ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහනය රටේ අනාගතය ගොඩනැඟීම වෙනුවෙන් බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු පාර්ශ්වයකට ඉන් අගතියක් වීමට ඉඩ නොදෙන බවත්, සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී මෙම වැඩපිළිවෙළට සහාය වන ලෙස දේශපාලන පක්ෂ ඇතුළු සියලුදෙනාගෙන් තමා ඉල්ලා සිටින බවත් පැවසීය. Sri Lanka Latest News
මෙම වැඩපිළිවෙළ නතර කිරීමට ගන්නා සියලු උත්සාහයන් රට බංකොළොත්භාවයෙන් නිදහස් කර ගැනීමට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළක් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් පරිපාලන සංකීර්ණය ‘ලක්සියනෑ මන්දිරය’ ඊයේ (27) පස්වරුවේ ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට එක් වෙමිනි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල පිහිටා ඇති රාජ්‍ය ආයතන 37ක් එකම ස්ථානයක ස්ථානගත කරමින් ඉදිකෙරුණු සත්මහල් පරිපාලන සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන හාරදහසකට ආසන්නය.
නවීන තාක්ෂණය සමඟ එක්වෙමින් අංග සම්පූර්ණ ගොඩනැඟිලි සංකීර්ණයක් ලෙස මෙය ඉදිකර තිබෙන අතර කාර්යාල පහසුකම්, ආසන 1000කින් සමන්විත සම්මන්ත්‍රණ ශාලාවක්, ආසන 400කින් යුත් ආපන ශාලාවකින් සහ රථ වාහන අංගණයකින් සමන්විතය.
සමරු ඵලකය නිරාවරණය කර පරිපාලන සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේට පුෂ්පෝපහාර දැක්වීය.
අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ අමුත්තන්ගේ සමරු පොතේ සටහනක් ද තැබීය.
පහත මාලයේ ඇති ලංකා බැංකු ශාඛාව විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.
ඉඩම් ඔප්පු ප්‍රදානය, හිටපු දිසාපතිවරුන් ඇගයීම, ශ්‍රවණාබාධිතයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව සිදු විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
අද ගම්පහ දිස්ත්‍රික්කයේ අලුත් පරිපාලන සංකීර්ණය “ලක්සිය නෑ මන්දිරය” විවෘත කෙරෙනවා. අග්‍රා මන්දිරයේ සිට මේ මන්දිරයට පැමිණි වසර 45ක කාලය පිළිබඳ කථා කළහොත් 1977 මහ මැතිවරණයේ දී ගම්පහ යනුවෙන් දිස්ත්‍රික්කයක් තිබුණේ නැහැ. අපි තරග කළේ කොළඹ දිස්ත්‍රික්කය ලෙසයි. බියගම ඡන්ද පෙට්ටිත් රාජකීය විද්‍යාලයට ගෙන ගොස් එතනදි තමයි ප්‍රතිඵල ප්‍රකාශ කළේ.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තීරණය කළා විවෘත ආර්ථිකය ඇති කිරීම සඳහා කටුනායක සිට බියගම දක්වා මහ කොළඹ ආර්ථිකය වෙනම ඇති කිරීමට. මෙය අත්හදා බැලීමෙන් අනතුරුව රටේ වෙනත් පළාත්වලටත් ගෙන යාමටයි සැලසුම් කළේ.
ඒ අවස්ථාවේ දී අපි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හමු වෙලා කිව්වා කොළඹ දිස්ත්‍රික්ක කියලා සියලු දේ ලැබෙන්නේ කොළඹටයි, අපේ පැතිවලට කිසිවක් ලැබෙන්නේ නැහැ කියලා. අපි කිව්වා මේ ප්‍රදේශය නායකයන් බිහි කළ බිමක්. ඔබතුමා වගේම බණ්ඩාරනායක මහත්තයා, ඩී.එස්. සේනානායක, ඩී.බී. ජයතිලක මේ සියලු දෙනා ආවේ මේ පළාතෙන් ඒ නිසා මේ ප්‍රදේශය වෙන් කර දෙන්න කියලා. එතුමා ඒ සඳහා එකඟ වුණා.
ඊළගට තිබුනේ මේ ප්‍රදේශයේ මූලික ස්ථානය ලෙස තෝරගන්නේ කෙසේද කියන කාරණයයි. එවකට සිටි ඩෙන්සිල් ප්‍රනාන්දු ඇමතිතුමා කිව්වා මේක මීගමුවට ලබා දෙමු කියලා. සිරිල් ඇමතිතුමා කිව්වා නැහැ මේක කැළණියට දෙමු කියලා. අපි කිහිප දෙනෙක් සාකච්ඡා කරලා කිව්වා මේකට හොඳම තැන තමයි ගම්පහ කියලා. ඉතින් අපි ගම්පහ තෝරගත්තා. ඒ වැඩකටයුතු කරන්න දිසා ලේකම්තුමා වගේම ඒ කාලයේ දිසා ඇමතිවරු පත් කළා. ටියුඩර් ගුණසේකර මැතිතුමා වැනි අය. මේ දිසා ඇමතිවරු නිසා විශාල දියුණුවත් මෙම දිස්ත්‍රික්කය තුළ ඇති වුණා. දිසා ඇමති ක්‍රමය තිබුණේ නැත්නම් අද මෙම දියුණුව ගම්පහට ලැබෙන්නේ නැහැ.
ඒ අනුව ටියුඩර් ගුණසේකර මැතිතුමා යෝජනා කළා අග්‍රා මන්දිරය දිසා ලේකම් කාර්යාල සඳහා ලබා ගන්න කියලා. ගම්පහ හිටපු මන්ත්‍රී ඊ.ඩී. කරුණාරත්න මැතිතුමා ඊට සම්බන්ධ වුණා. එතැනින් තමයි මෙම වැඩකටයුතු ආරම්භ වුණේ. එහි ප්‍රතිඵලය තමයි අද මේ දක්නට තිබෙන්නේ.
ඒ කාලයේ මේ ප්‍රදේශය එතරම් දියුණු නැහැ. එහෙත් අපි මේ වැඩකටයුතු ආරම්භ කළා. පළමුව කටුනායක සහ බියගම නිදහස් වෙළෙඳ කලාප 02ක් ආරම්භ කළා. අද එම වෙළෙඳ කලාපය තුළ කර්මාන්ත ශාලා 171ක් පමණ තිබෙනවා. 80,000කට පමණ පිරිසකට රැකියා ලැබී තිබෙනවා. එයින් පිට අවම වශයෙන් කර්මාන්ත ශාලා 200-300ක් තිබෙනවා. එක්වරම මෙම ප්‍රදේශය කර්මාන්ත ආර්ථිකයක් බවට පත් වුණා. මේ සියල්ල අපනයන කර්මාන්ත. එසේ නම් මේ කර්මාන්තවලින් විශාල මුදලක් රටට ලබාදී තිබෙනවා. එම ලැබී ඇති මුදලින් ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධනයට වැය කර ඇති මුදල සුළු ප්‍රමාණයක් පමණයි.
එදා මේ දිස්ත්‍රික්කයේ තිබුණේ හෝටල් දෙකයි. දැන් සංචාරක ආර්ථිකයත් මේ පැතිවල ව්‍යාප්ත වී තිබෙනවා. ඒ අනුව කර්මාන්ත ආර්ථිකයක්, අපනයනන ආර්ථිකයක්, සංචාරක ආර්ථිකයක් මෙහි ගොඩනැගී තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කය නිසා ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගොස් තිබෙනවා. අපි කලින් මේකට කිව්වේ විවෘත ආර්ථිකයක නිජ බිම කියලා. දැන් මෙහි ජනහගහණය වැඩි වී තිබෙනවා. ඒ අනුව විශාල දියුණුවක් මේ දිස්ත්‍රික්කය තුළ සිදු කළ යුතුව තිබෙනවා. ජනතාවට අවශ්‍ය නිවාස ලබාදිය යුතුයි, ඒ වගේම අධ්‍යාපනය දියුණු කළ යුතුයි. මේ පළාතට තවත් ප්‍රධාන රෝහලක් ලබාදීමට මම තීරණය කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ඉඩම බියගම, සියඹලාපෙ හන්දියේ වෙන් කර තිබෙනවා.
වෙළෙඳ කලාප සහ නව ව්‍යාපාර ආරම්භ කිරීමත් සමඟ මේ ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇති වුණා. අනාගතයේදීත් මේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ විශාල වැඩකොටසක් කිරීමට තිබෙනවා. 2048 වන විට ශ්‍රී ලංකාවේ දියුණු ආර්ථිකයක් ඇති කිරීම අපේ වැඩපිළිවෙළයි. එහි ප්‍රධාන අංගයක් ලෙස බස්නාහිර පළාත් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
එහි කොටසක් ලෙස වරාය සංවර්ධනයේ ඊළග අදියර ගම්පහ දිස්ත්‍රික්කයට ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා. එහිදී දික්ඕවිට දක්වා ක්‍රියාත්මක වන එම වැඩපිළිවෙළ එතැනින් එහාට ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ඉඩම් කිසිවක් පවරා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. එම කොටස කටුනායකට එකතු කිරීමත් සමඟ එම පළාත්වල විශාල දියුණුවක් ඇති වෙනවා. එවිට ගුවන් තොටුපොළයි, වරායයි දෙකම එක ස්ථානයක තිබෙනවා. එවන් දියුණුවක් ඇති කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ.
ඒ වගේම අලුත් කර්මාන්ත සහ නව ආර්ථික ව්‍යපාර ඇති කිරීමට අපි අපේක්ෂා කරනවා. දැනට දිවුලපිටිය ප්‍රදේශයේ එම දියුණුව ඇති වී තිබෙනවා. ගැටලුවක් ලෙස තිබෙන්නේ මේ ප්‍රදේශවලට ජලය ලබා ගැනීමයි. ඒවගේම මේ දියුණුව දැන් කටුගම්පොළ, ගිරිඋල්ල දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. එය ඉදිරියට ගෙන යමින් බිංගිරියේ මෙරට විශාලතම ආයෝජන කලාපය ආරම්භ කිරීමටත්, ඒ වගේම ඉරනවිල තව ආයෝජන කලාපයක් ඇති කිරීමටත් බලාපොරොත්තු වෙනවා. එවිට වත්තල සිට බිංගිරිය දක්වා විශාල දියුණු ආර්ථික කලාපයක් ඇති වෙනවා. අනාගතයේ දී අපනයනය ආර්ථිකයක් බවට පත්වර්තනය වීමට නම් අපි එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළයුතු වෙනවා.
එම අපනයන ආර්ථිකය කරා යොමුවීමට පෙර අප දැන් තිබෙන ගැටලු විසඳාගත යුතුයි. අපි ණය ගෙවන්න බැරි බංකොළොත් රටක් විදියටයි සිටින්නේ. අපි මේ වැඩ කොටස භාරගත්තේ අවුරුද්දක් තුළ අවසන් කරමු කියලා. අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය එක්ක අපි මේ පිළිබඳ සාකච්ඡා කළා. හුඟක් අය කිව්වා මේක අවුරුද්දකින් කරන්න බැහැ කියලා. අවම වශයෙන් බංකොළොත්භාවයෙන් මිදීමට වසර දෙකක්, තුනක් ගත වෙනවා කියලා. නමුත් අපි කිව්වා කසේ හෝ මේ කටයුත්ත කරමු කියලා. එහිදී අපට මතු වූ ප්‍රශ්න මම දැන් කියන්නම්.
2022 වර්ෂය අවසාන වන විට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය (දේශීය සහ විදේශීය) ඩොලර් මිලියන 83,000යි. එය අද දළ දේශීය නිෂ්පාදිතයෙන් 128% ක් වෙනවා. 2022 වර්ෂය අවසන් වන විට සමස්ත විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 41.000යි. 2022 වර්ෂය අවසාන වන විට සමස්ත දේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 42,000යි. දේශීය ණය ප්‍රමාණය විදේශීය ණය ප්‍රමාණයට වඩා වැඩියි. ඒ නිසා අපට ඩොලර් සොයා ගැනීමට මෙන්ම රුපියල් ලබා ගැනීමටත් අවශ්‍ය වුණා. ඒ කටයුත්ත තමයි අසීරු වුණේ. ඒ නිසා අපට තිබූ එකම මාර්ගය ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව පවත්වාගෙන ගියහොත් 2035 වන විටත් රාජ්‍ය ණය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 100%කටත් වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි ගණන් බලා තිබෙනවා. එහෙම වුණොත් අපට මේ එක සංවර්ධන කටයුත්තක්වත් සිදු කිරීමට නොහැකි වෙනවා.
ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව ඉදිරි වසර දෙක, තුන තුළදී විදෙස් ණය මුදල් ගෙවීමට සිදුවුවහොත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%කටත් වඩා ඒ සඳහා වැය වෙනවා. මේ මුදල් අපි කොහෙන්ද ලබා ගන්නේ. එසේනම් අපට කරන්න තිබෙන එකම දේ ණය ප්‍රතිව්‍යුහගත කර මේ සහනය ලබා ගැනීමයි. මේ සහනය ලබා ගන්නවද, ණය මෙ ලෙස ගෙවනවද කියා අප තීරණය කළ යුතුව තිබෙනවා.
අපට මෙම සහාය ලබාදෙන්න විදේශ ණය හිමියන් කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. එහිදී දන්වා තිබෙනවා විදේශීය ණයයි, දේශීය ණයයි දෙකම අඩු කරගන්න කියලා. විදේශීය ණය අඩු කර වැඩක් නැහැ, දේශීය මුදල් නැත්නම් විදේශීය මුදල් අරගන්න බැහැ. එම නිස අපි විදේශීය ණයකරුවන්ගෙන් ඉල්ලන්නේ ඉදිරි වසර 05 තුළ ඩොලර් මිලියන 17,000කින් අපට සහනයක් ලබා දෙන්න කියලා.
ඒ කියන්නේ ඩොලර් මිලියන 41,000න් ඩොලර් මිලියන 17,000ක සහනයක් ලබා ගැනීමයි. එය කරන්න ද, එපා ද කියා තීරණය කළ යුතුයි. ආණ්ඩුව උත්සාහ කරන්නේ එම සහනය ලබා ගැනීමටයි. ඒ වගේම අපට දේශීය ණයකරුවන්ගෙනුත් සහනයක් ලබා ගැනීමට තිබෙනවා.
මොකද ඩොලර් මිලියන 17,000ක සහනයක් අරගත්තට රුපියල් නැත්නම් මොකක්ද කරන්නේ, එම නිසා අපි දේශීය ණය සහ විදේශීය ණය යන දෙකම ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. දැන් එම යෝජනා සකස් කරමින් තිබෙනවා. අගමැතිතුමයි, මමයි මේ පිළිබඳ සාකච්ඡා කර එය 28වනදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ වගේම ආණ්ඩු පක්ෂ කණ්ඩායම දැනුවත් කරනවා. ඒ වගේම පක්ෂ නායකයින් දැනුවත් කිරීමට කටයුතු කරනවා.
ඉන්පසුව බැංකු ප්‍රධානීන්, වාණිජ සංගම් සාමාජිකයන්, වෘත්තීය සමිති නායකයින් මේ සියලුදෙනාම දැනුවත් කරනවා. මට අවශ්‍යව තිබෙන්නේ සියලු පාර්ශ්ව එක්කර ගෙන මෙම කටයුත්ත සිදු කිරීමටයි.
ඒ නිසා මෙය සම්මත කර ගැනීමට මේ සති අන්තයේ රාජ්‍ය මුදල් කමිටුවට අපි මෙය භාර දෙනවා. මේ කාලය තුළ බැංකු සඳහා නිවාඩු දී තිබෙනවා. විවිධ පාර්ශ්ව මේ තත්ත්වය අවුස්සා ප්‍රයෝජනයක් ලබා ගැනීමට උත්සාහ ගන්නවා. බැංකුවේ කොටස් නැති වෙනවා, අඩු මිලට මේවා ගන්නවා කියා ප්‍රචාරය කරනවා. ඒ නිසා මතක තබා ගන්න සඳුදා කොහොමටත් නිවාඩු දිනයක්, නැවත අඟහරුවාදා සිට සාමාන්‍ය පරිදි බැංකු කටයුතු සිදු වෙනවා.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට හෝ කිසිඳු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයට බලපෑමක් එල්ල වන්නේ නැහැ. මේ රටේ බැංකු තැන්පතු මිලියන 50ක් තිබෙනවා, ඒවාට හානියක් නොවන ලෙස එම කටයුතු ක්‍රියාත්මක කරනවා. හානියක් වෙනවා නම් මම ඒ බව ප්‍රකාශ කරනවා. මොකද මම මීට පෙරත් බදු වැඩි කිරීම කළඅවස්ථාවේ ඒ සම්බන්ධව පූර්ව ප්‍රකාශයක් සිදු කළා. මොකද සත්‍ය තත්ත්වය පැවසීම ගැටලුවක් නොවෙයි. වැඩිම වුණොත් උද්ඝෝෂණයක් කරයි. නමුත් මෙතන එහෙම කිසිවක් සිදු වන්නේ නැහැ.
බැංකු තැන්පතු සඳහා දැනට ගෙවනු ලබන කිසිඳු පොළියකට මෙයින් බලපැමක් වන්නේ නැහැ. නමුත් අපි උද්ධමනය අඩු කරන විට පොලිය අඩුවිය හැකියි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු කිසිඳු අධි විශ්‍රාමික අරමුදල්වල සාමාජික ශේෂයට බලපැමක් එල්ලවන්නේ නැහැ. අතීතයේ ගෙවා ඇති සුපිරි විශ්‍රාම අරමුදල් ප්‍රතිලාභ අනුපාතයට ද මෙයින් කිසිඳු ආකාරයකට බලපෑමක් නැහැ.
මහජනතාවගේ බැංකු තැන්පතු ආරක්ෂා කිරීමේ මූලික අරමුණ ඇතිවයි මෙම යෝජනාව සකස් කර තිබෙන්නේ. මහබැංකු නියාමනය යටතේ පවත්වාගෙන යන සියලු බැංකුවල බැංකු තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම අපේ ප්‍රධාන වගකීමක් වෙනවා. බැංකුවලින් මුදල් අවශ්‍යනම්, පොලියෙන් කොටසක් අවශ්‍ය නම් මම ඒක කියන්නම්. අසීරු තැනකදී ඒක දැනුම් දිය යුතුයි. නමුත් දැන් එහෙම දෙයක් අවශ්‍ය වන්නේ නැහැ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් සිදු වන්නේ අපේ රටේ ආර්ථික ප්‍රකෘතිය ඇතිවීමයි. පොලී අනුපාතය කොහොමත් අඩු වෙනවා. රජයට පහසුවෙන් සහනාධාර මුදල් ලබාගන්න හැකියාව ලැබෙනවා. මේ පිළිබඳ අපි දැන් සාකච්ඡා කරනවා.
පසුගිය සතියේ මම විදේශ සංචාරයක නිරත වුණා. පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරිය, ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා, ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම්වරිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලින් ජෝර්ජිවා මහත්මිය සමඟ සාකච්ඡා කිරීමට මට එහිදී අවස්ථාව ලැබුණා. මේ සියලුදෙනා මා සමඟ ප්‍රකාශ කළේ මේ වැඩකටයුතු කරගෙන යාමට ඔවුන්ගේ උපරිම සහාය ලබා දෙනවා කියලා.
නෙදර්ලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය (පළමු) සහ මුදල් අමාත්‍ය වන සිග්‍රිඩ් කාග් සහ ජපාන විදෙස් අමාත්‍ය යොෂිමාසා හයාෂි සමඟත් මම සාකච්ඡා පැවැත්වුවා. මේ සියලුදෙනා අපට මේ කරගෙන යන වැඩකටයුතු පිළිබඳ ප්‍රශංසා කළා. ඊට සහාය ලබාදෙන බව ප්‍රකාශ කළා. ඒ වගේම ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් මහත්මිය සමඟ මේ පිළිබද සාකච්ඡා කළා. තවදුරටත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ලංකාවට පැමිණෙන ලෙස මම එතුමියට ආරාධනා කළා. ඒ අයුරින් අපට මෙම කටයුත්ත සඳහා දැන් බාහිර සහයෝගය ලැබී තිබෙනවා.
අපේ විදේශ අමාත්‍යවරයා මේ දිනවල චීනයේ නිල සංචාරයක නිරතව සිටිනවා. එතුමා චීන විදේශ අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී ඔවුන්ට ලබාදිය හැකි සහය ලබා දෙන බව දැනුම් දී තිබෙනවා.
විශේෂයෙන් මේ පිළිබඳ කටයුතු කිරීමට චීන පාර්ශ්වය වෙනුවෙන් එක්සීම් බැංකුවේ සභාපති වු ෆුලින් මහතා සහ නිලධාරීන් පිරිසක් නම් කර තිබෙනවා. රාජ්‍ය මුදල් කමිටුව මේ පිළිබඳ ඔවුන් සමඟ සාකච්ඡා කරනවා. මේ සඳහා යම් රෙගුලාසියක්, නීතියක් අවශ්‍ය නම් එය සිදු කිරීමට අප සූදානම්.
එසේනම් දැන් සියලුදෙනා එකට එකතුව මේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යා යුතුයි. ඒ නිසයි මම කියන්නේ දේශපාලනයෙන් තොරව සියලුදෙනා සහාය ලබා දෙන්න කියලා. මෙම වැඩපිළිවෙළ තුළින් සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර අපේ රටේ බංකොළාත්භාවය නැති කරගන්න පුළුවන් වෙනවා. එවිට තවත් බැංකු විවෘත කරන්න පුළුවන්. විදෙස් රටවල සිට එවන මුදල් එවන්න පුළුවන්. අනෙක් ගනුදෙනු කරන්න පුළුවන්. මේ සියලු දේ ලැබෙනවා
ඇතැමුන්ට දැන් අවශ්‍ය වී තිබෙනවා අධිකරණයට ගොස් මෙම වැඩපිළිවෙළ නවත්වන්න. අපි බංකොළොත්භාවයෙන් මිදීමට කටයුතු කිරීම නවත්වන්න ඇයි මොවුන් උත්සාහ කරන්නේ කියා තේරුම්ගන්න බැහැ. මේ කටයුත්ත අපි කරන්නේ සැප්තැම්බර් මාසයේ නම් ඔවුන් අපිට දොස් කියන්න ඕන මෙම කටයුත්ත අගෝස්තු මාසයේ නොකිරීම් සම්බන්ධවයි. හරි විපක්ෂයක් නම් කටයුතු කළ යුත්තේ ඒ ආකාරයටයි. මම විපක්ෂයේ සිටියා නම් මෙම කටයුත්ත නවත්වන්න යන්නේ නැහැ.
මෙයින් අර්ථ සාධක අරමුදලට කිසිම හානියක් වන්නේ නැහැ. අපි රට භාර ගනිද්දි ඩොලර් එක රුපියල් 380යි. ඒ පැරණි අර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමත්ක කිරීම නිසා. දැන් ඩොලර් 01ක් මිලදී ගන්නේ රුපියල් 301ට. අලෙවි කරන්නේ 310, 315ට. දැන් රුපියල ශක්තිමත් වී තිබෙනවා. අපි උත්සාහ කරන්නේ ඩොලරය, රුපියල් 275ටවත් ගෙන ඒමටයි. එවිට රුපියල ශක්තිමත් වෙනවා.
අපි සියලුදෙනා එකතුවෙලා මේ තත්ත්වයෙන් රට ගොඩගනිමු. පැරණී දේශපාලනයේ නිරත වෙලා කෑ ගහලා, උසාවි ගොස් මෙය දේශපාලන අවියක් කර ගැනීම තේරුමක් නැහැ. මේ කාරණයේ දී බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි. ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවට එම බලතල ලබා දී තිබෙනවා. ඒ නිසා එම නීතිය අනුව අපි මෙය සම්මත කර ක්‍රියාත්මක කරනවා.
අපිට හැමදාම යාචක ජාතියක් වෙන්න බැහැ. අපි මේ තත්ත්වයෙන් ඉදිරියට පැමිණ රට දියුණු කළ යුතුයි. අපි අපේ රටේ ගෞරවය රැකගත යුතුයි. කිසිවෙකු බියට පත්විය යුතු නැහැ. අපි උත්සාහ කරන්නේ අපේ ණය බර අඩු කර මෙම සැප්තැම්බර් මාසය වන විට මෙම බංකොළොත්භාවයෙන් නිදහස්වීමට බව ප්‍රකාශ කළ යුතුයි.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
දිස්ත්‍රික්කයක සංවර්ධනයට, කළමනාකරණයට හා රාජ්‍ය පාලනයට ඉතා වටිනා කේන්ද්‍රස්ථානයක් මහජන අයිතියට පැවරීම සඳහා වූ ක්‍රියාවලියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට සුවිශේෂ ආඩම්බරයක් එක් කරනවා. එතුමාගේම මූලික යෝජනාවක් ලෙස, කාලයකට පෙර ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය ඉන් පසුව ඉදිරියට ගෙන යාමට හිටපු අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, කරු ජයසූරිය යන මහත්වරුන් ගත් පියවර අද අපි සිහිපත් කළ යුතුයි. ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමා මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා විශාල උත්සාහයක නිරත වුණා. ජනාධිපතිතුමනි, රාජ්‍ය ආයෝජනයේ ප්‍රතිපාදන ලබා දෙමින් කොළඹ හැරුණු විට දෙවැනියට දියුණුතම දිස්ත්‍රික්කය වෙනුවෙන් මේ කළ කාර්යභාරය සුවිශේෂීයි.
දැන් මෙතැන් සිට රාජ්‍ය සේවාව කඩිනමින් මෙන්ම ඵලදායි ලෙස ජනතාවට ලබාදීමට සහ උපරිමයෙන් ඉටු කිරීම රාජ්‍ය සේවක ඔබලාගේ වගකීමක්. මෙලෙස එක වහලක් යටට සියලු ආයතන ගෙන ඒමේ ක්‍රියාවලියේ අරමුණ වන්නේත් එයයි. එම ක්‍රියාවලිය යටතේ විශාල ආයෝජනයක් කරමින් දෙපාර්තමේන්තු ඇතුළු ආයතන රාශියක් මේ වහල යටට ගෙනැවිත් තිබෙනවා. ඒ හා සමගාමීව සිය අරමුණු ඉටු කර ගැනීමට මහජනතාව ඔබ ළඟට පැමිණෙනවා. එහිදී, සෑම නිලධාරියෙක්ම, සැමවිට සිය වගකීම නිසි ලෙස ඉටු කිරීමේ අවස්ථාව අද දින සිට උදා වී තිබෙනවා.
පසුගිය මාස 11 තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ අභියෝගවලට ජයග්‍රහණ රැසක් ගෙන එන්නට හැකියාව ලැබුණා. කෙටි කාලයක් තුළදී ක්‍රියාකාරී මෙන්ම ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් බවට මෙරට පරිවර්තනය කරන්නට එතුමන්ට හැකියාව ලැබුණු බවත් මෙහිදී සිහපත් කළ යුතුයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර, සිසිර ජයකොඩි, ලසන්ත අලගියවන්න, ජානක වක්කුඹුර, ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මිලාන් ජයතිලක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2023-06-28










