ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ආර්යාවන් සහ අමාත්‍ය චන්ද්‍රසේන මහතා සහිත පින්තූරයක් සමාජ ජාලාවල පළ වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ කැඳවා තිබිණ.
ඒ අනුව ඒ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇති අතර එහිදී පරිඝනක අංශයෙන් ඔහුගෙන් තොරතුරු ලබා ගැනීමක් සිදුකර තිබුණු අතර පසුව සමාජ මාධ්‍ය අපරාධ නිරීක්ෂණ අංශයට යොමු කර තිබිණ.
විවිධ ස්ථානවලදී එම ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවට සටහන් වී තිබුණත් එය සංස්කරණය නොකරන සත්‍ය ඡායාරූපයක් බව එහිදී තහවුරු කරගත් බව ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථානයේ ඡායාරූප ගැනීමෙන් වැළකීමට උපදෙස් ලබා දී තිබියදී එවැනි ඡායාරූපයක් පිටතට පැමිණීම ජනාධිපතිතුමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මත පදනම් ව මෙම ප්‍රශ්න කිරීම් කරන බව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසීය.










