත් නොව ඒ.එච්.එම්. ෆවුසිය. ෆවුසි පසුගිය මහ මැතිවරණයේදී කොළඹින් පරාජයට පත්වුවද පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කොළඹ නගරාධිපති සටනට එක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට තීන්දු කිරීමත් සමග ලැයිස්තුවේ ඊළඟට සිටි ෆවුසිට යළි පාර්ලිමේන්තු පිවිසීම සඳහා අවස්ථාව උදාවිය. නමුත් පාර්ලිමේන්තුවට ආ දා සිටම ෆවුසි සජබ මන්ත්‍රී කණ්ඩායම සමග වැඩකරනවාට වඩා ආණ්ඩුවත් සමග සමීපව වැඩකටයුතු කරන ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව යමින් අවසානයේදී ෆවුසි අයි.එම්.එෆ්. ගිවිසුමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමටද පියවර ගත්තේය.මෙහි ක්ෂණික ප්‍රතිඵලය වූයේ රාජිත සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට සජබය ඇතුළේ ගොඩනැගූ ක්‍රමවේදයේ පළමු ගොදුර බවට ෆවුසි පත්වීමය. ඒ අනුව වහාම ෆවුසිව පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට කැඳවීම අත්හිටුවීමට සජිත් තීන්දු කළේය. එපමණක් නොව පසුගිය අඟහරුවාදා දින ෆවුසිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමේ ලිපියට අස්සන් කිරීමටද සජිත් කටයුතු කළේය. ඒ අනුව සජිත් මේ වන විට තීන්දු කොට ඇත්තේ ෆවුසිව පමණක් නොව ෆවුසිට ගෑවුණු කිසිදු අයකුට ඉදිරියේදී සජබයේ නාමයෝජනා ලබා නොදීමටය.
දැන් යන්න කවුරුත් නෑ!
මේ ආකාරයට රාජිත හෝ සජබ මන්ත්‍රීවරු කණ්ඩායමක් හෝ සජබයම හෝ අයි.එම්.එෆ්. ගිවිසුමට පක්ෂ කරවා ගැනීමේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමත් සමග එම මෙහෙයුම දියත් කළ වජිරට එරෙහිව ආණ්ඩුව ඇතුළේ යම් විරෝධයක් මතුව ඇති ආකාරයක් මේ වන විට දැකගන්නට තිබේ. ඒ, එම මෙහෙයුම අසාර්ථක වීමත්, ඉන් අනතුරුව සජබ ගත් දැඩි ක්‍රියාමාර්ගයත් හේතුවෙන් මින් ඉදිරියට සජබයෙන් මන්ත්‍රීවරු ආණ්ඩුවට එක්වීමේ වාතාවරණය සම්පූර්ණයෙන්ම අහෝසි වී තිබීම නිසාය.
වඩිවෙල්ට තියෙන ප්‍රශ්නය!
මීට අමතරව පසුගිය කාලයේ තවත් සජබ මන්ත්‍රීවරයකු වූ වඩිවෙල් සුරේෂ් සම්බන්ධයෙන්ද මාධ්‍ය වාර්තා කොට තිබුණේ වඩිවේල් ආණ්ඩුවට එක්වීමට නියමිතව ඇති බවටත්, ජනාධිපතිවරයා සමග ඒ පිළිබඳ සාකච්ඡා කොට ඇති බවටත්ය. මේ ප්‍රශ්නයට මුල් වී තිබුණේ පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකාවේ මතුවූ ගැටලුවකි. එහිදී වඩිවේල් විසින් පස්සර මඩොල්සිම ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් සංවිධාන කොට තිබූ අතර, සජිත්ද ඊට සහභාගි වීමට සැලසුම් කොට තිබිණි. ඊට එක්වීමට සජිත් බදුල්ල බලා ගියද අතරමඟදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් සජිත්ට ඊට එක්වීමට අවස්ථාවක් ලැබුණේ නැත. සජිත් ඒ බව වඩිවේල්ට දැනුම් දුන්නද පන්දහසකට අධික පාක්ෂිකයන් ප්‍රමාණයක් එම රැස්වීමට පැමිණ සිටි නිසා සජිත්ගේ නොපැමිණීමෙන් පාක්ෂිකයන් ඉදිරියේ වඩිවේල් පත්ව සිටියේ මහත් අපහසුතාවකටය. කෙසේ වෙතත් එදින සවස සජිත් නුවරඑළියේ වෙනත් රැස්වීමකට එක්වීම නිසා වඩිවේල් මාධ්‍යයට ප්‍රකාශක් ලබාදෙමින් කියා සිටියේ සජිත් යළි මඩොල්සිමට පැමිණ වතුකරයේ ජනතාවගෙන් සමාවගත යුතුය කියාය. නමුත් එම සිදුවීම පසුගිය සමයේ තිබුණේ තරමක් යටපත්වය.
වඩිවේල්ට සජිත් අවසරය දෙයි!
කෙසේ වෙතත් සජබ මැයි රැලිය සංවිධාන කරද්දී වඩිවේල් සජිත්ගෙනුත්, පක්ෂයෙනුත් ඉල්ලීමක් කොට තිබුණේ වතුකරයේ ජනතාව කොළඹ රැගෙන ඒම වියදම් අධික කටයුත්තක් බැවින් වෙනම මැයි රැලියක් වතුකරයේ පැවැත්වීමට අවසර දෙන්න යැයි කියාය. වඩිවේල්ගේ තර්කයේ සාධාරණයක් තිබුණු බැවින් සජිත් ඊට අවසර ලබාදුන් අතර, පක්ෂය නියෝජනය කරමින් ඊට කාවින්ද ජයවර්ධන සහ චමින්ද විජේසිරි සහභාගි කරවීමට පවා පියවර ගෙන තිබිණ. ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට එකම පක්ෂයකින් මැයි රැලි දෙකක් පැවැත්වූ අවස්ථාවක් ලෙසද එය සටහන් විය.
බදුල්ලේදී යළිත් ප්‍රහාරයක්!
කෙසේ වෙතත් බදුල්ලේ පැවැති මෙම රැලියේදී සියල්ලන්ම පුදුමයට පත්කරමින් වඩිවේල් යළිත් වතාවක් කියා සිටියේ සජිත් බදුල්ලට පැමිණ ජනතාවගෙන් සමාව නොගන්නේ නම් තමන් ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කිරීමට සූදානම් යැයි කියාය. මෙහිදී කවුරුත් නොදැන සිටි කාරණය වූයේ ඒ වන විටත් වඩිවේල් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බදාදා වේලාවක් යොදාගෙන තිබූ බවය.
පන්නන්න! සජිත්ට බලපෑම්!
කෙසේ වෙතත් බදුල්ල මැයි රැලියේදී වඩිවේල් කළ කතාව මොහොතක් යෑමට මත්තෙන් කොළඹ මැයි රැලියේ සිටි සජිත් ඇතුළු කණ්ඩායමටද දැනගන්නට ලැබිණි. ඒ වන විට රාජිතගේ සහ ෆවුසිගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගැනීමට පක්ෂය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබුණු බැවින් සියලු දෙනාම එක හඬින් සජිත්ට කියා සිටියේ වඩිවේල් සම්බන්ධයෙන්ද වහාම තීන්දුවක් ගත යුතු බවකි. එක එක්කෙනාට ඕනෙ විදියට පක්ෂය ඇතුළේ කටයුතු කිරීමට හෝ ප්‍රකාශ නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවත්, සියලු දෙනාටම එකම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතු බවත්, සියලු දෙනාම සජිත්ට පෙන්වා දුන් කාරණය විය. ඒ අනුව වඩිවේල් සම්බන්ධයෙන්ද ඉක්මන් තීන්දුවක් ගත යුතු බව පිරිස සජිත්ට පෙන්වා දෙද්දී සජිත් කීවේ මැයි රැලියේ වැඩකටයුතු නිමාවී ඒ පිළිබඳ සාකච්ඡා කොට තීන්දුවක් ගමු යැයි කියාය.
දිගම්බරම් වඩිවේල්ට කතා කරලා!
ඒ අනුව පසුගිය අඟහරුවාදා රාත්‍රියේ සමගි ජන සන්ධානයේ පක්ෂ නායකයන්ට ‘කලම්බෝ ක්ලබ්’ හෝටලයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සජිත් විසින් සංවිධාන කර තිබිණි. විවිධ මාතෘකා සාකච්ඡා වන අතරවාරයේ එක්තරා තැනකදී වඩිවේල් සම්බන්ධ සිදුවීමද සාකච්ඡා මේසයට ඇදී එනු දැකගත හැකි විය. එහිදීද බොහෝ පක්ෂ නායකයන් වඩිවේල් ඉවත් කළ යුතු බව එක හඬින් කියද්දී සාකච්ඡාවට එක්ව සිටි දිගම්බරම් වෙනත් අදහසක් සජිත්ට ඉදිරිපත් කළේය.
චාන්ස් එකක් දෙමු! හෙට වෙද්දි ප්‍රශ්නය ඉවර වෙයි!
‘නෑ හදිසි වෙන්න ඕනෙ නෑ. මම ඊයේ වඩිවේල් එක්ක කතා කළා. එයා කරපු කතාව වැරැදියි. ඔබතුමා මඩොල්සිමට යන්න බැරි වුණා කියලා එයාට ප්‍රශ්නයක් තියෙනවා නම් එයා ඒක වෙන විදියකට විසඳගන්න ඕනෙ. එහෙම නැතුව ප්‍රසිද්ධ වේදිකාවේ ඔය විදියට කතා කරලා හරියන්නේ නෑ. කෝකටත් තව එක දවසක් දෙන්නකෝ. මම හිතන්නේ හෙට වෙද්දී ඔය ප්‍රශ්නෙ විසඳෙයි.’ යනුවෙන් දිගම්බරම් කියද්දී සජිත් ද ඊට එකඟතාව පළකර සිටියේය.
ෂේප් එකේ ඇවිත් වාඩිවෙලා!
ඒ අනුව බදාදා ජනාධිපතිවරයාගෙන් ලැබී තිබුණු වේලාවට අනුව වඩිවේල් මුලින්ම ජනාධිපතිවරයා මුණගැසීම සඳහා ගොස් තිබිණි. එහිදී ජනාධිපතිවරයා ලන්ඩනය බලා පිටත්ව යෑමට ලකලැහැස්ති වෙමින් සිටි බැවින් වතුකරයේ ජනතාවගේ මූලික ප්‍රශ්න කිහිපයක් පිළිබඳ කෙටියෙන් සාකච්ඡා කොට යළිත් ලන්ඩනයේ සිට පැමිණීමෙන් අනතුරුව සාකච්ඡා කළ හැකි බව පවසා එම සාකච්ඡාව අවසන් කිරීමට පියවර ගෙන තිබිණි. මේ අනුව ජනාධිපතිවරයා සමග සාකච්ඡාව අවසන් කළ වඩිවේල් කෙළින්ම ආවේ විපක්ෂ නායක කාර්යාලයටය. ඒ වන විට විපක්ෂ නායක කාර්යාලයේ සජිත්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව ගෙන ඒමට නියමිත බැංකු පනත පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබිණි. ඊට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ සමගි ජන සන්ධානයේ නායකයන් සහභාගි වී සිටි අතර, කිසිවක් සිදු නොවූ ගානට වඩිවේල්ද සාකච්ඡා මේසයට පැමිණ අසුන් ගැනීම විශේෂ සිදුවීමක් විය. කෙසේ වෙතත් සජිත්ද එය නොදැක්කා මෙන් ගණනකට නොගෙන සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන ගිය ආකාරයක් දැකගත හැකි විය.
නිදහසට කරුණු කියයි! සජිත් ගණන් අරන් නෑ!
ඒ අනුව සාකච්ඡාව අවසන් වූ වහා සජිත් අසලට පැමිණ වඩිවේල් එදින පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ කරුණු සියල්ල සජිත්ට දැනුම් දීමට පියවර ගත්තේය. වඩිවේල් කියා සිටියේ වතුකරයේ ජනතාවට සමෘද්ධිය පවා නොමැති බවත්, එම ජනතාව දැඩි පීඩාවකින් පසුවන බවත්, එම ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමන් ජනාධිපතිවරයා හමුවූ බවත්ය. වඩිවේල් එසේ සමාවට කරුණු කීවද සජිත් ඉන් එහා කිසිවක් වඩිවේල්ගෙන් විමසන්නට ගියේ නැත. ඒ අනුව එම සාකච්ඡාව එතැනින් අවසන් විය.
විපක්ෂ සන්ධානය තවත් ඉස්සරහට!
මේ අතර පසුගිය කාලයේ බෙදී වෙන්ව සිටි විපක්ෂය මේ වන විට එක වේදිකාවකට එක්වන ලකුණු පහළ කොට ඇත්තේ ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත, විකාශන අධිකාරී පනත, මහබැංකු පනත ආදිය සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු පක්ෂ යම් ඒකමතිකභාවයකට පැමිණ සිටීම නිසාය. මීට සති දෙකකට ඉහතදී මෙහි සාකච්ඡා වට දෙකක් පැවැති අතර, ඊට ජවිපෙ හැර අන් සියලු පක්ෂ නායකයන් එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම ජවිපෙද මේ වන විට සිටින්නේ විපක්ෂයේ සියලු දෙනාම එකතු වී ආණ්ඩුවේ මර්දනයට එරෙහිව සටන් කළ යුතු ස්ථාවරයේය. කෙසේ වෙතත් මේ වන විට මෙම විපක්ෂ සන්ධානය නිතරම රැස්වී පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් යම් එකඟතාවකට පැමිණිය යුතු බව විපක්ෂයේ බොහෝ දෙනාගේ මතය වී තිබේ. පසුගිය සතියේ රතන හිමියන් සජිත්ට දැනුම් දී සිටියේ සජබ ප්‍රධානත්වයෙන් මෙම විපක්ෂ සන්ධානය අවම වශයෙන් මසකට දෙවතාවක් හෝ රැස්වී සාකච්ඡා කළ යුතු යැයි කියාය. ඒ අනුව සජබය මේ වන විට තීන්දු කර ඇත්තේ සති දෙකකට වතාවක් පාර්ලිමේන්තුවේ රැස්වී පොදු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමටය. එමෙන්ම මෙම පොදු විපක්ෂයේ කැඳවුම්කරු ලෙස සියල්ලන්ටම පිළිගත හැකි දේශපාලන චරිතයක් වූ ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පත්කිරීමටද සජිත් පසුගිය සතියේදී පියවර ගත්තේය.










