2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වී මාස දෙකක් තුළ චීනයේ විදේශ සබඳතා නියෝජ්‍ය ඇමැතිවරයා ලංකාවට පැමිණ මෛත්‍රීපාල හමුවිය. ඔහු ලංකාවට ආවේ චීනයේ විශේෂ නියෝජිතයකු ලෙසය. ගෝඨාභය ජනාධිපති වී මාස දෙකක් තුළ චීනයේ විදේශ ඇමැති වැන්ග් යී ලංකාවට පැමිණ ගෝඨාභය සහ අගමැති මහින්ද රාජපක්ෂ හමුවිය. අනුර කුමාර ජනාධිපති වී මාස දෙකක් තුළ අනුරව හමුවෙන්න චීනයෙන් ආවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරකසභික සුන් හයියෑන්ය. මෛත්‍රීපාල, ගෝඨාභය හමුවූ චීන දූතයන් දෙස බලන විට අනුර කුමාර හමුවූයේ පහත් මට්ටමේ චීන දූතයෙක් යැයි පෙනුණාට චීන ජනාධිපතිට සමීප සබඳකම් තිබෙන ප්‍රබල දූතයෙකි. ඇය ආවේත් අනුර ජනාධිපති වී මාස දෙකකිනි. (Sri Lanka Latest News)
චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය ඇමැති අනුරව හමුවන තෙවැනි අවස්ථාව මෙයය. අනුර 2024 ජනවාරි ඉන්දියාවට යෑමට පෙර චීනයට ගියේ රහසින්ය. චීනයේදී ඔහු හමුවූයේ ඇයවය. ජනාධිපතිවරණය ආසන්නයේ ඇය යළිත් ලංකාවට ආවාය. ඇය ජවිපෙ මූලස්ථානයට ගොස් අනුර ඇතුළු ජවිපෙ නායකයන් හමුවූවාය. එමෙන්ම එවක ජනාධිපති රනිල් ඇතුළු අනෙකුත් පක්ෂ නායකයන්ද හමුවූවාය. ඇය ඒ වෙලාවේ ලංකාවට ආවේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගැන අධ්‍යයනයක් කිරීමටය. ජනාධිපතිවරණයෙන් දිනන්නේ කවුද යන්න ගැන ව්‍යාකූලත්වයක සිටි ඇය ජනාධිපතිවරණය ගැන මත විමසුමක් කරන්න යැයි චීන තානාපති කාර්යාලයට උපදෙස් දුන්නාය. ඇය අනුර හමුවූ විට අනුර ඉල්ලා සිටියේ චීන සංචාරයකයන්ය. අනුර ඇයව චීනයේ හමුවූ විටදීත් ලංකාවේදී හමුවූ විටදීත් ඔහු ජනාධිපති වූ විට චීන සංචාරකයන් විශාල වශයෙන් එවන ලෙස ඉල්ලා තිබිණි. අනුර ජනාධිපතිවරණයට පෙර මැතිවරණ වේදිකාවලදීත් ජනාධිපති වී ජාතිය අමතද්දීත් පාර්ලිමේන්තුවේ රාජාසන කතාවේදීත් ලංකාවට තවදුරටත් නොආපු සංචාරකයන් ප්‍රමාණයක් මේ වසරේ පළමු වරට එන බව කීවේය. අනුර එලෙස කීවේ මේ චීන නියෝජ්‍ය ඇමැතිගේ පොරොන්දුව හිතේ තබාගෙන විය යුතුය. මෙවර ඇය ආ විටදීත් අනුර ඇයගෙන් චීන සංචාරකයන් එවීම පිළිබඳ සහතිකයක් ගන්න ඇත. ඇය එම සහතික දීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා පැහැදිලි නැත.
රනිල්ගේ ආණ්ඩුව චීන පර්යේෂණ නැව් තහනම පැනවූයේ 2023 දෙසැම්බරයේය. එය වසරක තහනමකි. මේ දෙසැම්බරයේ එම තහනම දික් කරනවාද නැද්ද යන්න අනුරගේ ආණ්ඩුව තීරණය කළ යුතුය. අනුර කුමාර දෙසැම්බරයේ මැද ඉන්දීය සංචාරයකට යන බව විදේශ ඇමැති විජිත හේරත් පවසා තිබිණි. චීන නැව් තහනම ඉවත් කොට ඉන්දියාවේ සංචාරය කරන්න අනුර තීරණය කරනු ඇතැයි සිතිය නොහැකිය. මෙරටට පැමිණි චීන දූතයා ගෙන ආ පණිවුඩය භූ දේශපාලනය සමබර නොකර චීනයෙන් උදව් බලාපොරොත්තු නොවන ලෙසය.










