ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය හරහා මාර්ගයක් ඉදි කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ගෙන තිබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දී තිබෙනවා. Sri Lanka Latest News
අදාළ පෙත්සම ගොනු කර තිබුණේ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසරවේදීන් පිරිසක් විසින්.
පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ කරුණු තහවුරු කිරීමෙන් අනතුරුව එය ඉදිරියට පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු ඇති බවට තීන්දු කළ විනිසුරුවරයා ඉන් අනතුරුව අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.
ඒ අනුව අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ එවක වන ජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, හිටපු වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙත නොතිසි නිකුත් කරන ලෙසත් නියම කළා.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ලෝක උරුමයක් ලෙස නම්කර තිබෙන සිංහරාජ සංරක්ෂිත වනාන්තරය හරහා මාර්ගයක් ඉදි කිරීමට ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීමෙන් ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළා.
සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය තුළ නීතියට පටහැනි ලෙස දේශපාලකයින් හා ඔවුන්ගේ හිතවාදීන්ගේ හෝටල් ඉදිකර තිබෙන අතර ඒවාට ගමන් පහසුකම් සැලසීමේ අරමුණින් මෙවැනි මාර්ගයක් ඉදිකර තිබෙන බවට චෝදනා එල්ල වී තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.










