මේ මහායාන වෘතාන්තය මිනිස් ලොව පහළවූ තුන්වැනි බුදුවරයාණන්වූ “මර්පා ලොත්සාවා”තුමන් බෝධිසත්ව අවධියේ විසූ ක්‍රි.ව. 1050දී පමණ සිදුවූවකි. (මර්පාතුමාගේ ආචාර්යවරයාණන් වහන්සේ ලොවට පහළ වූ දෙවැනි බුදුන් වන “නාරෝපා”තුමාණෝයි. එතුමා (නරෝපා) තවමත් හිමාල වනයේ සමාධි සුවෙන් වෙසෙමින් තම භක්තිවන්තයන්ගේ උපද්‍රවයනට පිහිට වීමට අවස්ථානුකූලව පහළවන බව කියති.)
ඒ සමයේ (ක්‍රි.ව1050) එතුමා (මර්පා ලොත්සාවා) තිබ්බතයේ (ටිබෙට්) භූතාන දේශසීමාවේ පදිංචිව සිටි මහාචාර්යවරයෙකි. මහා යෝගියෙකි. ධ්‍යාන (අභිඥා) ලාභියෙකි. චෛතසික සන්නිවේදන (MIND TRANSMISSION) ශක්තිය තිබූ බෝධිසත්වයෙකි. එසේම තිබ්බතයේ සිට ගිරිදුර්ග වන දුර්ග ගෙවා පාගමනින්ම තෙවරක් ඉන්දියාවට ගොස් ධර්මය සහ ඉන්දියානු භාෂා අධ්‍යයනය කළ ප්‍රාඥායෙකි.
(චෛතසික සන්නිවේදනය යනු තමන්ගේ සිතේ ඇතිවන හැඟීමක් වෙනත් කෙනකුගේ සිතට සම්ප්‍රේෂණය කිරීම සේම වෙනත් කෙනකුගේ හැඟීම්ද දැනගැනීමේ-ථෙරවාදී පරචිත්ත විජානන-හැකියාවයි.)
ඒ සමයේ එතුමෝ භූතානයේ සිට “ලොට්ට්‍රක්” නගරයට යන මාර්ගයට මුහුණලා පිහිටි තෙමහල් මන්දිරයක සිය දරුවන් සත් දෙනාත් බිරියත් (ඩග්මෙමා) සමග පදිංචිව උන්හ.
වැඩිමහල් පුත්‍රයා “ධර්ම ඩොඩේ”ය. සෙසු හයදෙනා පිළිවෙළින් ධර්ම සම්තෙන්, චෝපාල්, මර්ලෙප්, පල් ඕ, ත්‍රක් ඕ සහ චරික් බොර්ලෝ වූහ.
ධර්මඩොඩේතුමා “ලොට්ට්‍රක් නගරයේ වාර්ෂික න්ගමොවු ෂූල් සල්පිලයි මහා සාදයටයි තනි කැමැත්තට යාමට සූදානම් වෙද්දී ඔහුගේ මව ගමන වැළකීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. ඒ නිසා උත්සවයට ගියත් එහිදී කඩනොකළ යුතු පොරොන්දු හතක් (7) දී විශ්වසනීය ශිෂ්‍යයන් වන “ජෙට්සුන් මිලා” සහ “මර්පා ගොලොක්” ඇතුළු සිසුන් සිවුදෙනකු ඔහුගේ ආරක්‍ෂාවට යැව්වාය.
මවට වූ පොරොන්දු ඉරණම පරිදි උත්සව භූමියේදී ඔහු අතින් බිඳී ගියේය. ආපසු එන අතරතුරේදී හෙතෙම දරුණු අනතුරකට මුහුණපෑවේය. ආරක්‍ෂාවට ගිය ගෝලයන් සිවුදෙනා විසින් ඔහු ආපසු ගෙනෙනු ලැබුවේය.
නොවැළැක්විය හැක්ක ඍද්ධි බලයෙන් සියලු සිද්ධියම දැන සිටි ධර්මඩොඩේගේ පියා පුත්‍රයාගේ මළ සිරුරට (විඥානය මුදාහැරීමට) ජීවය දීමට සූදානම් වූවේය.
(අද එතැන්සිට)
අංගණය හිස්ය. පාළුය. නිහඬය. ගුරුතුමාත් ශිෂ්‍යයනුත් මුනිවත රකිමින් විනාඩි කීපයක් උන්හ.
‘මගේ ඩොඩේබුම් පුත්‍රයාණෙනි, හොඳට සවන් දෙන්න. මර්පා ලොත්සවා වන මම අව්‍යාජ ගුරු උතුමන්වූ නාරොපා සහ මෛත්‍රීපාතුමන්ලාට උවටැන් කෙළෙමි. මම බොහෝ තන්ත්‍රද, අටුවාද, වාචික අනුශාසනාද ලැබුවෙමි. උන්වහන්සේලා සතර අභිෂේකයන්ගේ හරය මා වෙත සම්ප්‍රේෂණය කළහ. විඥාන නිකුත් කිරීම් සහ විඥාන සංක්‍රමණ ශක්ති තන්ත්‍ර මම අත්කර ගතිමි. ඒ සියල්ල කිසිදු ගුරුමුෂ්ටියක් නොතබා මම ඔබට ඉගැන්වුවෙමි.
අස්ථිර මායාවී කය (සිරුර) සදා නොරැඳේ. අනපේක්‍ෂිත අවස්ථාවක මාරයා ආවේය. ඔබගේ හිස්කබල බිඳිණි. බුදුන් වහන්සේලාගේ දිව්‍යමය සන්නිපාතය වූ ඔබේ මොළය බිඳී කැබැලි විසිවී තිබේ. ඔබේ පියා දේවතා මණ්ඩලයකි. ඔබේ විඥානය බ්‍රහ්ම මණ්ඩලයෙන් බැහැර කරන්න. ඉන් අනතුරුව ඔබේ විඥානය ඔබේ පියාණන්ගේ හෘද කේන්ද්‍රයට මුදාහරින්න.’
සිය සැමියා ස්තෝත්‍රයක් උස් හඬින් ගයන හඬ මන්දිරය අභ්‍යන්තරයේ උන් ඩග්මෙමාට (ධර්ම ඩොඩේගේ මව) ඇසිණි. මගේ සැමිතුමා එතුමාගේ කුටියේ ඉඳලයි භාවනා අභ්‍යාස කරමින් සිටියේ. දැන් විඥානය මුදාහැරීම පැහැදිලි කෙරෙන ස්තෝත්‍ර ගායනා කරනවා ඇහෙන්නෙ මිදුලෙන්. මගේ පුතාට මොකක් හරි කරදරයක්ද? යැයි කල්පනා කළ ඕ වහාම මිදුලට දිව ආවාය. පියා පුතුගේ ලේ පෙරෙන හිස උකුලේ තබාගෙන සිටිනු දුටු මව සිහිසුන්ව වැටුණාය.
ඒ වන විට මන්දිරයේ සිටි සියලුම ශිෂ්‍යයෝද උපස්ථායකයෝ ද මර්පා ලොත්සවාතුමා සිටි තැනට පැමිණ සිටියහ. ටික වෙලාවකට පසුව ධර්ම ඩොඩේගේ මව සිහි ලැබුවාය. ඇය සිය සැමියාගෙන් මෙසේ ඇසුවාය.
‘යන්ත්‍ර තන්ත්‍ර යෝගි භාවනා, විඥාන නිකුත් කිරීම් සහ විඥාන සංක්‍රමණ ශක්ති සමග වෛද්‍ය ශාස්ත්‍රයේ සියලු ප්‍රභේද ප්‍රගුණ කළ ඔබතුමාට මගේ පුතා සුව කරන්න බැරිද?’
විනාඩි කීපයක් නිහඬව ගෙවී ගියේය.
භාවනානුයෝගි ශිෂ්‍යයන් සියයකට ආසන්න පිරිසක් සිය ආචාර්යතුමාත් එතුමාගේ බිරියත් ධර්ම ඩොඩේතුමාගේ සිරුරත් වට කොට සිටියත් ‘හුම්’ හඬක් හෝ නොනැඟිණි.
‘මොන ශාස්ත්‍ර දැනගත්තත් ඔළුවක් නැති කෙනකු මම සනීප කරන්නෙ කොහොමද?’යැයි තම පුත්‍රයාගේ හිස සිය උකුල මතම තබා ගත්වනම සිට තම බිරියගෙන් ඇසූ මර්පාතුමා ‘කළ කර්ම මෝරලා පල දෙන්න එනකොට තුන් ලෝකෙම වැඩ සිටින බුදුන් වහන්සේලාටවත් කිසි දෙයක් කරන්න බෑ’යැයි කියමින් සිය පුත්‍රයාගේ හිස තම බිරියගේ උකුල මත තබා මර්පාතුමා නැගී සිටියේය.
‘පුතාට අනතුර වුණේ මම හින්ද නෙමෙයි. දැන් ඒ ගැන තර්ක කර කර ඉන්න එකේ තේරුමකුත් නෑ. මගේ පුතත් මානසික සම්ප්‍රේෂණ ඉගැන්නූ ආචාර්වරයෙක්. මගේ සැමියාවත් තමන්ගෙ විඥානය මගෙ පුතාගෙ හිතට තවම මුදාහැරල නැති පාටයි. මම මගේ පුතාට සිතත් කයත් දුන්න අම්මා නිසා පුතා මට ආදරේ වැඩියි. ඒ නිසා පුතා එයාගෙ විඥානය මගේ හිතට මුදාහරින්න උත්සාහ දරනව ඇති’ යැයි සිතින් මුමුණාගත් ඇය තම මුව පුත්‍රයාගේ කනට ළං කළාය.
අනතුරුව විඥානය මුදාහැරීමේ තොහුවක් (ස්තෝත්‍රයක්) ගායනා කරන්නට වූවාය.
තුන් ලොවේ තුන් කාලයේම වැඩවෙසෙන බුදුන් වහන්සේලාගේ අව්‍යාජ නිර්මාණකාය වූ පරිවර්තක මර්පා ලොත්සවා තුමනි, මම ඔබේ දෙපා නමදිමි.මගේ පුත් ඩොඩේබුම් කුමරුනි. මම බුදුන් වහන්සේලා ලොවට බිහි කළ “නෛරාත්ම්‍යා” දේවිය වූ ඔබගේ මාතාවය.
මගේ හද නමැති අටපෙති නෙලුම් පුෂ්පය මත චන්ද්‍ර සූර්ය මණ්ඩල ආසනයේ වැඩසිටින්නේ පරිවර්තක මර්පා ලොත්සාවා නම් අතිඋතුම් ජීවියායි. එතුමා පහළ වූ දේවතාවියන් නවදෙනා සහිත “හේවජ්‍ර” දේවතාවාය.
“ පුත්‍රය, සංස්කාරයන්ගෙන් උපන් ශරීරය හැර යාම ඔබට දුකක් විය හැකිය. සංස්කාරමය කය අහසේ පෑවූ දේදුන්නක් සේ අනිත්‍යය.”
“පුත්‍රය, ඔබගේ හිස් මුදුනේ වූ විඥානය “බ්‍රහ්ම රන්ද්‍රයෙන්” පිටතට බැහැර කරන්න. ඉන්පසු ඔබගේ විඥානය ඔබේ මවගේ හෘද කේන්ද්‍රයට මුදාහරින්න.”
ධර්ම ඩොඩේගේ මව ඩග්මෙමා තොහුව ගයා නිමකර බොහෝ වේලාවක් බලා සිටියාය. ඇගේ සිතේ නොසන්සුන්කම ඇතිවන්නට වූවේය. ඕ කඳුළු වගුරන්නට වූවාය. එහි උන් සියලු දෙනාම අධ්‍යාත්මය පුබුදුවන්නට උත්සාහ දරන්නෝ වූහ. භාවනා යෝගීහුය. එහෙත් ශෝකය සංවේගය විසින් ඒ සියලලෝම වෙළාගනු ලැබ උන්හ.
ඩග්මෙමා සිය උකුලේ හිස හොවාගනු ලැබ සිටියා වූ සිය පුත්‍රයා ඒ මොහොතේ දෙනෙත් හැරියේය. ඇයගේ ඉකිබිඳුම වැඩි වූ තරම්ය. සියල්ලෝම පාහේ සැනසුම් සුසුම් හෙලූහ. ඒ අතරතුරේ ධර්ම ඩොඩේ අවට බලන කල ජෙට්සුං මිලා පෙනෙන්නට සිටියේය.
‘ඉන්ද්‍රජාල අයියණ්ඩි මට නැගිටින්න උදව් කරනවද?’
ඒ ඉල්ලීම අනුව ජෙට් සුං මිලා ධර්ම ඩොඩේ වත්තං කර ඉන්දෙව්වේය. හිසේ තුවාලය ධර්ම ඩොඩේ තමාම රෙදි පටියෙන් වෙළාගත්තේය. අනතුරව ජෙට්සුං මිලා දෙස බැලූ හෙතෙම ‘මන්ත්‍රකාර අයියෙ, මගෙ මූණේ මොකක්fදා් අමුත්තක් දැනෙනවා. පොඩ්ඩක් පිහදාන්න බැරිද?’ යැයි ඇසුවේය.
ඒ සමගම සෙස්සන් බලා සිටියදී ජෙට් සුං මිලා ඒ ඉල්ලීම ඉටු කරන විට ‘මම හිතුවෙ අම්මගෙයි තාත්තගෙයි කරුණාවන්තකමට වන්දි ගෙවන්න. ඒ වුණත් ඒක කරන්න මට බැරි වුණා.මේ සිද්ධියෙන් මම ඒ දෙන්නගේ හිතුත් කලකිරෙව්වා” ධර්මඩොඩේ කීවේය.
‘නෑ, නෑ එහෙම එකක් නෑ, ඔබතුමා කතාකරන්න එපා. තවත් වේදනා ඇතිවෙයි’.
‘ඔයාල දන්නෙ නැතුවට මට දැන් පුනරුත්පත්තිය පිළිබඳ “බාර්ඩෝව” (මරණයෙන් පසුව විඥාන ගමන හෙවත් අන්තරාභව ස්වභාවය) කියන ජීවී සත්වයන්ගේ මහා විශ්ව මාර්ගයේ භයානක දීර්ඝ ගමනක් යන්න වෙලාව ඇවිත්. ඒක හරියට අඳුරු බිං ගෙයක් ඇතුළෙන් යනවා වගේ ගමනක්. සමහරුන්ට අනන්ත අප්‍රමාණ දුක් විඳින්නත් වෙනවා. එසේ වුණත් මගේ පියතුමාගේ කරුණාව නිසා මට ඊළඟ උත්පත්තියට එක එල්ලේම යාමේ හැකියාව ලැබී තියෙනවා. ඒ නිසා මට පුනරුත්පත්ති බාර්ඩෝවෙදි දුක් විඳින්න වෙන්නෑ’.
‘මිනිස් ආත්මයක් ලබන බොහෝ දෙනා ධර්මය ප්‍රගුණ කරන්නෙ නෑ. මට ඔවුන් ගැන හරි දුකක් ඇතිවෙනවා. ධර්මය අනුගමනය නොකරන අය ගැන අපට කරන්න දෙයක් නෑ. අම්මටයි තාත්තටයි අනිත් අයටයි මම කියන්නෙ හිත් කරදර කර ගන්නෙ නැතුව ජීවත් වෙන්න කියල. දැන් මම යන්න ලෑස්තියි. ඉන්ද්‍රජාල අයියෙ, මාත් එක්ක මම කියන ගීතය (තොහුව-ස්තෝත්ත්‍රය) කියන්න’ යැයි කී ධර්ම ඩොඩේ ආයාචනාත්මක තොහුවක් (ගීයක්) ගයන්නට පටන් ගත්තේය.
‘ත්‍රිලක්‍ෂණයෙන් සමන්විත උත්තමයාණන් වූ මගේ පියාණෙනි, ඔබතුමා කීර්තිධර වජ්‍රධර උත්තමයාගෙන් නව අවතාරයක් ලෙසින් පහළ වූ දේවතාවියන් සහිත හේවජ්‍ර පියාණන්වූ ඔබ වහන්සේගෙන්, මගේ මෑණියන් වන සියලු බුදුන් වහන්සේලාට උපත ලබා දුන් නෛරාත්ම්‍යා මාතාව වෙන්කළ නොහැකිය. ඔබ දෙපළගේ ආශීර්වාදයත් අභිෂේකයත් මට දෙනු මැනවි. මරණය වැළැක්විය හැක්කක් නොවේ. ඔබ දෙපළ සිත් කරදර කර නොගනු මැනවි. පියා, මව සහ පුත්‍රයා වශයෙන් අප මෙලොවදී යළි හමු නොවේ යන්න මගේ විශ්වාසයයි. “උඩ්ඩියානයෙහි” දී (දිව්‍ය භූමියෙහිදී) අපි යළි හමුවෙමු.’
ධර්ම ඩොඩේ එසේ ගැයූ පසු මර්පා ලොත්සවාතුමා මෙසේ කීය.
‘පුත්‍රයාණෙනි, ඔබ මිනිස් ලොව විසුවොත් රට ස්වයංපෝෂිත වේවි. ලෙඩ රෝග නැතිවේවි. තිබ්බතය (ටිබෙට්) පුරා ධර්මය පැතිරේවි. එහෙත් ඒ සියල්ලට පෙර මාරයා ඉස්සර වූවේය.’
මාර්පාතුමා උස් හඬින් එසේ පැවසීමෙන් පසුව, ඩග්මෙමාතුමිය සහ ජෙට්සුං මිලා ඇතුළු පිරිස විසින් ඔසවා ධර්ම ඩොඩේතුමා මන්දිරය ඇතුළට ගෙනයනු ලැබුවේය. සියලුම ශිෂ්‍යයෝද වට වූහ. මර්පාතුමාගේ භක්තිවන්තයෝද ඒ වන විට රැස්ව සිටිියහ.
පිරිස අතර ප්‍රදේශයේ භක්තිවන්තියක වූ පල්මෝ මැතිණියද සිටියාය. ඕ ධර්ම ඩොඩේ ළඟට ආසන්න වූවාය. ඒ හාම තවත් භක්තිවන්තයෝ කීප දෙනෙක්ද ළං වූහ. ජීවත්ව සිටින සත්වයන්ගේ යහපත උදෙසා විඥාන සංක්‍රමණය ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු සියලු දෙනාම ධර්ම ඩොඩේතුමාගෙන් ඉල්ලා සිටියහ.
‘භාවනා නොකර බුද්ධත්වය (බුද්ධ බෝධිය) ලබාගත හැකි අන්දමට විඥානය මුදාහැරීමේ සහ විඥාන සංක්‍රමණයේ උපදෙස් තිබ්බතය පුරා පතළවී යන අයුරු දකින්නට ඔබ අපේක්‍ෂා කරන්නේ නම් කිසිම තුවාලයක් නැති හොඳ නාඹර තරුණයකුගේ මළ සිරුරක් ගේන්නැ’යි, ධර්ම ඩොඩේ එවිට එම පිරිසට කීවේය.
විධානය ඇසෙත්ම මන්දිරයේ ධර්ම ගවේෂී ශිෂ්‍යයෝ සතර දිසාවටම දුවන්නට පටන්ගත්හ. සෑම නිවෙසක් පාසාම ගිය ඔවුහු හිස් අතින්ම ආපසු ආවෝය. එහෙත් එක් ශිෂ්‍යයෙක් මියගිය මැහැලියකගේ සිරුරක් ගෙනාවේය.
තම විඥානය එම සිරුට මුදාහරින ලෙසට සියල්ලෝම එතුමාගෙන් ඉල්ලා සිටියහ.
එහෙත් ධර්ම ඩොඩේ ඒ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය.
‘වියපත් කෙනකුගෙන් සුජීවත්ව සිටින අයට එතරම් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ නිසා මම විඥානය මුදා හරින්නෙ නෑ.’
ඒ අතරේ තවත් ශිෂ්‍යයෙක් මියගිය පරෙවියකුගේ සිරුරක් දුන්නේය. ධර්ම ඩොඩේ ඒ ගැන කතා කළේ නොසතුටු සිතකිනි.
සතෙකුගේ මළ සිරුරකට විඥානයක් ඇතුළු කළා කියල මොකක්ද කරන්න පුළුවන්, අඩුම තරමින් කුරුල්ලකුට කතා කරන්නවත් පුළුවන්ද? මාව ඒතරම්ම පාච්චල් (අවතක්සේරු) කරන්න එපා’ එතුමා කීවේය.
මේ අතරතුරේ ශිෂ්‍යයන් අතර තදබල අවිශ්වාසයක් ඇතිවිය. ඒ සම්බන්ධ කසුකුසුවක්ද පැතිරෙන්නට පටන් ගත්තේය. එකිනෙකා තැනින් තැන මුණුමුණු ගාන්නටද විය.
“මර්පා ලොත්සවා ආචාර්යතුමා කියනවා එක් ජීවිත කාලයක් තුළ බුද්ධ බෝධිය (බුද්ධත්වය) ලබාගත හැකි ධර්ම උපදේශ සමග විඥාන සම්ප්‍රේෂණ (චෛතසික සන්නිවේදන) ශක්තිය තියෙනව කියල. ඒක ඇත්තක් වෙන්න බැහැ. දැන් බලනකොට හිතෙන්නේ ඒවා ඇස් බැන්දුම් කියලා…” කසුකුසුවේ හරය එවැන්නක් විය.
ඒ අතරේ හදිසියේම ධර්ම ඩොඩේ සියල්ලන්ම අමතන්නා සේ උස් හඬින් කතා කෙළේය.
‘මට දැනෙනවා ඔයගොල්ලන්ගෙ කසුකුසුව මොකක්ද කියලා. ඉන්දියාවෙදි පරිවර්තනය කරපු ධර්ම වැරදියි කියලද කියන්නෙ. පියතුමා තුන්වරක් ඉන්දියාවෙ ගිහින් ඒව ඉගෙන ගත්තෙ. මගේ පියාණන් උගන්වපු ධර්මය වැරදියි කියන්නෙ කොහොමද? ගුරුතුමා ගැන, ධර්මය ගැන අවිශ්වාස කිරීමේ විපාකය ආත්ම ගණන් “භවගාමී” වෙන එකයි. බුද්ධ ධර්මය ප්‍රචාරය වෙන්නත්, මගේ පියාගේ ඉගැන්වීම්වල සත්‍යතාව පෙන්වන්නත්, ධර්මය ගැන, ගුරුවරයා ගැන අවිශ්වාස කරන මෙතැන ඉන්න අය භවගාමී නොකරන්නටත් මම දැන් මගේ විඥානය මේ පරෙවි මළකුණට මුදාහැර පෙන්වනවා (සම්ප්‍රේෂණය කරනවා).’
‘මම දැන් සම්පන්න ක්‍රමයෙන් දියවී ගිහින් විඥානය මුදාහරිනවා. පූජාවක් සුදානම් කර පරෙවියා කොටය උඩ තියන්න.’ කී ධර්ම ඩොඩේ භාවනානුයෝගී තත්ත්වයට පත්වූවේය. ඒ අවස්ථාවේ අවතාර මෙන් දේවතාවියන් නම දෙනා සමග හේවජ්‍ර දේවතාවාද පහළවූහ.
ඔවුහු සාමාන්‍ය මිනිසුන්ට පවා දකින්නට හැකි අයුරින් දර්ශනය වූහ. ධර්ම ඩොඩේ ඒ අවතාර රූප සම්පන්න ක්‍රමයට දියකර යවා සිය විඥානය මුදා හළේය. ඒ සමගම ඔහුගේ සිරුර සුදුමැලි වන්නට පටන් ගත්තා සේම පරවියාද මඳක් තටු සොලවන්නට පටන් ගත්තේය.
සියල්ල සිදුවූයේ සියලු දෙනාම තුෂ්ණිම්භූතව සිටියදීය. ඇත්ත වශයෙන්ම පිරිස සිටියේ තුෂ්ණිම් භූතවද භීතියෙන්ද තැති ගැන්මෙන්ද යන්න එක එල්ලේම කිව නොහැකි වුවත් ඒ සියල්ලේම සංකලනයකින් යුතු වික්‍ෂිප්තභාවයකින් සහ අවුල් සහගත තත්ත්වයකින් බව නම් පෙනෙන්නට තිබිණි.
මියගොස් සිටි පරෙවියා ඔය අතරේ නැගිට දෙ පයින් හිට ගත්තේය. අනතුරුව මර්පා ලොත්සවාතුමා සහ ඩග්මෙමා දෙසටද හැරුණේය. ඒ දෙදෙනා වටා තුන් වටයක් කැරකී ප්‍රදක්‍ෂිණා පැවැත්වූ පරෙවියා අහසට නැගී මන්දිරය වටා ගොස් “ට්‍රෝවෝ” නිම්නය දෙසට පියාඹා ගොස් අතුරුදන් වූවේය.
කිසිදු දිනෙක දැක නැති මේ ප්‍රාතිහාර්ය දෙස විවරකර ගත් දෙනෙතින් සහ මුවින් යුතුව බොහෝ දෙනෙක් බලා උන්හ. ඩග්මෙමා, ජෙට්සුං මිලා සහ මර්පා ගොලෙක් ඇතුළු ප්‍රධාන ශිෂ්‍ය පුත්‍රයෝද ඔහු ආසන්නයේම උන්හ.
මර්පාලොත්සවා ආචාර්යාණන් වහන්සේ මෙසේ කීහ.
‘දැන් මේ පරෙවියෙක් නෙමෙයි. ඒ අපේ පුතා, පුතේ දැන් අපි ළඟට එන්නැයි’ පිරිසටද ඇසෙන්නට උස් හඬින් කීවේය.
ටික වෙලාවකින් කුරුල්ලකු තටු ගසන හඬ ඇසුණේය. පරෙවියා මන්දිරය වටා රවුමක් දෙකක් තටු නොසලා ඔහේ පාවෙන්නක් මෙන් කැරකී අවුත් මර්පා ලොත්සවාතුමාගේ උර හිසේ වැසුවේය.
අවසන් කොටස ලබන සතියේ…
චන්ද්‍රසේන මාරසිංහ










