කොවිඩ් -19 වෛරසයේ “ඩෙල්ටා” ප්‍රභේදය ඉදිරියේ දී මෙරට තුළ සුලභ වශයෙන් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ලෝකයේ බොහෝ රටවල විවිධ කොවිඩ් ප්‍රභේද මේ වන විට පැතිරෙමින් පවතින අතර මෙරට තුළ ද ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාමේ අවදානමක් මතුව ඇති බවය.
“මුළු ලොව පුරා ම ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් තිබෙනවා. මම හිතන්නේ නෑ ශ්‍රී ලංකාවට විතරක් එයින් ගැළවෙන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඉදිරියේ දී ඩෙල්ටා ප්‍රභේදය අපේ රට තුළ සුලභ වශයෙන් පැතිර යයි කියලා. හැබැයි අපි දැනට ලබාදෙන සයිනොෆාම්, ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා සහ ෆයිසර් කියන එන්නත් සියල්ලේම වගේම ස්පුට්නික් එන්නතෙන් ඩෙල්ටා ප්‍රභේදය සඳහා විශේෂ ආවරණයක් තියෙනවා කියන කාරණය තමයි විද්‍යාඥයින් පෙන්වා දීලා තියෙන්නේ. එන්නත් ලබාගත් අයට ඩෙල්ටා ප්‍රභේදය වැලඳුනත්, ඉන් ආසාදනයක් ඇති වුණත් ඉන් ඇතිවෙන්නේ අවම බලපෑමක්. ඒ නිසා එන්නත්කරණය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම අපි දන්නවා දකුණු අමෙරිකාවේ පේරු රට කේන්ද්‍ර කරගෙන ඇති වු ලැම්ඩා කියන ප්‍රභේදය රටවල් ගණනාවක පැතිරෙමින් පවතිනවා. ඒ වගේම අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පටන් ගත්ත එප්ස්සයිලන් නමින් හඳුන්වන තවත් අලුත් ප්‍රභේදයකුත් මේ වන විට රටවල් ගණනාවක පැතිරෙමින් පවතිනවා. මේ සියල්ල ගැන අපි අවධානයෙන් පසුවෙනවා.“










