හිටපු ඇමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් 1977 ජේ.ආර්. බලයට ආ පසු ඔහුගේ විශේෂ දූතයකු වූ වර්නන් වෝල්ටර්ස්ව ලංකාවට එව්වේය. ඔහුගේ සංචාරය ඉන්දීය මාධ්‍ය හැඳින්වූයේ යූ.එස්. ඩිග් ඩීපර් ඉන්ටු ශ්‍රී ලංකා කියාය. එකල සෝවියට් කඳවුරේ මිත්‍රයකුව සිටි ඉන්දියාව මෙම සංචාරය විග්‍රහ කළේ ලංකාවේ යූ.එස්. සෙන්ට්‍රල් කමාන්ඩ් මූලස්ථානය පිහිටුවන්න ඇමෙරිකාව උත්සාහ දරනවා කියාය. ත්‍රිකුණාමලයේ ඇමෙරිකානු නාවික කඳවුර පිහිටුවීමෙන් පසු ඇමෙරිකානු සෙන්ට්‍රල් කමාන්ඩ් නොහොත් centcom මූලස්ථානය ලංකාවේ පිහිටුවීමට යන බව සෝවියට් දේශයේ බුද්ධි අංශ විසින් ඉන්දියාවට දන්වා තිබිණි. සෝවියට් දේශයේ උපදෙස් මත ඉන්දියාව උතුරේ දෙමළ සන්නද්ධ කල්ලිවලට උදව් කරන්න පටන් ගත්තේ මේ බුද්ධි තොරතුරු මතය.
ඇමෙරිකාවේ සෙන්ට්‍රල් කමාන්ඩ්හි AOR නොහොත් ‘ඒරියා ඔෆ් රෙස්පොන්සිබිලිටි’ එක මැදපෙරදිග, මධ්‍යම ආසියාව සහ දකුණු ආසියාවය. 2003 ඉරාක යුද්ධය, ඇෆ්ගනිස්තාන යුද්ධය, වත්මන් ඉරාන යුද්ධය ඇමෙරිකානු centcom හි මෙහෙයුම්ය.
1980 දශකයේ රේගන්ගේ විශේෂ දූතයා වූ වර්නන්ගේ සංචාරය මතකයට නංවමින් පසුගිය සතියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් ලංකාවට ආවේය. ඔහු දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයාය. ඔහු ලංකාවට පැමිණ ජනාධිපති අනුර හමුවීමෙන් පසු කොළඹ වරායේ සංචාරයක් කළේය. ඔහු කොළඹ වරායේ පයිලට් ස්ටේෂන් එකට ගොස් කොළඹ වරාය අවට මුහුද නිරීක්ෂණය කළේය. ඔහු මෙරටට ආවේ ඉරාන යුද්ධය අතරමැදය. ලංකාව අවට මුහුදේ ඉරාන නැවකට ඇමෙරිකාව ප්‍රහාරයක් එල්ල කොට තිබියදීය.
ඉරාන යුද්ධයත් සමග ලංකාව තුළ ඇමෙරිකානු මැදිහත්වීම වැඩිවී ඇති බව පැහැදිලිය. දියාගෝ ගාෂියාහි යූ.එස්. සහ බි්‍රතාන්‍ය නාවික බේස් එකට ඉරානය මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එහෙත් ඉරානය එය ප්‍රතික්ෂේප කොට තිබිණි. දියාගෝ ගාෂියාහි ඇමෙරිකානු සහ බි්‍රතාන්‍ය නාවික කඳවුරු ඉවත් කොට ඉන්දියානු සාගරය සාම කලාපයක් කරන්න 1970-77 බණ්ඩාරනායක මැතිනියගේ රජය සහ ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි රජය විශාල උත්සාහයක් ගත්හ. රේගන්ගේ විශේෂ දූතයා ලංකාවට ආවේ ඉරාන රජයන් දෙකම පරාජය වීමෙන් පසුවය. ලංකාවේ ත්‍රිකුණාමලයේ නවාල් බේස් එකක් හදන වර්නන් මෙහෙයුම අසාර්ථක වුවත් ඇමෙරිකාව යළි දියාගෝ ගාෂියාහි සිය බලය ශක්තිමත් කර ගත්තේය. සර්ජියෝ ගෝර්ගේ ලංකා සංචාරය වර්නන්ගේ මෙහෙයුමේ දෙවැනි කොටසද කියන්න දන්නේ නැත.











