‘අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන තව වැඩිපුර අවධානය යොමුකරන්න ඕනෙ. තව ආරක්ෂාව වැඩි කළාට කමක් නැහැ. අවශ්‍ය නම් හෙලිකොප්ටරයක් දුන්නත් කමක් නැහැ’ යනුවෙන් පසුගියදා ප්‍රකාශ කළේ වත්මන් මාලිමා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තයි. Sri Lanka Latest News
ලාල්කාන්ත අමාත්‍යවරයා මේ වනවිට වර්තමාන ආණ්ඩුවේ ප්‍රබලතම පුවත් මවන්නා බවට පත්ව තිබේ.
ලාල්කාන්ත අමාත්‍යවරයා හැමදාම විවාදාත්මක ප්‍රකාශයන් සිදුකරන බව ඉවෙන් මෙන් දන්නා මාධ්‍යවේදීන් ඔහු යන යන තැන කැමරා උස්සගෙන දිවයන ආකාරයක්ද දක්නට ලැබේ.
ඒ කුමන ප්‍රකාශ සිදුකළද ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලාල්කාන්ත අමාත්‍යවරයා සිදුකරන ලද ප්‍රකාශය කිසිදු විවාදයකට ලක් නොකළ යුතුය.
රටේ රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව සියයට සියයකින් නොව සියයට දෙසීයකින් තර කිරීමට පියවර ගත්තද එය කිසිදු ආකාරයකින් අභියෝග කිරීමට හෝ ප්‍රශ්න කිරීමට ලක්කළ යුතු නැත.
‘මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටත් වඩා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂාව වැඩිකරගෙන තිබෙනවා…’ යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, සාගර කාරියවසම් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබිණි. පොහොට්ටු මහලේකම්වරයාට එසේ ප්‍රකාශ කළ හැකි වුවද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සාගර කාරියවසම්ට අභියෝග කළ නොහැක.
නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටින විට මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එවක විපක්ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ ඇතැමුන් සිදුකරන ලද ප්‍රකාශ මේ වනවිට පොහොට්ටුව විසින් පෙන්වා දෙයි. එදා මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ විවේචන සිදුකළ ජනතා විමුක්ති පෙරමුණට දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වැඩිකළ යුතුයි කියා ප්‍රකාශ කළ හැකිදැයි කියා පොහොට්ටුව ප්‍රශ්න කරයි.
රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, රාජ්‍යතාන්ත්‍රිකභාවය ආදී කරුණු සම්බන්ධයෙන් දේශපාලනය නොකළ යුතුයි.
එදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ විවේචන සිදුකළා නම් එය වැරැදිය. ඒ වගේම මෙදා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොහොට්ටුව විවේචනය කරනවා නම් එයත් වැරැදිය.
එම නිසා රාජ්‍යතාන්ත්‍රිකභාවය, රටේ අභිමානය, ප්‍රෞඪත්වය වැනි කාරණා සම්බන්ධයෙන් පටු දේශපාලනය නොකළ යුතු බව දැන් දැන් ජනතා විමුක්ති පෙරමුණ අවබෝධ කරගනිමින් සිටින බව පෙනේ. එය මැනැවින් පෙන්නුම් කරනුයේ ලාල්කාන්ත අමාත්‍යවරයා විසින් මේ දිනවල සිදුකරනු ලබන කතා හේතුවෙනි.
විරුද්ධ පක්ෂයේ සිට සිදුකරන දේශපාලනය, ආණ්ඩු බලය ලබාගත් විට ප්‍රායෝගිකව සිදුකිරීම පහසු නොවේ. එය මෙරට සිටින සියලු දේශපාලන පක්ෂ නායකයන් හා ක්‍රියාකාරීන් තේරුම් ගන්නවා නම් එය ඉතා යහපත්ය. එම ප්‍රායෝගික කාරණා ගැන හොඳ අවධානයකින් පසුව මැතිවරණ වේදිකාවලදී අදහස් දක්වනවා නම් එය රටේ ඉදිරි ප්‍රගමනයට මහෝපකාරී වනවා නොඅනුමානය.
රටක රාජ්‍ය නායකයා යනු ඒ රටේ ප්‍රධානතම පුරවැසියායි. එම නිසා රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුත්තේ රාජ්‍ය නායකයාගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇතිවුවහොත් එය මුළු රටටම බලපාන නිසාය.
පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කනේ ගෑවීගෙන ගිය වෙඩි උණ්ඩය මුළු ලෝකයේම අවධානයට ලක්වූ පුවතක් විය. එහිදී ඇමෙරිකාව දෙසට මුළු ලෝකයේ අවධානය යොමුවූයේ ලෝකයේ ප්‍රබලතම රටේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයකුගේ ආරක්ෂාව සැලසීමට ඇමෙරිකාවේ ආරක්ෂක අංශවලට නොහැකි වූ බව හඟවමිනි. මීට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයකු වූ ජෝන් එෆ්. කෙනඩි ඝාතනයද මෙහිදී සිහිපත් වූ අතර, ඇමෙරිකාවේ ප්‍රභූ ආරක්ෂක අංශය දෙසටද චෝදනා එල්ල වූයේ ට්‍රම්ප් දැඩි ලෙස එම අවස්ථාවේදී අනාරක්ෂිත වූ නිසාය.
මෙම සිදුවීම් සිදුවුවද ඇමෙරිකාව ඔවුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යොමුකර තිබෙන්නේ දැඩි අවධානයකි.
මෙරට දේශපාලන නායකයන් සහ රාජ්‍ය නායකයන් ගණනාවක්ම ඝාතනය වී ඇති අතර, ඇතැම් ඝාතනවල තුවක්කුකරු හෝ බෝම්බකරු තවමත් හඳුනාගෙන නොමැති වීමද විශේෂත්වයකි.
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක එවක හිටපු අග්‍රාමාත්‍යවරයාට වෙඩි තබන්නේ ඔහුගේම කොළඹ 07 රොස්මීඩ් පෙදෙසෙහි පිහිටි බංගලාවෙහිය. නියම ආරක්ෂාවක් තිබුණේ නම් බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාට 1959දී වෙඩිකෑමට සිදුවන්නේ නැත. හාමුදුරුනමක් පැමිණි නිසා ආරක්ෂක පරීක්ෂාවකට ලක් නොකළ බව පසුව පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර තිබිණි. නමුත් තුවක්කුකරු නොහොත් ඝාතකයා විවිධ ස්වරූපවලින් පැමිණෙන බවට තිබෙන හොඳම උදාහරණය බණ්ඩාරනායක ඝාතනයයි.
ඉන් පසුව මෙරට රාජ්‍ය නායකයන්ට එරෙහිව යම් යම් කුමන්ත්‍රණ සිදුවුවද එය දැඩි අභියෝගයකට ලක් වන්නේ 70 දශකයෙන් පසුවය. කොටි සංවිධානය ක්‍රමයෙන් සක්‍රීය වී ත්‍රස්තවාදී ක්‍රියා රට පුරා සිදුකිරීමට කටයුතු කරමින් සිටින විට රාජ්‍ය නායකයන්ට එරෙහිවද ප්‍රහාර එල්ල කිරීමට කොටින් සැලසුම් කරයි.
මෙම තත්ත්වයන් ගැන වැඩි අවධානයක් යොමු කළේ 1977 දී බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රභූ ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමුකළ අතර, ඔහු ඊට ප්‍රධාන කාරණා දෙකක් ගෙනහැර දැක්වීය.
එක් කාරණයක් වූයේ කොටි සංවිධානයයි. අනෙක් කාරණය වූයේ 71 කැරැල්ලයි. මෙම කාරණා දෙක ගැන වැඩි අවධානයක් යොමුකළ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පොලිස් විශේෂ කාර්ය බළකාය (එස්.ටී.එෆ්.) නිර්මාණය කිරීමට සැලසුම් කළේය. ඒ අනුව එස්.ටී.එෆ්. ගොඩනැංවීම භාර කළේ සිය පුත් රවී ජයවර්ධනටයි.
පසු කාලයේ ප්‍රභූ ආරක්ෂාවට වාගේම කොටි ත්‍රස්තවාදයට එරෙහිව 1988 ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ලටත් එරෙහිව එස්.ටී.එෆ්. සාර්ථකව යෙදවීමටද එවක පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කටයුතු කළේය.
රාජ්‍ය නායකයාට එරෙහිව එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් වූයේ 1987 වර්ෂයේදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී එල්ල වුණු බෝම්බ ප්‍රහාරයයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 01 පැවැත්වුණු අවස්ථාවේදී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල විය.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස, ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි, ඉඩම්, ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහභාගි වී සිටියහ. උදෑසන 9.00ට පමණ එල්ල වුණු බෝම්බ ප්‍රහාරයෙන් ජයවර්ධන ජනාධිපතිවරයාත්, ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයාත් බේරුණේ අනූනවයෙනි.
මාතර දිසා ඇමැති කීර්ති අබේවික්‍රම සහ පාර්ලිමේන්තු නිලධාරියකු මෙම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අතර, ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි බරපතළ තුවාල ලැබීය. මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ එවක ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු වූ අජිත් කුමාරටයි.
ඉන් අනතුරුව රාජ්‍ය නායකත්වයට සහ ජාතික නායකයන්ට බරපතළ තර්ජන එන්නට පටන් ගන්නේ 90 දශකයේ මුල් භාගයේදීය. 1993 මැයි 01 වැනිදා මෙරට දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් ඝාතනය කරන්නේය.
ගාලුමුවදොර පිටියේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියට සහභාගි වීම සඳහා පෙළපාළියෙන් පැමිණෙන විට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය බාබු විසින් එල්ල කරනු ලබන්නේ කොළඹ ආමර් වීදියේදීය.
මැයි පෙළපාළිය සංවිධාන කරමින් සිටි ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇතුළු විශාල පිරිසක් මෙම බෝම්බ ප්‍රහාරයෙන් මරුමුවට පත්වූහ. මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වීමට සතියකට පමණ පෙර තවත් ජාතික නායකයකු ඝාතනයට ලක්වන්නේය. එසේ ඝාතනයට ලක්වන්නේ ප්‍රධාන දේශපාලන නායකයකු වූ ලලිත් ඇතුලත්මුදලිය. ලලිත් ඇතුලත්මුදලි 1993 පළාත් සභා මැතිවරණය වෙනුවෙන් කිරුළපනදී පැවැති රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වන්නේය.
ලලිත් ඇතුලත්මුදලි ඝාතනය කර සතියක් ඇතුළත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනයට ලක්වන්නේය. ඉන් වසරකට පමණ පසුව 1994 ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර තවත් ප්‍රකට නායකයකු වූ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගාමිණී දිසානායක ඝාතනයට ලක්වන්නේය.
තොටලඟ නාගලගම්වීදියේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රචාරක රැස්වීමකට මරාගෙන මැරෙන කොටි කාන්තාවක් එල්ල කරනු ලබන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ගාමිණී දිසානායක ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් ඇතුළු අසූදෙනකුට වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් ඝාතනයට ලක්වන්නේය. ඔසී අබේගුණසේකර, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර, වීරසිංහ මල්ලිමාරච්චි, ගාමිණී විජේසේකර ඇතුළු දේශපාලනඥයෝ රැසක් එහිදී ඝාතනය වූහ.
දේශපාලන නායකයන් රැසක් එකවර ඝාතනයට ලක්වූ බෝම්බ ප්‍රහාරය වශයෙනුත් තවත් පැත්තකින් එක්සත් ජාතික පක්ෂයට සිදුකළ වැඩිම හානිය කළ බෝම්බ ප්‍රහාරය වශයෙනුත් මෙම තොටලඟ බෝම්බ ප්‍රහාරය හැඳින්විය හැකිය.
1988 පෙබරවාරි 14 වැනිදා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග වෙඩිතබා ඝාතනය කරන අතර, එහි චෝදනාව එල්ල වන්නේ ජනතා විමුක්ති පෙරමුණටය.
තවත් ජාතික නායකයකු වූ ලක්ෂ්මන් කදිර්ගාමර් ඝාතනය වන්නේ කොටි සංවිධානයේ ස්නයිපර් තුවක්කුකරුවකුගේ ප්‍රහාරයකිනි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඝාතනයට ලක්වන්නේ 1989 වර්ෂයේ නොවැම්බර් මස 13 වැනිදාය.
මීට අමතරව තවත් දේශපාලන පක්ෂ නායකයන් රැසක්ම විවිධ අවස්ථාවලදී ඝාතනයට ලක්වන්නේය. චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන්නේ 2000 වසරේදීය. ඒ, කොළඹ නගරසභා ක්‍රීඩාංගණයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකදීය.
චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය මෙම මරාගෙන මැරෙන කොටි බෝම්බයෙන් බේරෙන්නේ අනූනවයෙනි. ඇයට එක් ඇසක් මෙම ප්‍රහාරයේදී අහිමි විය.
මීට අමතරව පසුව ජාතික නායකත්වයට පැමිණි මෙරට 8 වැනි විධායක ජනාධිපති ධුරයට පත්වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද කොටි බෝම්බ ප්‍රහාරයකින් ජීවිතය ගලවා ගන්නේ අනූනවයෙනි.
2010 වසරේදී ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයකු බවට පත්වූ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද කොටි බෝම්බ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකි.
මෙම කරුණුවලින් පෙන්නුම් කරනුයේ මෙරට රාජ්‍ය නායකයන්ට හා දේශපාලන නායකයන්ට එල්ල වූ මාරක ප්‍රහාරයන්ය.
90 දශකයේ මුලදී ලලිත්, ගාමිණී, ප්‍රේමදාස ඇතුළු ජාතික නායකයන් රැසක් ඝාතනය වීම තුළ මෙරට දේශපාලනයේ ලොකු හිඩැසක්ද ඇති වන්නේය.
මෙරට 30 වසරක් කොටි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හමුවේ මෙරට රාජ්‍ය නායකයන්ට, ජාතික නායකයන්ට කෙතරම් අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවූවාද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ.
පස්වැනි විධායක ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂට කොටි සංවිධානයෙන් වැඩිම මරණ තර්ජන එල්ල වූයේ 30 වසරක කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට ඔහු දේශපාලන නායකත්වය ලබාදී තිබූ නිසාය. ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීම තුළින් මෙරට ප්‍රභූ ආරක්ෂාව ගැන එක් පැත්තකින් ඉහළ සහතිකයක් ලබාදිය හැකිය.
නමුත් අරගලය අවස්ථාවේදීද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජීවිතය බේරෙන්නේද යන්තමිනි. එම අවස්ථාවේදී ප්‍රභූ ආරක්ෂක අංශ ගෝඨාභය ජනාධිපතිවරයාගේ නියෝග පවා පිළිනොපැද්දේ ඇයි කියා සොයාබැලිය යුතුය. යම් කිසි විදෙස් බලවේග ඇතැම් තානාපති කාර්යාල හරහා මෙරට ආරක්ෂක අංශ මෙහෙයවූවාද? එසේ වූවානම් එය ඉතා බරපතළ තත්ත්වයකි.
එම නිසා ගෝඨාභය ජනාධිපති ලබාදුන් නියෝග ආරක්ෂක අංශ ක්‍රියාත්මක කළේ නැද්ද කියන කාරණය ගැන වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අවධානයට කඩිනමින් යොමුවිය යුතුය.
යළිත් අරගලයක් වැනි දෙයක් ඇතිවුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග කවරේද කියා මෙරට ආරක්ෂක අංශවල වාගේම ප්‍රභූ ආරක්ෂක අංශවලද අවධානය කඩිනමින් යොමුවිය යුතුය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ කරන්නාගොඩ වාර්තාවද සැලකිල්ලට ගැනීම වැදගත් වේ.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු










