පාර්ලිමේන්තුව පැවැති අවසන් දිනයේ කිසිවකුත් නොදන්නා විශේෂ සිදුවීමක් සිදුවිය. එදින පාර්ලිමේන්තු ලොබියේදී ආණ්ඩුවේ දැනට සිටින ප්‍රබලම අමාත්‍යවරයකු හා විපක්ෂයේ සිටින දෙමළ භාෂාව දන්නා සහ දෙමළ භාෂාව හසුරුවන මන්ත්‍රීවරුන් දෙදෙනකු අතර විශේෂ කතාබහක් සිදුවිය. අදාළ අමාත්‍යවරයා සිංහල ජාතිකයකු වුවද, ඔහු දෙමළ භාෂාවද හොඳින් හැසිරවීමට සමත් අයෙකි. මේ නිසාම පාර්ලිමේන්තු ලොබියේදී මෙම අමාත්‍යවරයා පැමිණෙන විට සිටි දෙමළ භාෂාව දන්නා විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා හට දෙමළ භාෂාවෙන්ම ‘මාර පණිවුඩයක්’ ලබාදීමට පියවර ගත්තේය. එහිදී කතාව ආරම්භ කරමින් අමාත්‍යවරයා දෙමළ භාෂාවෙන් කී පණිවුඩයේ සිංහල තේරුම මෙසේය.
‘මාර වැඩේ තමයි අපිට වුණේ. අපි හීනෙකින්වත් හිතුවෙ නෑ මේ විදියට ආණ්ඩුව අප්සෙට් වෙයි කියලා. හැබැයි දැන් නම් ඔක්කොම ඉවරයි. අපි ඔක්කොටම වැරැදිලයි තියෙන්නේ. ඒ වගේම දැන් මේක ගොඩගන්න බැරි විදියටම වැටිලයි තියෙන්නේ. ඒ හින්දා උඹලට තමයි මේ කරුමෙට කරගහන්න වෙන්නේ. හැබැයි උඹලත් කොහොම මේක ගොඩ දායිද කියලා හිතාගන්න බෑ….’ යැයි මෙම ප්‍රබල අමාත්‍යවරයා දෙමළ භාෂාවෙන් කියද්දී එක් මන්ත්‍රීවරයකු ප්‍රශ්න කර සිටියේ, ‘ඉතින් මේ කරුමෙ ගෙනාවෙ උඹලනේ…’ කියාය. ඊටද සිනාසෙමින් මේ අමාත්‍යවරයා දුන්නේ අපූරු පිළිතුරකි.
‘කවුද බං හිතුවෙ මෙහෙම දෙයක් වෙයි කියලා. මම නම් ආයෙ ජීවිතේට ඡන්දෙ ඉල්ලන්නෙ නෑ. දරුවොයි ගෑනියි එක්ක මගේ වැඩක් බලාගෙන ඉන්නවා. හැබැයි මේක උඹලටත් ගොඩ ගන්න නම් ලේසි වෙන එකක් නෑ. අන්න ඒක මතක තියාගනින්…’ යැයි දෙමළ බසින්ම කියමින් මෙම ප්‍රබල අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගියේ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා පුදුමයට පත්ව මුහුණට මුහුණ බලාගනිද්දීය.










