ජවිපෙ දෙවැනි කැරැලි සමයේදී ‘දිවයින’ දිනපතා පුවත්පතේ බදාදා අතිරේකයට ‘වමේ කතාව’ නමින් ලිපි පෙළක් ලියූ සහ ‘උතුරේ අර්බුදයට විසඳුම’ මැයෙන් එවක දේශන ගණනාවක් පැවැත්වූ නිදහස් මාධ්‍යවේදියකු මෙන්ම ලංකා බැංකුවේ සේවකයකු වූ, එච්.ඊ. දයානන්ද 1988 දෙසැම්බර් 02 සිකුරාදා වෙඩිතබා ඝාතනය කරන ලදී. ඒ, කොම්පඤ්ඤවීදියේ මාර්ක්ෆෙඩ් ඉන්ධන පිරවුම්හල අසලදීය. මෙම ඝාතනය සිදුකළේ ආරක්ෂක අංශවල සහාය ඇතිව ක්‍රියාත්මක වූ ප්‍රා (ඡඍඍ්) සංවිධානයට අයත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ කණ්ඩායමක් විසිනි. ‘ප්‍රා’ යනුවෙන් කෙටියෙන් හඳුන්වන සංවිධානයේ සම්පූර්ණ නම මහජන විප්ලවකාරී රතු හමුදාවය. මාගේ මිත්‍රයකු වූ ‘දයා’ මියයෑමට කලින් දිනද පස්වරුව ගතකළේ මා සමග ‘දිනරැස’ පත්තර කන්තෝරුවේය. Sri Lanka Latest News
මින් වසර කිහිපයකට පෙර ඔවුන්ගේ ගම්පොළ නාරංවිට අටුවේවත්තේ නිවසට ගිය මා දයානන්දගේ බිරිඳ චාන්දනී සහ පුත් සචිත්‍ර හමුවී සියලු කරුණු රැස්කර ගත්තෙමි. ‘වමේ කතාව’ නැමති එම ලිපි පෙළ මගින් සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ නායකයන් ආරම්භයේ සිට 1988 දක්වා කරන ලද පාවාදීම් අවධාරණීකරණය කර තිබුණු අතර, එය මහත් ආන්දෝලනයකට ලක්වූ ලිපි පෙළක් බවට පත්විය. එකල දිවයිනේ බදාදා අතිරේකයේ අතිශයින් ජනප්‍රිය වූයේ ආචාර්ය සූරිය ගුණසේකරගේ ලන්ඩන් ගිය බණ්ඩා, නීතිඥ උභය වීරසිංහගේ නීතිය දෙස පියවි ඇසින් සහ එච්. ඊ. දයානන්දගේ මෙම වමේ කතාව ලිපි පෙළය.
මාතර වෑවහමන්දූවේදී 1956 සැප්තැම්බර් 26 උපන් එච්.ඊ. දයානන්ද හෙවත් හේවා එදිරිපුල්ලිගේ දයානන්ද අධ්‍යාපනය ලැබුවේ මාතර රාහුල විදුහලෙනි. සුළු ව්‍යාපාරිකයකු වූ ඔහුගේ පියා වූයේ පීරිස්ය. මව රොසලින්ය. පිරිමි දරුවන් 5 දෙනකු සහ ගැහැනු දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක වැඩිමලා වූ දයානන්ද, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ආර්ථික විද්‍යා උපාධිධාරියකු ලෙස පත්වූයේ 1982 දීය. වෘත්තියෙන් ඔහු ලංකා බැංකුවේ ලිපිකරුවෙකි. 1978දී බැංකුවට එක්වූ හෙතෙම ඝාතනය වනවිට යුනියන් පෙදෙස ලංකා බැංකුවේ ලිපිකරුවෙකි. එම ලංකා බැංකුවේ ශාඛාවේ සේවක සුබසාධක ලේකම්ය.
එමෙන්ම ලංකා බැංකු සේවක සංගමයේ ක්‍රියාකාරිකයෙකි. පේරාදෙණිය සරසවියේ බාහිර කථිකාචාර්යවරයෙකි. ‘යුගය’ සඟරාවේ සංස්කාරකවරයෙකි. එච්.ඊ. දයානන්ද වමේ දේශපාලනයට විශේෂ සලකුණක් තැබුවේ පැරැණි වමේ දේශපාලන අවගමනය පිළිබඳ සමාලෝචනය කරමින් ‘දිවයින’ පුවත්පතේ බදාදා අතිරේකයට ‘වමේ කතාව’ නම්වූ විශේෂාංගය ලිවීමෙනි. ඒ නිසාම පැරැණි වමේ අවස්ථාවාදීන් ඔහු තම සතුරකු කොට සැලකීය. එමෙන්ම සැබෑ වමේ දේශපාලනයට බුද්ධිමය දායකත්වයක් දක්වමින් කටයුතු කිරීම නිසා තවදුරටත් ඔහු ධනේශ්වර දේශපාලනයේද පරම සතුරකු විය.
දයානන්ද 1987 මාර්තු මස විවාහ වූයේ ගම්පොළ ඩී.එච්. චාන්දනී සමගය. ඇය එවක හුන්නස්ගිරිය කළුතැන්න විදුහලේ උපාධිධාරී ගුරුවරියකි. පසුව බිරිඳ චාන්දනී ගැබිනි මවක් වූයෙන් දරු ප්‍රසූතිය සඳහා 1988 දෙසැම්බර් 02 වැනිදා අලුයම මහනුවර පෞද්ගලික සාත්තු නිවාසයකට ඇතුළු කරන ලදී. සිය බිරිඳ බැලීමට යාම සඳහා කාර්යාලයෙන් 1988 දෙසැම්බර් 02 සිකුරාදා වාහනයෙන් යන අතරතුරදී දයානන්ද කොම්පඤ්ඤවීදියේදී ඝාතනයට ලක්වී තිබිණි. දයානන්දගේ අවසන් කටයුතු ගම්පොළ නාරංවිට අටුවේවත්තේදී 1988 දෙසැම්බර් 07 වැනිදා සිදුකළ අතර, එම අවස්ථාවට බොරැල්ලේ ගෝතමී විහාරාධිපති පූජ්‍ය තෙල්වත්තේ නාගිත හිමි සමග මෙම ලේඛකයාද සහභාගි විය. දයානන්දගේ බිරිඳ චාන්දනී 1988 දෙසැම්බර් 08 සිය දරුවා වූ පුත්‍රයා බිහි කළාය. ඔහු සචිත්‍ර දයානන්දය.
(වසර 1986 සිට 1990 දක්වා පැවැති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරලි සමය පිළිබඳ ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ‘ජවිපෙ දෙවැනි කැරැල්ල’ ග්‍රන්ථ 03 පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය වන්නේ නම් 071 2733986 යන උය්එි්චච අංකයෙන් විමසිය හැකිය)
ධර්මන් වික්‍රමරත්න










