දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ අභිනව මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩමුළුව ලබන 25, 26 සහ 27 දිනයන් හිදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි. Sri Lanka Latest News
ඒ අනුව දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2024 නොවැම්බර් මස 25, 26 සහ 27 යන දිනයන්හි දී පෙ.ව. 9.30 සිට ප.ව. 4.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
නව පාර්ලිමේන්තුවක් ආරම්භයේ සම්ප්‍රදායිකව සිදුකරනු ලබන කටයුත්තක් ලෙස මෙම වැඩමුළුව මෙවරද සංවිධානය කර ඇත.
ලබන 25 වැනි සදුදා පෙ.ව 9.30 ට පැවැත්වෙන මෙම වැඩමුළුවේ සමාරම්භය සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ආචාර්ය අශෝක රන්වල, නියෝජ්‍ය කථානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, සභානායක අමාත්‍ය බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ.
මෙම තෙදින වැඩමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාවේ කාර්ය භාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදිත ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන පිළිබඳව මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම ට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ.
එමෙන්ම මන්ත්‍රීවරුන්ට ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන ප්‍රායෝගික සැසියක් ද පැවැත්වීමට මෙහි කටයුතු යොදා ඇත.
තවද දුෂණ විරෝධී පනත මගින් ස්ථාපිත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ නීති හා ක්‍රියාවලින් පිළිබඳව මෙන්ම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශයේ කාර්යභාරය පිළිබඳව ද මෙහිදී දැනුවත් කිරීමට නියමිතය.
එමෙන්ම පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ කාර්යාංශ ප්‍රධානීන් විසින් ඒ ඒ අංශ මගින් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව ඔවුන්ගේ දායකත්වය හා කාර්යයන් පිළිබඳවද මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතය.










