අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් එම ධුරයට පත්වීම නිමිත්තෙන් පිළිගැනීමේ වැඩසටහනක් පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.Sri Lanka Latest News
එහිදී සභාව ආමන්ත්‍රණය කළ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් මෙලෙස සඳහන් කළා.
‘අද බෞද්ධ භික්ෂුන් වහන්සේලා තරම් විවේචනයට, නිග්‍රහයට, අභියෝගයට ලක්වෙන වෙනත් පිරිසක් නැති තරම්. ජාතික මෙන්ම විජාතික බලවේග ඉතාම සැලසුම්සහගතව කටයුතු කරනවා, මේ බුදු දහමත් ඒ වගේම අපේ ඒ හා බැඳිච්ච අපේ සංස්කෘතියත්, අපේ ජාතික අනන්‍යතාවත් දියකර හරින්නට. විශේෂයෙන්ම බෞද්ධ භික්ෂුන් වහන්සේට තියෙන සමාජ නායකත්වය දරාගන්න බැරි පිරිසක් තමයි අද ක්‍රියාත්මක වෙන්නේ විවිධ ස්වරූපයෙන් කියන එකයි මගේ විශ්වාසය. ඒ අභියෝගයන් කෙබඳුද කියනවා නම් අද පාසල් විෂය මාලාවෙන් පවා ඉතිහාස විෂය ඉවත් කරන්න මොන විදියේ පරිශ්‍රමයක් දරනවද කියන එක අපි තේරුම් ගන්න ඕනේ.
අපි හිතුවේ මෙවන් වාතාවරණයක් තුළ මීට වඩා ලොකු ප්‍රතිවිරෝධයක් සමාජයේ නිර්මාණය වෙයි කියලා. නමුත් කනගාටුයි කියන්න විශ්වවිද්‍යාලවල ඉතිහාස විෂය උගන්වන ගුරුවරුවත් අවම වශයෙන් මෙහිදී ප්‍රමාණවත් මට්ටමේ විරෝධතාවක් ඉදිරිපත් කරන්න ඉදිරිපත් වුණේ නැහැ. අපට මීට වඩා සංවිධානාත්මක කිසියම් ශක්තියක් ගොඩනගා ගැනීම කාලීන වශයෙන් අත්‍යාවශ්‍ය දෙයක්. අද භික්ෂුන් වහන්සේලා පවා එක්තරා විදිහක හුදකලා ස්වභාවයක, නිහඬ පිළිවෙතක ඉන්න කාලයක්. මං හිතනවා ඒකටත් හේතුවක් තියෙනවා. පහුගිය කාලේ ඉතාම සැලසුම්සහගතව භික්ෂුන් වහන්සේලාගේ හඬ නිහඬ කරන්නට කටයුතු කිරීම තුළ තමයි අද එවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා නැවත කිසියම් සංවිධානගත වැඩපිළිවෙළක අවශ්‍යතාව මම අදහසක් හැටියට ඉදිරිපත් කරනවා. මූලස්ථානවල ශාසනික වගකීම් දරන අපිට පෙරටත් වඩා ඒ වගකීම තිබෙනවා කියලා මම විශ්වාස කරනවා.’
ජගත් පෙරේරා










