
අනියම් පෙම් සම්බන්ධයක් මුල්කරගෙන ඇතිවූ ආරවුලක් මත විදුලිබල මණ්ඩල මූලස්ථානයේ සේවයේ නිරතව සිටි ඉංජිනේරුවරයකු වන ආචාර්ය වඩු ආරච්චිගේ අමරසිරි මහතා අතුරුගිරිය පොලිස් වසමේ පනාගොඩ, ඇඹුල්ගම පාරේ වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ නිවෙසකට ගෙන්වාගෙන ඝාතනය කර සිරුර කොටස්වලට කපා බැරලයක දමා වළ දැමූ අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ 1990 වසරේ සිට වසර 33ක් අධිකරණය මඟහැර සැඟවී සිටි මරණ දඬුවම් නියම වී සිටි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පෙරේදා (10) අත්අඩංගුවට ගෙන තිබේ. එම කාන්තාව එදිනම හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (12) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.Sri Lanka Latest News
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ඒ. ඩබ්ලිව්. කමනී චම්පිකා නමැති 66 හැවිරිදි වියේ පසුවන එක් දරු මවකි. මේ අපරාධය සිදුවන්නේ 1989 ජනවාරි මස 13 වැනිදාය. ඝාතනය වූ ඉංජිනේරුවරයා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වමින් සිටි ඇය එකල අවුරුදු 32ක කාන්තාවකි. විදුලිබල මණ්ඩලයේ ඉංග්‍රීසි ලඝු ලේඛිකාවක් ලෙස ඇය එකල සේවය කර ඇත්තේ ඝාතනය වූ ඉංජිනේරුවරයා සමඟිනි.
ලංගම වේලා සටහන්කරුවෙක් ලෙස සේවයේ නිරතව සිටි සිය සැමියා සමඟ ඇය පදිංචිව සිට ඇත්තේ වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ පිහිටි නිවෙසේය. ඉංජිනේරුවරයා මරා දමා ඇත්තේ මේ කාන්තාවගේ සැමියාය. මේ කාන්තාව ඊට ආධාර හා අනුබලදීමේ චෝදනා එල්ලවී තිබී ඇත. අධිකරණයෙන් මරණ දඬුවම නියම වී සිටින්නේ මේ කාන්තාවට පමණක් නොව සැමියාට ද මරණ දඬුවම නියම කර තිබේ. ඇය තලවතුගොඩ උපන් තැනැත්තියකි. ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයකිනි. කාන්තාවගේ මවුපියන් යමක් කමක් ඇති පවුලක අය බව ද සඳහන්ය.
ඇය විදුලිබල මණ්ඩලයේ ඉංග්‍රීසි ලඝු ලේඛිකාවක ලෙස සේවයට එක්ව ඇත්තේ පාසල් අධ්‍යාපනයට සමුදී කෙටි කාලයකදීය. සරත්චන්ද්‍ර සුමනසේකර නමැති ලංගම බස් රථ වේලා සටහන්කරු සමඟ ඇය පෙම් සම්බන්ධයක් ඇති කර ගන්නේ ද මේ කාලයේදීය. එම සම්බන්ධයට ඇගේ මවුපියන්ගේ කැමැත්තක් නොමැතිවූවත් අවසානයේදී ඔවුන් දෙදෙනා විවාහ වී පදිංචියට යන්නේ වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ පිහිටි නිවෙසකටය. එම නිවෙස සරත්චන්ද්‍ර සුමනසේකරට අයත් එකකි. බොරැල්ලේ පදිංචිකරුවෙක් වන ආචාර්ය ඩබ්ලිව්. අමරසිරි ඉංජිනේරුවරයෙක් ලෙස විදුලිබල මණ්ඩලයේ සේවයට එක්ව ඇත්තේ ද මේ කාලයේදීය. කඩවසම් තරුණයෙක් වූ ඔහු සහ කමනී අතර අනියම් සම්බන්ධයක් ඇතිවන්නේ ලඝු ලේඛන කටයුතු සඳහා නිතර දෙදෙනා කාර්යාල කාමරයේ තනිවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
සැමියා නොමැති අවස්ථාවලදී ඉංජිනේරු පෙම්වතාව වැලිපිල්ලෑවේ සිය නිවෙසට ගෙන්වා ගැනීමට පවා ඇය පෙලඹ සිටියාය.
වැඩි කලක් යන්නට මත්තෙන් මේ හැම දෙයක්ම සැමියාගේ කන වැකී තිබුණේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1989 ජනවාරි මස 13 වැනිදා සිය බිරියට රැකියාවට යන්නට ඉඩ නොදෙන සැමියා ඇයට පහරවල් කිහිපයක් එල්ල කර අනියම් පෙම් සම්බන්ධය ගැන විමසන්නේ ඇයව බිය ගන්වමිනි. එහිදී ඔහු ඇයට තර්ජනය කරමින් පවසන්නේ සැමියා නිවෙසේ නොමැති බව පවසා ඔහුව නිවෙසට ගෙන්වන ලෙසයි. සිය සැමියා මහා එපා කරපු පුද්ගලයෙක් බව දැන සිටි ඇයට ඔහුගේ අණ පිළිපැදීම හැර වෙනත් විකල්පයක් නොවූවාය. ඉංජිනේරු පෙම්වතාට ඇය දුරකතන ඇමතුමක් ගෙන පවසන්නේ තමා අද සේවයට නොපැමිණෙන බවයි. සැමියා නිවෙසේ නොමැති බව ද ඇය ඒත් එක්කම ඔහුට කියා තිබුණාය.
ඒ අනුව ඉංජිනේරු අමරසිරි එදා වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ පිහිටි නිවෙසට පැමිණ තිබුණේ පෙම්වතිය මුණ ගැසීමටයි. ඔහු පැමිණෙන විට ඇගේ සැමියා සිටින්නේ නිවෙසේ සැඟවීය. ඔහු ඇයට පවසා තිබෙන්නේ ඉංජිනේරුවරයා නිදන කාමරයට ගෙන්වා ගන්නා ලෙසයි. ඒ අනුව ඇය ඔහුව නිදන කාමරයට කැටුව ගොස් තිබුණාය. ඉංජිනේරුවරයා කපා කොටා මරා දමන්නේත් සිරුර බැරලයක දමා නිවෙස පිටුපස තිබූ ළිඳකට දමා වළ දමන්නේත් ඉන් අනතුරුයි. මේ ඝාතනයෙන් පසු අඹුසැමි යුවළ ගේ දොර වසා දමා පලා ගොස් ඇත්තේ බොරැල්ලටයි. පසුව කුලියට ගත් නිවෙසක දින කිහිපයක් රැඳී සිට ඇත. මේ අතර ඉංජිනේරුවරයාගේ තරුණ බිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ රැකියාවට ගිය සිය සැමියා දින කිහිපයක් ගියත් නිවෙසට නොපැමිණි බවත්, ඔහු ආගිය තැනක් සොයා ගන්නට නැති බවත්ය. එකල ජංගම දුරකතන පවා නොමැති යුගයකි.
බොරැල්ල පොලිසියට එම පැමිණිල්ල එදා බිරිය කර තිබුණාය. බොරැල්ල පොලිසියේ නිලධාරීන් කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ඉංජිනේරුවරයාගේ වාහනය විදුලිබල මණ්ඩලයේ රථ ගාලේ ඇති බවයි. එදා උදෑසන රැකියාවට පැමිණීමෙන් පසු ඔහු අතුරුදන්ව ඇත්තේ වාහනය ආයතනය තුළ දමා බව ද පොලිසියට පෙනී ගොස් තිබුණි. මේ සම්බන්ධයෙන් පොලිසිය කළ විමර්ශනයේදී හෙළිවන්නේ ඔහු ඉංග්‍රීසි ලඝු ලේඛිකාව සමඟ අනියම් සම්බන්ධයක් ඇති කරගෙන සිටි බවත්, ඉංජිනේරුවරයා සමඟ ඇයත් අතුරුදන්ව ඇති බවත්ය. ඇගේ ලිපිනය සහ දුරකතන අංකය ඉංජිනේරුවරයා සිය දින පොතේ සටහන් කර තිබු බැවින් බොරැල්ල පොලිසිය ඒ ඔස්සේ අතුරුගිරිය පොලිසියෙන් එම ලිපිනය සම්බන්ධයෙන් යම් සොයා බැලීමක් කර තිබේ. එහිදී පෙනී ගොස් ඇත්තේ ඉංජිනේරුවරයාගේ අතුරුදන්වීමත් සමඟ එම නිවෙස වසා දමා එහි ජීවත්වූ අඹුසැමි යුවළ ද අතුරුදන්ව ඇති බවයි. ඒ අනුව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන බැරලයක දමා ළිඳේ වළ දමා තිබු ඉංජිනේරුවරයාගේ මළ සිරුර ගොඩ ගෙන තිබුණි. එකල පුවත්පත්වල ප්‍රමුඛ පුවතක් බවට එම සිදුවීම පත්ව තිබී ඇත.
මේ අඹුසැමි යුවළ එකල ඉදිරිපත් කර ඇත්තේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයටයි. රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔවුන් දෙදෙනා මාස 06කට පසු ඇප මත නිදහස් කර තිබේ. ඒ 1990 වසරේදීය. එහිදී ඔවුන් ඇපකරුවන් ලෙස ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාජ පුද්ගලයන්ය. නම් ගම් පවා ව්‍යාජය. ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇප ගත් ඔවුන් එතැන් සිට ජීවත්ව ඇත්තේ සැඟවීය. අධිකරණයේ පැවති නඩු කටයුතු සඳහා ද ඔවුන් ඉදිරිපත්වී නැත. ඉංජිනේරුවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ලඝු නොවන නඩු කටයුත්ත හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ මේ අඹුසැමි යුවළට නඩු පවරා ඇත. චුදිතයන් නොමැතිව නඩුව විභාගයට ගෙන එහි තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත්තේ 2019 වසරේදීය. ඒ ඔවුන් දෙදෙනාට මරණීය දණ්ඩනය නියම කරමිනි. එහිදී හෝමාගම මහාධිකරණය විසින් මේ අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබී ඇත.
මේ විවෘත වරෙන්තුව සම්බන්ධයෙන් අවධානය යොමු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් සම්පත්ට (70701) යම් තොරතුරක් ලැබෙන්නේ මේ යුවළ බණ්ඩාරගම පැත්තේ රැඳී සිටින බවටයි. ඒ සිය නම් ගම් පවා වෙනස් කරමින් අලුත් අනන්‍යතාවක් සහිතවයි. නිශ්චිතවම ඔවුන් ගැවසෙන ස්ථානයක් දැනගන්නට නොවූවත් පොලිස් සැරයන් සම්පත් ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයන්නට ගෙන ඇත්තේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් හා අවසරය මතයි. එහිදී මේ අඹුසැමි යුවළගේ පවුලේ ඥාතීන් කිහිප දෙෙනකු හඳුනාගෙන ඒ අයගේ ජංගම දුරකතන පවා විශ්ලේෂණය කරමින් පැවති විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස වසර 33ක් පුරා කට්ටි පනිමින් සිටි අඹුසැමි යුවළ අතරින් මුලින්ම අත්අඩංගුවට ගනු ලබන්නේ බිරියවයි. ඒ පානදුර අළුබෝමුල්ලේදීය. මේ වන විට අවුරුදු 66ක් වයසැති ඇයට දරුවෙක් ද සිටියාය. රියැදුරු රැකියාවක නිරතව සිටින එම දරුවා ඒ වන විටත් සිය මවුපියන් මිනිස් ඝාතනයකට අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින බව දැන නොසිටියේය.
ඇගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ සැමියා විසින් තමාව රැගෙන රටපුරාම ගිය බවයි. සිය නම් ගම් ඇතුළු හැම දෙයක්ම වෙනස් කරගෙන පොලොන්නරුව, හිඟුරක්ගොඩ, හෝමාගම, කඩවත, මහනුවර ආදී ප්‍රදේශවල මේ වසර 33ක කාලයේ ජීවත්වූ බවත්ය. වැඩි කාලයක් එක ගමක රැඳී නොසිටි බව ද ඇය ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණාය. කුලී නිවාසවල මෙන්ම මුදලට ගත් නිවාසවල ද ජීවත් වූ බව ඇය පවසා තිබුණාය. ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා තිබුණේ තමන් පොලිසියට හසුවේවි යැයි කිසිවිටෙකත් නොසිතූ බවයි. ඇගේ සැමියාද විවිධ රැකියාවල නිරතව ඇයවත් දරුවාත් නඩත්තු කර ඇති බව ද විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.
සැමියා නිවෙසේ වැඩිපුර නොගැවසුණු බවත්, අත්‍යවශ්‍ය කාරණාවකදී හැරුණු කොට නිවෙසට නොපැමිණෙන බවත් ඇය පොලිසියට පවසා ඇත. මේ වන විට ඔහු සැඟවී සිටින බවත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ කාන්තාවට අධිකරණයෙන් නියම කර ඇති මරණීය දණ්ඩනය අද (12) සිට බලාත්මක කරමින් අධිකරණය විසින් නියෝගයක් අද දිනයේ දෙනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු විශ්වාස කරති.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂකවරුන් වන පියල්, සිල්වා, කාන්තා උප පොලිස් පරීක්ෂක මානෙල්, පොලිස් සැරයන්වරුන් වන ගමගේ (40947), සම්පත් (70701) ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ වැටලීමට සම්බන්ධව සිට ඇත. -දිනමිණ










