රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඉන්දියාව, චීනය ඇතුළු රටවල් ගණනාවකට ලංකාවට ඕනෑම වේලාවක ඇතුළු වීමට නිදහස් වීසා බලපත්‍රයක් ලබාදුන්නේය. මේ නිදහසින් වැඩියෙන්ම ප්‍රයෝජන ගෙන ඇත්තේ සයිබර් ජාවාරම්කරුවන්ය. නිදහස් වීසා බලපත්‍ර ක්‍රමය යටතේ චීන සයිබර් ජාවාරම්කරුවන්ට ලංකාව කෙළිමඬලක් වී ඇති බව පෙනෙන්නට තිබේ. මහින්දගේ ආණ්ඩු කාලයේ ලංකාවේ චීන ව්‍යාපෘති හරහා ලංකාවට පැමිණි චීන කම්කරුවන් මාර්ගයෙන්, ලංකාව චීන සයිබර් ජාවාරම්කරුවන්ට හොඳ තෝතැන්නක් බවට එම සයිබර් ජාවාරම්කරුවන් අවබෝධ කරගන්නට ඇත. ඒත් වීසා ලබාගැනීමේදී සිදුවන දුෂ්කරතා නිසා ඔවුන්ට ලංකාවට ඇතුළු වීම ලෙහෙසි නොවීය. චීනයට නිදහස් වීසා බලපත්‍ර දෙන්න ගත්ත තීරණය ඉබ්බා දියට දැමූ විට ඇන්නෑවේ කියන්නා වගේ වැඩක් විය. චීන සංචාරකයන් සේ වෙස් වළාගෙන චීන සයිබර් අපරාධකරුවන් ලංකාවට ඇවිත් තියෙන්නේ සිය ගණන්වලිනි. ඔවුන් රිසි සේ සල්ලි වියදම් කොට ලංකාව තුළ සිය සම්බන්ධතා ජාලය හදාගෙන ඇත. (Sri Lanka Latest News)
සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් පුද්ගලයන් සමග ආදර සම්බන්ධතා සහ හිතවත්කම් ව්‍යාජ ලෙස ඇතිකරගෙන එම විශ්වාසය මත රුපියල් කෝටි ගණනක මුදල් වංචා සිදුකරමින් සිටි ජාත්‍යන්තර සයිබර් ජාවාරම්කරුවන් 332 දෙනකු පසුගිය සති කිහිපය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සංවිධානාත්මක සයිබර් අපරාධකරුවන් ශ්‍රී ලංකාවේ පළාත් පහක පමණ රහසිගතව ක්‍රියාත්මක වී ඇත. ඔවුන්ට ආරක්ෂාව දුන් පුද්ගලයන් මෙම ජාත්‍යන්තර වංචාකරුවන්ගෙන් විවිධ වරදාන ලබාගෙන තිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කරගැනීමට අපහසු වී තිබිණි. කෙසේ වෙතත් මේ වනවිට අදාළ වංචාවන්ට අදාළ තොරතුරු සියල්ල රහස් පොලිසිය විසින් අනාවරණ කරගෙන තිබේ.
පසුගිය අගෝස්තු මාසයේ සිට මෙම ජාත්‍යන්තර සයිබර් ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වී තිබේ. අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා කළ විදෙස් ජාතිකයන් පිරිසක් මුලින්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 06 වැනිදා අලුයම් කාලයේදීය. ඒ, හංවැල්ල පාර, ගම්පහ යන ලිපිනයක පිහිටි හෝටලයක සහ අවිස්සාවේල්ල පාර, හංවැල්ල යන ලිපිනයේ පුද්ගලික ආයතනයක් තුළ රැඳී සිටියදීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අතර චීන ජාතික පිරිමි පුද්ගලයන් 29 දෙනකු හා කාන්තාවක්, ඉන්දීය ජාතික පිරිමි පුද්ගලයකු සහ කාන්තාවන් 3 දෙනෙක්, තායිලන්ත ජාතික පිරිමි පුද්ගලයන් 2ක් සහ කාන්තාවන් 4 දෙනකුද සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔවුන් සන්තකයේ තිබී මූල්‍ය වංචාවන් සිදුකිරීම සඳහා යොදාගන්නා ලද ජංගම දුරකතන 499ක්, ලැප්ටොප් පරිගණක 24ක් සහ ඩෙස්ක්ටොප් පරිගණක 29ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ. සැකකරුවන් පිළිබඳ සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මෙම වංචාවන්ට සම්බන්ධ තොරතුරු රැසක් රහස් පොලිසිය විසින් හෙළිකර ගෙන තිබිණි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සහ දුරකතන ඇමතුම් ඔස්සේ හඳුනාගන්නා පුද්ගලයන්ව රවටා විවිධ ඔන්ලයින් ව්‍යාපාරයන්හි මුදල් ආයෝජනය කිරීමට පොලඹවා මුදල් ලබාගැනීම සිදුකර තිබේ. ඒ සඳහා පෙර සූදානම් කරගත් විවිධ භාෂාවන්ගෙන් යුත් ඇමතුම්, සංවාද, කෙටි පණිවුඩ ආදිය යොමුකිරීමද ප්‍රධාන වශයෙන් සිදුකර ඇති බව රහස් පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත. එසේම මෙම සයිබර් ජාවාරම්කරුවන් විසින් චීන, ඉන්දුනීසියාව සහ තායිලන්තය මෙන්ම දකුණු ආසියාතික රටවල පුද්ගලයන්වද මෙම වංචාවට හසුකරගෙන ඇති බව හෙළිව තිබේ.
මෙම සංවිධානාත්මක සයිබර් වංචනිකයන්ගේ කඳවුරු මියන්මාරය, තායිලන්තය ආශ්‍රිතව ක්‍රියාත්මක වන බව හෙළිව ඇති අතර, 2024 අගෝස්තු මාසයේ සිට මේ දක්වා සිදුකරනු ලබන විමර්ශනවලදී මෙරට තුළ සිටද මෙම වංචාවන් ක්‍රියාත්මක වී ඇති බව හෙළිව ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ පරිගණක ඇතුළු ඉලෙක්ට්‍රොනික් මෙවලම් සම්බන්ධයෙන් රහස් පොලිසියේ වෝහාරික විද්‍යාගාරය මගින් පරීක්ෂා කොට වාර්තා ලබාගැනීමටද කටයුතු යොදා තිබේ. රහස් පොලිසිය, ජාත්‍යන්තර පොලිසිය සහ යුරෝපෝල් මගින්ද අවශ්‍ය නීතිමය සහාය ලබාගනිමින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මෙම සයිබර් වංචනික ජාලයට අදාළව දෙවැනි මෙහෙයුම පොලිසිය විසින් සිදුකර ඇත්තේ පසුගිය 08 වැනිදා පස්වරුවේ පානදුර උතුර ගොරකාන, කෙසෙල්වත්ත ප්‍රදේශයේදීය. එම ප්‍රදේශයේ හෝටලයක සැකකටයුතු විදෙස් ජාතිකයන් පිරිසක් රැඳී සිටින බවට පානදුර උතුර පොලිසියට ලද තොරතුරක් මත ප්‍රථමයෙන් පොලිසිය අදාළ ස්ථානය වටලා වීසා නොමැතිව රැඳී සිටි විදෙස් ජාතිකයන් 20 දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. එම සැකකරුවන් වයස අවුරුදු 22ත් 49ත් අතර පසුවන චීන ජාතිකයන් පිරිසකි. ඔවුන් සන්තකයේ තිබී ජංගම දුරකතන 442ක්, රවුටර් 19ක්, ඩෙස්ක්ටොප් පරිගණක 3ක්, ලැප්ටොප් 9ක්, මොනිටර් 3ක්, වීඩියෝ කැමරා 2ක්, සිම් කාඩ්පත් 115ක්, ප්‍රින්ටර් 1ක්, යූ.එස්.බී. කේබල් 867ක්, සී.සී.ටී.වී. කැමරා 2ක්, නෙට්වර්ක් කේබල් 22ක්, පවර් කෝඩ් 16ක් සහ ගණක යන්ත්‍ර 3ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ. පසුගිය 06 වැනිදා හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද චීන ජාතිකයන් සමග මෙම සැකකරුවන්ට සම්බන්ධතා ඇද්ද යන්න ගැන රහස් පොලිසිය මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක කරමින් ඇත.
මෙම සයිබර් අපරාධ ජාලය සම්බන්ධයෙන් සිදුකළ තුන්වැනි මෙහෙයුමට අදාළව පසුගිය 12 වැනිදා මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පල්ලෙකැලේ, කුණ්ඩසාලේ ප්‍රදේශයේ හෝටලයක සැක සහිත ලෙස රැඳී සිටි චීන ජාතිකයන් 129 දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් සන්තකයේ තිබී ලැප්ටොප් පරිගණක 100කට අධික ප්‍රමාණයක් සහ ජංගම දුරකතන විශාල ප්‍රමාණයක්ද පොලිසිය භාරයට ගැනිණි. මෙම චීන ජාතිකයන් හෝටලයේ කාමර 47ක් වෙන්කරවාගෙන සිට ඇති අතර, හෝටලයේ පිහිටි උත්සව ශාලාවේ මේස දමා පරිගණක යන්ත්‍ර භාවිත කර ඇති බවයි හෙළිව ඇත්තේ. මෙම ස්ථානයේ රැඳී සිටිමින් මුදල් වංචා සඳහා චීන ජාතිකයන් සම්බන්ධීකරණය කරන ලද ශ්‍රී ලාංකිකයකුගෙන්ද විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කරගෙන යන බවයි වාර්තා වන්නේ. මෙම වැටලීමට අදාළ ඉදිරි විමර්ශන වැඩබලන පොලිස්පති නියමයෙන් රහස් පොලිසියට පවරා තිබේ.
එසේම මෙම සයිබර් අපරාධ සම්බන්ධයෙන් තවත් මෙහෙයුමක් සිදුකර ඇත්තේ පසුගිය 13 වැනිදාය. එදින පස්වරුවේ මහනුවර පොලිසියට ලද තොරතුරකට අනුව මහනුවර අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක සැක සහිත ලෙස රැඳී සිටි චීන ජාතික පිරිමි පුද්ගලයන් 15 දෙනකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබිණි.
මීට අමතරව, මහනුවර කොට්ඨාස අපරාධ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පසුගිය 12 වැනි දින පල්ලෙකැලේ පොලිස් වසමේ නත්තරම්පොත ප්‍රදේශයේ හෝටලයක සැක සහිත ලෙස රැඳී සිටි චීන ජාතිකයන් 126ක්, වියට්නාම ජාතිකයන් 2ක්, තායිලන්ත ජාතිකයෙක් සහ පිලිපීන ජාතිකයෙක් ඇතුළු 30 දෙනකු අත්අඩංගුවට ගෙන මහනුවර පොලිසියට ඉදිරිපත් කර තිබිණි. එම සැකකරුවන් පසුගිය 13 වැනි දින මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් සමග සම්බන්ධයක් ඇද්ද යන්න ගැනද විමර්ශන සිදුකරමින් පවතී.
එසේම, 13 වැනි දින දහවල් වැලිකඩ පොලිස් වසමේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක සැක සහිත ලෙස රැඳී සිටි චීන ජාතික පිරිමි පුද්ගලයන් 11 දෙනකු සහ චීන ජාතික කාන්තාවන් 4 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් භාරයේ තිබී පොලිසිය භාරයට ගත් ලැප්ටොප් පරිගණක රජයේ රස පරීක්ෂක අංශය වෙත යවා වාර්තාවක් ලබාගැනීමට රහස් පොලිසිය කටයුතු යොදා තිබේ.
කොරෝනා කාලයේ චීන සංචාරකයෙක් සිප වැලඳගෙන එවක සෞඛ්‍ය ඇමැතිනිය චීනය පිනවන්න ගොස් ලංකාවටම කොරෝනා දුන්නාය. දැන් චීනය ඇතුළු රටවලට නිදහස් වීසා බලපත්‍ර දී සයිබර් අපරාධකරුවන් ගෙන්වාගෙන ලංකාව සයිබර් අපරාධ තිප්පොළක් බවට පත්කොට ඇත.
ප්‍රේමලාල් විජේරත්න









