කැලෑ කොලමේ අප ගහකොළ සතා සිවුපාවාට පරිසරයට යහපතක් වන ඕනෑම දෙයක් අගයන්න සහ ප්‍රශංසාත්මකව කතාකරන්නට දෙවරක් නොසිතන්නෙමු. අප අද ඔබට කියන්නේද එවැනි දෙයක් පිළිබඳවය. ඒ, අන් කිසිවක් නොව, නිස්කෝ ලෝක උරුමයක් වන වලාකුළු වනාන්තරය හෙවත් හෝර්ටන්තැන්න පිළිබඳවයි.

කාලයක් අඩපණව, නඩත්තු නොවී තිබූ හෝර්ටන් තැන්නේ පොදු පහසුකම් හා අනෙකුත් යටිතල පහසුකම් මේ වනවිට ක්‍රමයෙන් ස්ථාවර මට්ටමට පැමිණෙමින් ඇති බව පසුගිය දිනෙක එහි සංචාරයක නිරත වූ මෙම ලියුම්කරුට දැකගත හැකි විය. කැඩී බිඳී පිළිසකර නොකර තිබූ පට්ටිපොළ පිවිසුම අලංකාරවත් ලෙස යථා පරිදි ඉදිවෙමින් තිබෙන අතර, ඒ ආශ්‍රිතව මහජන වැසිකිළි පද්ධතියද ඉතා හොඳින් අලුතෙන් ඉදිකර තිබේ. එසේම සෙසු යටිතල පහසුකම්ද ඉතා උසස් මට්ටමකින් අලුත්වැඩියා වෙමින් පවතී. එම කටයුත්ත සිදුකරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අපගේ ස්තුතිය මේ මොහොතේ පළකළ යුතුය. එසේම දෙස් විදෙස් සංචාරකයන්ගේ යහපත උදෙසා ඉදිකෙරෙන මෙම සියලු පහසුකම් සුරැකීම සංචාරකයන්ගේ සහ හෝටන්තැන්නට ආදරය කරන හැමගේ වගකීමකි.
තොටුපළ කන්ද මාර්ගයේ පාමුල ඇති වැසිකිළි පද්ධතියද ඉතා හොඳින් නඩත්තු කර ඇත. කසළ කළමනාකරණයද යහපත් මට්ටමකට සිදුවන බව පෙනෙන්නට තිබේ. එහෙත් ඇතැම් සංචාරකයන් තවමත් අවිධිමත් ලෙස කසළ බැහැර කරන බැවින් වනජීවී නිලධාරීන් ඔවුන් දැනුවත් කරමින්, එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බව ලියුම්කරුගේ අදහසයි.
එසේම ලෝකාන්තය මාර්ගයේද පොදු වැසිකිළි කිහිපයක් ඉදිකිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව පෙනෙන්නට තිබේ. එය සංචාරකයන්ට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. මෙම පරිසර කලාපය පොලිතින්වලින් තොර ප්‍රදේශයක් බවට පත්කිරීමද වැදගත් වන අතර, අවිධිමත් ලෙස පොලිතින් බැහැර කරන්නන් ගැන අවධානයෙන් සිට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමද අත්‍යාවශ්‍යය. එමෙන්ම ඝෝෂාකාරී සංගීතයද මෙම පරිසර කලාපය තුළ තහනම් කිරීම පරිසරයේ සහ වන සතුන්ගේ යහපත පිණිස ගත හැකි තවත් වැදගත් තීරණයකි.
පරිසරහිතකාමී සංචාරක ගමනාන්තයක් ලෙස හෝටන්තැන්න දියුණු කිරීම පරිසරයට ආදරය කරන පුරවැසියන් ලෙස අපගේ අරමුණයි. නිලධාරීන්ට පමණක් එම කටයුත්ත සිදුකළ නොහැකි අතර, පරිසරය රැකගැනීම සෑම කෙනකුම තම පෞද්ගලික වගකීමක් ලෙස සිතන්නේ නම් එය වඩාත් පහසු වනු ඇත. එසේ වන්නේ නම්, අනාගත පරපුරට මේ සුන්දර වලාකුළු වනාන්තරයේ සුන්දරත්වය අත්විඳීමට පුළුවන් වනු ඇතැයි යන්න කැලෑ කොලමේ අපේ විශ්වාසයයි.

සමන් හල්ලොලුව










