හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය හොරගොල්ල වලව්වේදී හමුවුණා. ඒ, සමාජ මාධ්‍යවල සහ මාධ්‍යවල මගේ අදහස් අසා, නරඹා එතුමිය විසින් කරන ලද ආරාධනාවකට අනුව.Sri Lanka Latest News
මෙරට දේශපාලනයේ තරුණ නවකයන්ගේ අවශ්‍යතාව එතුමිය තදින් විශ්වාස කරන බවයි සාකච්ඡාවේ හෝරා එකහමාර තුළ මට දැනුණේ. ගතින් ස්වභාවධර්මයට අනුකූලව දුබල වුවත්, වත්මන් දේශපාලනය පිළිබඳ ඇගේ යාවත්කාලීන දැනුම, තියුණු දේශපාලන කියවීම් තවමත් තරුණයි. විචක්ෂණයි. එසේම මා එතුමියගේ පුත් වෛද්‍ය විමුක්ති කුමාරතුංගගේ සම වයසේ වීම කතාබහ සුහදව දීර්ඝ වීමට හේතු වුණා.
මා පාසල් සිසුවකුව සිටි යුගයේ, 1997 වර්ෂයේදී එතුමිය ලුණුගම්වෙහෙර සතොස සහල් සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීමට පැමිණි අවස්ථාව මට මතකයි. එහි සමරු ඵලකය විවෘත කරන මොහොතේ ඒ අසල සිටි බාලදක්ෂයා මම. දශක තුනකට එහා අතීත මතකයක් මගේ මව විසින් ‘ලංකාදීප’ පුවත්පතෙන් ඉවත් කර සුරක්ෂිත කර තිබුණා. එය දුටු මැතිනියත් මොහොතක් අතීතයට ගියා.
ඒ, ඇයගේ ජනප්‍රියත්වයේ ඉහළම කාලය. ඒ මොහොතේ ලංකාවේ ජනප්‍රියම කාන්තාව ඇය. ‘කාලය යන වේගය නේද?’ එතුමියගෙ මුවින් ගිලිහුණා. එසේම ලංකාවේ සම්මතයේ, එතෙක් මෙතෙක් ඉතිහාසයේ කඩවසම්ම පුරුෂයාගේ (විජය කුමාරතුංගයන්ගේ) තේරීම.
1997 වසරේ වී ගොවිතැනෙන් අක්කරයකින් බුසල් 120ට වඩා ලබාගත් ගොවියන්ට එතුමිය සමග දිවා භෝජන සංග්‍රහයක් ලබාදී සහතිකයක් ලබාදී මූල්‍ය ආධාර ලබාදී තිබුණා. ඒ සහතිකය මගේ පියාටත් ලැබුණා. එය ඇය දැක්කා දශක තුනකට පසු. එයත් එතුමිය අතීතයට මොහොතක් රැගෙන ගියා.
එසේම එවෙලේම එතුමියගේ අත්අකුරෙන් ලියූ වදනක් සහිත කෘතියක් මට ලබාදුන්නා. ඒ, 94 යුග පෙරළිය පිළිබඳ මතකයන් සහිත කෘතියක්.
ලංකාවේ එක් පරිවර්තනීය යුගයක, පුරුෂ මූලික සමාජයක්, දශකයක් අයෝමය හස්තයකින් පාලනය කළ නායිකාවක් සම්මුඛ වුණා. මහින්ද රාජපක්ෂ, එස්.බී., මංගල, කිංස්ලි, ධර්මසිරි, මෛත්‍රිපාල සේනානායක, සී.වී., මහින්ද විජේසේකර, දි.මු. ජයරත්න වැනි නියම පිරිමි සිටි කැබිනට් මණ්ඩලයක් පාලනය කළ කාන්තාවක්.
මමත් එතුමියව නිරීක්ෂණය කරනවා. එතුමියට ඒක වැටහෙනවා. එතුමියත් මම සංග්‍රහය භුක්තිවිඳින අවස්ථාවේ මාව නිරීක්ෂණය කරනවා. මටත් ඒක වැටහෙනවා.
කෙතරම් දෙස් විදෙස් පුරුෂයන්, ස්ත්‍රීන් මෙසේ ඇයගේ කියවීමට හසුවී ඇත්දැයි මම ඒ මොහොතේම කල්පනා කළා. සිය පියාගේ යුගයේ, මවගේ යුගයේ, තම පාලන යුගයේ, තම ස්වාමිපුරුෂයාගේ නායකත්වයෙන් දේශපාලනය කළ යුගයේ.
පියා අහිමි වනවිට වයස 14යි. ස්වාමියා අහිමි වන විට වයස 43යි. දරුවන් දෙදෙනාම විදෙස්ගතයි. නිල නිවස අහිමියි. කයින් දුබලයි. ඒත් දෘෂ්ටිය ඍජුයි. වචනයේ ආධිපත්‍යය එසේමයි. ගින්නෙන් පන්නරය වූ මුවහත් අසිපතක්.
ජයවර්ධනයන්ගේ අයෝමය පාලනයට මුහුණ දුන්, ජවිපෙ බිහිසුණු අවියට මුහුණ දුන් ශක්තිමත් ගැහැනු ආත්මයක්. පීඩනයන් නිසාම, දරාගැනීම් නිසාම තියුණු වුණු මනසක්.
‘අපට කෙතරම් දෑ ඉගෙන ගන්න තිබෙනවාද? අපි මොනවද ජීවිතේ අභියෝග කියලා මුහුණ දීපු දේවල්? ඒව ඇත්තටම අභියෝගද…?’ මට හිතුණා.
මට අපේ සමාජය හෝ නායකයන් ගැන වෛරයක් නෑ. නව යොවුන් වියේ ආවේගයන් දැන් තුනීවෙමින් යනවා. ද්වේෂය වසක්. මම එය පානය කරන්නෙ නෑ. මගේ උපතෙන් පසු මට උරුම වූ පරිසරයන් පසු කරගෙන මා හුඟක් දුර ඇවිත්. හිටපු රාජ්‍ය නායිකාවක් මට හමුවන්න එන ලෙස ඇරයුම් කරන තෙක් මම දුරක් ඇවිත්. එය අධ්‍යාපනයේ බලයයි. මා ලද උගත්කමේ, ශික්ෂණයේ බලයයි. බෞද්ධයෙක් ලෙස මා පෙර කළ පින් බලයයි. ජීවිතයේ මට ලැබුණු අවස්ථාවන් සබුද්ධිකව කළමනාකරණය කරගැනීමේ ප්‍රතිඵලයයි. මට ලැබුණු පහසුකම්වලින් මගේ කුසලතාවන් මුවහත් කරගැනීමේ ප්‍රතිඵලයයි.
එතුමිය පොදු, නිර්පාක්ෂික, ජනහිතකාමී වැඩපිළිවෙළක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. එයට සුබ පැතුම්.
එසේම මගේ දැක්ම, පක්ෂ විනය තුළ උපරිම සහයෝගය එතුමියට ලැබෙනවා ඇති.
චන්ද්‍රිකා මැතිනියට නිරෝගී සුව හා දීර්ඝායු පතමි.
ප්‍රියංකර මහගම්මුල්ලගේ










