• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

ඉන්දුනීසියා මෙහෙයුමට අනුරත් බහී! හිතාගන්න බැරි නම් ලයිස්තුවක් පද්මෙ එළියට දමයි! පාතාලයන්ට කරන්න යන දේ මෙන්න! බන්ධනාගාරවලටත් ලොකු සුද්දයක්! සජිත් සජබෙ කොන්ද කෙළින් කරයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

September 14, 2025
in Exclusive, Rajya Rahas
Reading Time: 16 mins read
A A
Share on WhatsAppShare on Facebook

අයිස් සතිය ඇරඹුණා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම දක්වා වූ සිදුවීම් පෙළ ඇතුළත් සතියේ උණුසුම පහව ගියේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි නායකයන් ඉන්දුනීසියාවේ සිට අත්අඩංගුවට ගෙන ලංකාවට පැමිණීමෙන් පසු ආරම්භ වූ ‘අයිස්’ සතිය හේතුකොට ගෙනය. ඒ අනුව පසුගිය සතියම මෙරට පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය ආදී සියල්ලම පිරී ඉතිරී ගියේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වීඩියෝ, ඡායාරූප, ඔවුන්ගෙන් රහස් පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ තොරතුරු සහ ඒ හරහා සිදුකරන අත්අඩංගුවට ගැනීම්වලින්ය. එමෙන්ම මේ ප්‍රශ්නකිරීම්වලදී මිද්දෙණියෙන්, නුවරඑළියෙන් සහ කඳානෙන් අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය කන්ටේනර් පිටින් හමුවීමද පසුගිය සතියේ උණුසුම් පුවත් මැවූ සිදුවීම් විය. ජනතාවද මේවා බලා සිටියේ, මේවා ගැන තැන් තැන්වල කතා කළේ ටොම් කෲස්ගේ ත්‍රාසජනක චිත්‍රපටයක් නරඹනවා හා සමානවය.Sri Lanka Latest News

මෙවැනි ආකාරයේ සිදුවීම් මේ රටේ ජනතාව දුටු පළමු අවස්ථාව මෙය නොවේ. මීට කලින් පැවැති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩු සමයේත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩු සමයේත් පාතාලයට එරෙහිව මෙවැනිම ආකාරයේ මෙහෙයුම් ක්‍රියාත්මක විය. විදේශයන්හි සිටි පාතාල නායකයන් අත්අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ආවේය. කුඩු කිලෝ සිය ගණනින් අත්අඩංගුවට ගත්තේය. රනිල්ගේ කාලයේදී ‘යුක්තිය’ මෙහෙයුම යටතේ මෙවැනිම ආකාරයේ වැඩි බරක් පාතාලය මර්දනය කිරීමට තබා තිබිණි. මුල් කාලයේදී ජනතාව ආණ්ඩුව විසින් පෙන්වූ මෙම චිත්‍රපට රස කර කර බැලුවත්, ඊට සමගාමීව රට ඇතුළේ මතුවූ බරපතළ අර්බුද හේතුකොට ගෙන පසුව මේ චිත්‍රපට නොබැලූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.

ඒ අනුව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යටතේ මේ සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම්, පාතාල නායකයන් අත්අඩංගුවට ගැනීම් තවත් එක් චිත්‍රපටයක්ද? ආණ්ඩුවේ ජනප්‍රියත්වය රැකගැනීම සඳහා පෙන්වනු ලබන නාට්‍යයක්ද? එසේත් නොමැති නම් සත්‍ය වශයෙන්ම පාතාලය සහ මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කිරීම සඳහා ගෙනයන සත්‍යවාදී වැඩපිළිවෙළක්ද? මේ ක්‍රියාදාමය පසුපස ඇති ඇත්ත කතාව මොකක්ද?

මේ සම්බන්ධයෙන් දීර්ඝව අප කළ සොයාබැලීම්වලදී දැනගන්නට ලැබුණේ මෙම මෙහෙයුම් ආණ්ඩුව ජනප්‍රිය කරවීමට හෝ ආණ්ඩුවේ ජනප්‍රියතාව රැකගැනීමට හෝ සංදර්ශනයක් බවට පත්කර ගැනීමට හෝ සිදු නොකරන එකක් බවකි. ඉතා සැලසුම්සහගතව සහ ඉලක්කසහගතව පාතාලය සහ මත්ද්‍රව්‍ය මෙරටින් අතුගා දැමීම සඳහා සිදුකරන ඉතා සංවිධානාත්මක මෙහෙයුමක් බව ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේදී ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ලැබිණි. කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ඒම දක්වා වූ සිදුවීම් පෙළද ඒ ආකාරයට ඉතා සැලසුම්සහගතව සිදුකළ එකක් විය. ඒ අනුව අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කරන්නේ මෙම මෙහෙයුම් අතරතුරදී මෙතෙක් එළියට නොආ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන්ය. එසේත් නැතිනම් ජනාධිපතිවරයා ඍජුවම ඊට මැදිහත්ව තිබූ ආකාරයය.

අනුර අතගහයි

කෙහෙල්බද්දර පද්මේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අතරතුරදී ජනාධිපතිවරයා ඒ සඳහා ලංකාවෙන් ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමත් සමග අවස්ථා කීපයකදීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී උපදෙස් ලබාදීමට කටයුතු කොට තිබිණි. එය නිල වශයෙන් මෙතෙක් කිසිදු පාර්ශ්වයකින් එළියට පැමිණ තිබුණේ නැත. අදාළ කණ්ඩායම මෙහෙයුම සඳහා ලංකාවෙන් පිටව ගිය මොහොතේ සිටම සිදුවන සෑම කටයුත්තක් සම්බන්ධයෙන්ම ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගත් නමුත් මෙහෙයුමේ රහසිගතභාවය 100%ක්ම තබාගැනීමට අවශ්‍ය වීම නිසා කිසිදු තැනක ඒ ගැන වචනයක් හෝ පිටතට ගලා නොයාමට සියලු පාර්ශ්වයන් වගබලාගෙන තිබිණි. ඒ අනුව මෙම මෙහෙයුම සිදුවූයේ හරියට ඇෆ්ගනිස්තානයේදී අල්කයිඩා නායක බින් ලාඩන්ගේ අත්අඩංගුවට ගැනීම ඇමෙරිකාවේ ධවල මන්දිරයේ සිට එවක හිටපු ජනාධිපති බැරක් ඔබාමා සජීවීව නැරඹු සිද්ධියට සමානවය. එවැනි තාක්ෂණයක් මේ වනවිට මෙරට ආරක්ෂක අංශ සතුව තිබීම නිසා කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීමේ සිදුවීමේදීද ජනාධිපතිවරයා ඊට සම්බන්ධ වී තිබූ ආකාරයක් ආරංචිය. ඉකුත් ආණ්ඩුවල සිටි ජනාධිපතිවරුන් මෙන් නොව මේ කටයුත්ත සඳහා ජනාධිපතිවරයා මූලිකත්වය දී අවශ්‍ය කටයුතු සිදුකොට ඇති බවද දැනගන්නට ඇත.

හිතන්නවත් බැරි තොරතුරු

එමෙන්ම අපට වාර්තා වන්නේ මෙම මෙහෙයුම සම්බන්ධයෙන් සති ගණනාවක සිටම විමර්ශන සිදුකරන කණ්ඩායම් සහ ජනාධිපතිවරයා අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගැනීම් සිදුව ඇති බවය. මෙම සාකච්ඡා අතිශය තීරණාත්මක, අතිසංවේදී සහ අතිශය බරපතළ කරුණු කාරණාවලින් සමන්විත ඒවා වී ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එමෙන්ම එම තොරතුරුවල ඇති බරපතළකම නිසා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණද ඉතාම රහසිගත ආකාරයට තබා ගැනීමටත්, එහි රහසිගතභාවය දිගටම පවත්වා ගැනීමටත් සියලු දෙනාම වැඩි අවධානයක් යොමු කොට තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. අපට ඇති තොරතුරුවලට අනුව මෙසේ පැවැත්වුණු රහසිගත සාකච්ඡාවලදී කෙහෙල්බද්දර පද්මේ ප්‍රධාන කොටගෙන මේ අත්අඩංගුවට ගත් පාතාල කණ්ඩායම විසින් මෙහෙයවනු ලබන ලංකාවේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳ අතිවිශාල තොරතුරු රැසක් අනාවරණ වී ඇති බවක් දැනගන්නට ඇත. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ගෙන්වීම සහ බෙදාහැරීම ඇතුළු කුඩු පාතාලයෙන් හරියටම 50%කට ආසන්න ප්‍රමාණයක් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු මෙම ජාලය විසින් මෙහෙයවනු ලබන බවද එහිදී අනාවරණ වී තිබේ. ඒ නිසා කෙහෙල්බද්දර පද්මේ ඇතුළු මෙම පාතාල නායකයන් කිහිප දෙනාට සම්බන්ධ කුඩු සහ පාතාල ජාලය නැවැත්වීමට හැකි වුවහොත් රටේ සමස්ත මත්ද්‍රව්‍ය ජාලයෙන් හරියටම 50%ක කොටසක් කඩාවැටෙන බවද මෙම සාකච්ඡාවලදී අනාවරණ වී තිබිණි. එතැන් සිට මත්ද්‍රව්‍ය ජාලයේ ඉතිරි කොටස අකර්මණ්‍ය කොට මෙරටින් මත්ද්‍රව්‍ය සහ පාතාල ජාලය සම්පූර්ණයෙන්ම අතුගා දැමිය හැකි බව මෙහිදී විමර්ශන කණ්ඩායම් විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවක්ද දැනගන්නට තිබේ.

අත්අඩංගුවට ගන්නයි යන්නේ

ඒ අනුව සිදුකෙරී ඇති විග්‍රහයන්වලදී කුඩුකාරයන්, කුඩු විකුණන පුද්ගලයන් පමණක් නොව, ඉන් එහාට ගිය අතිභයානක කුඩු ජාලයක් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බවද වාර්තා වේ. ඉන් එක් කොටසක් ඉහළ තැන්වලට මෙන්ම අතිශය සංවේදී ක්ෂේත්‍රවලට පවා රිංගාගෙන එම ක්ෂේත්‍ර සමග සබඳතා පවත්වන බවද එහිදී නිරීක්ෂණය වී ඇත. ඒ අනුව කෙහෙල්බද්දර පද්මෙලාගෙන් එළියට එන තොරතුරුවලට අනුව එක්තරා ප්‍රබල අනාවැකියක් මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප අනාවරණ කිරීමට සූදානම්ය. ඒ, ඉදිරි දින කීපය ඇතුළත දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ යම් යම් පිරිස් පමණක් නොව, රාජ්‍ය යාන්ත්‍රණයේ දැවැන්ත කැලඹීම් ඇතිවිය හැකි ආකාරයේ සිදුවීම් පෙළක් සිදුවීමේ ඉඩකඩක් මේ වනවිට මතුව ඇති බවය. පසුගිය කාලයේදී මත් කුඩු ජාලයට සම්බන්ධ දේශපාලකයන් ගැන පමණක් නිතර නිතර කතා කළද ඉන් ඔබ්බට ගිය තවත් ක්ෂේත්‍ර ගණනාවක සිටින බොහෝ පිරිසක් අත්අඩංගුවට ගැනීමේ වටපිටාවක් මේ වනවිට නිර්මාණය වී ඇති බව පමණක් මෙහිදී අපට සඳහන් කිරීමට පුළුවන.

මේ අතරතුර කෙහෙල්බද්දර පද්මෙලාගෙන් ලැබුණු තොරතුරුවලට අනුව මිද්දෙණිය ප්‍රදේශයේදී පොහොට්ටුවට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලකයකුගේ ඉඩමකින් හමුවූ අයිස් නිපදවීමට ගන්නා අමුද්‍ර්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් දෙකක් හමුවීමත් සමග නැවත වතාවක් ආණ්ඩුවට කලින් එල්ල වී තිබූ කන්ටේනර්වලට සම්බන්ධ චෝදනාව කරළියට පැමිණ ඇති ආකාරයක්ද දැකගැනීමට පුළුවන. වත්මන් ආණ්ඩුව බලයට පැමිණ මාස කීපයක් ඉක්ම යනවිට ආණ්ඩුවට එල්ල වූ බරපතළම චෝදනාව වූයේ රතු ලේබල් සහිත කන්ටේනර් ඇතුළත් බහාලුම් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරව මුදාහැරීමට ආණ්ඩුව කටයුතු කොට තිබූ බවටය. එම චෝදනාව එල්ල වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ වාර්තාව මගින්ද අදාළ බහාලුම් 323 කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කොට ඇති බවට තහවුරු වී තිබිණි. ඒ අනුව විපක්ෂය පසුගිය සතිය වනවිට ආණ්ඩුවෙන් ප්‍රශ්න කොට තිබුණේ මෙම කන්ටේනර් දෙක යට කී ප්‍රශ්නගත කන්ටේනර් 323 අතර තිබී නිදහස් කරනු ලැබූ ඒවාදැයි කියාය. විශේෂයෙන්ම විපක්ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කොට සිටියේ අදාළ මත් කුඩු සහිත කන්ටේනර් දෙක සම්බන්ධයෙන් විදෙස් බුද්ධි අංශ සහ මෙරට බුද්ධි අංශ තොරතුරු ලබාදී තිබියදීත් ඒවා අත්අඩංගුවට ගැනීමට අදාළ අංශ කටයුතු නොකිරීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතුවන බවකි.

විශේෂයෙන්ම මෙම කුඩු කන්ටේනර් දෙක පිළිබඳ අමෙරිකානු ඔත්තු සේවාවක් මගින් පසුගිය වසරේ අග හෝ මේ වසරේ මුල අංකත් සමග මෙරට ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබූ බවක්ද වාර්තා විය. ඒ බව නාකොටික් එක මගින්ද තහවුරු කොට තිබිණ. නමුත් එසේ තිබියදීත් මෙම අයිස් අමුද්‍රව්‍ය සහිත කන්ටේනර් දෙක මුදාහැරීම සම්බන්ධයෙන් මතුව ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි.

විශේෂයෙන්ම මෙම තොරතුරු රජ්‍ය මාධ්‍යයක් වන ‘දිනමිණ’ පුවත්පතේ වාර්තා කොට තිබීමත් සමග පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වූ නාමල් රාජපක්ෂ මහතා පුවත්පතේ නම සඳහන් කරමින්ම මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට පියවර ගත්තේය. එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මේ කන්ටේනර් සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳ යළිත් වතාවක් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබිණි.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩුව පැත්තෙන් සහ සමාජ මාධ්‍ය පැත්තෙන් නාමල් සහ රාජපක්ෂ පවුල ඉලක්ක කොට ගෙන දැවැන්ත ප්‍රහාරයක් දියත් වීමය. විශේෂයෙන්ම එක් අවස්ථාවකදී මහජන ආරක්ෂාව භාර නියෝජ්‍ය අමාත්‍යවරයා වන සුනිල් වටගල මහතා මිද්දෙණියෙන් හමුවූ මත්ද්‍රව්‍ය ජාලය සමග නාමල් රාජපක්ෂගේ සම්බන්ධයක් ඇති බවට හැඟවෙන ප්‍රකාශයක් ප්‍රසිද්ධියේම සිදුකිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ඊට ප්‍රතිචාර දැක්වූ නාමල්, වටගල විසින් තමන්ට සිදුකළ අපහාසය හේතුකොට ගෙන රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසි යැවීමට කටයුතු කොට තිබිණි. දින 14ක් ඇතුළත ඊට අදාළ මුදල නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද එහිදී නාමල්ගේ නීතිඥවරුන් වටගලට දැනුම් දී තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් වටගලද කියා තිබුණේ නාමල් තමන්ට දින 14ක් ඇතුඝත නඩු නොපැවරුවහොත් තමන් නාමල්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවකි.

බන්ධනාගාරයට සුද්දයක්

එමෙන්ම මෙම සාකච්ඡාවලදී මත්ද්‍රව්‍ය ජාලයේ කොන්ද කඩාදැමීමේ පියවර සම්බන්ධයෙන් පවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇති බව ආරංචිය. එහිදී එම පිරිස අතර විශේෂ අවධානයකට ලක්ව ඇත්තේ බන්ධනාගාරය තුළ සිදුකෙරෙන බරපතළ අක්‍රමිකතා සහ දූෂණයන් පිළිබඳවය. මේ වනවිට ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති කාරණයක් බවට පත්ව ඇත්තේ මත්ද්‍රව්‍ය ජාලයට බන්ධනාගාරය හරහා විශේෂ පහසුකම් රැසක් ලැබෙමින් පවතින බවය. දූෂිත සුළු නිලධාරීන් පිරිසක් සියලු බන්ධනාගාරවල රාජකාරි කිරීම හේතුවෙන් එළියේ සිටිනවාට වඩා පහසුවෙන් මෙම පාතාල නායකයන්ට ඇතුළේ සිට කුඩු ජාවාරම සහ පාතාල කටයුතු මෙහෙයවීමේ අවස්ථාව ලැබී ඇති බව සියලු දෙනාම දන්නා කාරණයක් බවට පත්ව ඇත. ඒ අනුව මෙම දූෂිත බන්ධනාගාර ජාලය කඩාබිඳ දැමීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ සහ තීරණාත්මක සාකච්ඡා රැසක්ම පැවැත්වී ඇති බවක් දැනගන්නට තිබේ. එමෙන්ම එම ජාලය කඩාබිඳ දැමීම සම්බන්ධයෙන් නව යෝජනා රැසක්ද මෙම සාකච්ඡාවලදී ඉදිරිපත් වී තිබේ. ඒ අනුව අත්අඩංගුවට ගන්නා පාතාල නායකයන් සහ ඊට සම්බන්ධ ප්‍රබල පුද්ගලයන් රඳවා තබන්නේ කොහේද, ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නේ කෙසේද, ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන්නේ කෙසේද, බාහිර ලෝකය සමග ඔවුන් පවත්වන සම්බන්ධතා නවත්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අතිශය බරපතළ තීන්දු තීරණ ගණනාවක්ද මෙහිදී ගෙන ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව කුඩු සහ පාතාලයට එරෙහි මෙම මෙහෙයුමේදී බන්ධනාගාර ජාලය ශුද්ධ කිරීමේ තවත් මෙහෙයුමක්ද ආණ්ඩුව පැත්තෙන් ආරම්භ කොට ඇති බවක්ද පැවැසේ.

ජිනීවාත් යුද්ධයක්

මත්කුඩු සහ පාතාලයට එරෙහිව ආණ්ඩුව පැත්තෙන් මේ ආකාරයට යුද ප්‍රකාශ කොට තිබියදී ජිනීවාවල ආණ්ඩුවට තවත් යුද්ධයකට මුහුණ දීමට සිදුව තිබිණි. ඒ, පසුගිය සතියේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයේදීය. මීට පෙර ‘රාජ්‍ය රහස්’ තීරය මාස කීපයක සිටම වාර්තා කොට තිබුණේ සැප්තැම්බරයේ ආරම්භ වන මෙම ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව බරපතළ යෝජනාවක් සම්මත කරගැනීමේ මෙහෙයුමක් බි්‍රතාන්‍යය ඇතුළු යුරෝපා රටවල් විසින් දියත් කොට ඇති බවත්, එම යෝජනාව සම්මත වීමේ වැඩි ඉඩක් පවතින බවත්ය. ඒ අනුව බි්‍රතාන්‍යය, ජර්මනිය, කැනඩාව, මලාවි, මොන්ටිනීග්‍රෝ ඇතුළු මධ්‍ය කණ්ඩායම් විසින් මේ වනවිට ලංකාවට එරෙහි යෝජනාවක් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කොට තිබේ. පසුගිය සතිය ආරම්භයේදීම ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වූ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා එහි මහකොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කොට තිබූ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබිණි.

මෙන්න ජිනීවා යෝජනා

ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ සංහිඳියාවට සහ එහි ජනගහනයේ සියලු සාමාජිකයන්ට මානව හිමිකම් පූර්ණ ලෙස භුක්ති විඳීමට අත්‍යාවශ්‍ය වන දේශපාලන අධිකාරි බලය බෙදාහැරීම පිළිබඳ කැපවීම් ඉටුකරන ලෙසත්, පළාත් සභා සඳහා මැතිවරණ පැවැත්වීම ඇතුළුව පළාත් පාලනයට ගරුකිරීමට රජය දිරිමත් කරන ලෙසත් උතුරු හා නැගෙනහිර පළාත් සභා ඇතුළුව සියලු පළාත් සභා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුකූලව ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමට හැකි වන බව සහතික කරන ලෙසත්,

දැඩි ආර්ථික අර්බුදයේ බලපෑම් විසඳීමට ශ්‍රී ලංකා රජය දරන අඛණ්ඩ උත්සාහයන් සාදරයෙන් පිළිගනිමින් හමුදාකරණය, දූෂණය, පාලනයේ වගවීමක් නොමැතිකම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ අපයෝජනය සඳහා දඬුවම් නොලැබීම ඇතූලු එම අර්බුදයට දායක වූ යටින් පවතින පාලන සාධක සහ මූල හේතු ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්,

ආගම, විශ්වාසය හෝ වාර්ගික සම්භවය වැනි කිසිදු ආකාරයක වෙනසක් නොමැතිව සහ මානව හිමිකම් භුක්ති විඳීම සඳහා සාමකාමී සහ ඒකාබද්ධ භූමියක වැදගත්කම මෙන්ම ශ්‍රී ලංකාවේ සියලු පුද්ගලයන්ට ඔවුන්ගේ මානව හිමිකම් පූර්ණ ලෙස භුක්ති විඳීමට හිමිකම් ඇති බව නැවත තහවුරු කරමින්,

ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එහෙිව සටන් කිරීම ඇතුළුව කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්,

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් සිදුකරන ලද අපයෝජන ඇතුලුව සියලු පාර්ශ්වයන් විසින් ශ්‍රී ලංකාවේ සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සඳහා පුළුල් වගවීමේ ක්‍රියාවලියක වැදගත්කම අවධාරණය කරමින්,

මානව හිමිකම් නීතිය සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ සිය බැඳීම්වලට අනුකූල වීමට රාජ්‍යයන්ගේ වගකීම සිහිපත් කරමින් මානව හිමිකම් නීතිය දැඩි ලෙස උල්ලංඝනය කිරීම හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු අයට නඩු පැවරීම ඇතුළුව,

  1. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් මානව හිමිකම් කවුන්සිලයේ පනත් අටවන සැසියේ දී ඉදිරිපත් කරන ලද වාචික යාවත්කාලීන කිරීම සහ වත්මන් සැසියේදී කවුන්සිලයට ඉදිරිපත් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ වාර්තාව සාදරයෙන් පිළිගනී.
  2. ශ්‍රී ලංකා රජයේ ආරාධනායෙන් 2025 ජුනි මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා සංචාරය මෙන්ම මහකොමසාරිස් කාර්යාලය සමග එහි සම්බන්ධ වීම සහ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ක්‍රියාපටිපාටිද සාදරයෙන් පිළිගනී. එවැනි මැදිහත්වීම් සහ සංවාදයන් අඛණ්ඩව පවත්වාගෙන යෑමට දිරිගන්වන අතර, කාර්යාලය විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස සහ විශේෂ ක්‍රියාපටිපාටි මගින් කරන ලද නිර්දේශ නිසි ලෙස සලකා බලන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සටී.
  3. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් භුක්ති විඳීමට සැලකිය යුතු අහිතකර බලපෑමක් ඇතිකළ දූෂණය සහ ආර්ථික අක්‍රමිකතා සම්බන්ධයෙන් වගවීම සඳහා රජය විසින් ගන්නා ලද පියවර සඳහා ගන්නා අතර, වත්මන් සහ හිටපු රාජ්‍ය නිලධාරීන් විසින් ගන්නා ලද පියවර හඳුනා ගන්නා අතර, වත්මන් සහ හිටපු රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන ලද ඒවා ඇතුලුව දූෂණ විමර්ශනය කිරීම සහ නඩු පැවරීම ඇතුළුව මේ සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග දිරිමත් කරයි.
  4. දශක ගණනාවක් තිස්සේ පැවැති භේදකාරී ජාතිවාදී දේශපාලනය සහ ජනවාර්ගික ගැටුම් හේතුවෙන් ඇතිවූ හානි සහ දුක් වේදනා පිළිබඳ රජය පිළිගැනීම, සියලු ප්‍රජාවන්ට අයත් පුද්ගලයන්ගේ බෙදාගත් වේදනාව සහ ශෝක පිළිගැනීම සහ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීමට, නීතියේ ආධිපත්‍යය යථා තත්ත්වයට පත්කිරීමට සහ වෙනස්කම් කිරීම්වලින් තොර සමාජයක් නිර්මාණය කිරීමට ඇති කැපවීම තවදුරටත් සාදරයෙන් පිළිගනී.
  5. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට සහ එය අවලංගු කිරීම පරීක්ෂා කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට රජය විසින් දක්වන කැපවීම සැලකිල්ලට ගනිමින් එම නීතිය යටතේ රඳවා තබාගැනීම් ප්‍රධාන වශයෙන් දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ට එරෙහිව අඛණ්ඩව සිදුවන බවට කනස්සල්ල පළකරන අතර, නීතිය භාවිත කිරීමට තාවකාලික තහනමක් පැනවීමට, එය අවලංගු කිරීම කඩිනම් කිරීමට සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම පිළිබද ඕනෑම නීති සම්පාදනයක් ජාත්‍යන්තර නීතියෙන් පැනනගින රාජ්‍යයේ බැඳීම්වලට සම්පූර්ණයෙන්ම අනුකූල වන බව සහතික කිරීමට රජයෙන් ඉල්ලා සිටී.
  6. මාර්ගගත ආරක්ෂණ පනත සංශෝධනය කිරීමට සහ ඊට සංශෝධන සකස් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට රජය දක්වන කැපවීම සාදරයෙන් පිළිගනිමු. පනතේ අධිකරණ අධීක්ෂණය නොමැතිකම සහ වැරැදි හා බලාත්මක කිරීමේ බලතල සම්බන්ධයෙන් ඇති පුළුල් අර්ථ දැක්වීම පිළිබඳ කනස්සල්ල පිළිගනිමු සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීම සඳහා රාජ්‍යයේ ජාත්‍යන්තර බැඳීම්වලට පනත සම්පූර්ණයෙන්ම අනුකූල වන බව සහතික කිරීම සඳහා එහි සංශෝධනය කඩිනම් කිරීමට රජය දිරිමත් කරමු.
  7. ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ බොහෝ සිද්ධීන් තවමත් නොවිසඳී ඇති බවත්, අතුරුදන්වූවන්ගේ පවුල්වලට මෙය දිගු කලක් තිස්සේ ඇති කර ඇති දුක් වේදනා හඳුනාගන්නා බවත්, ශ්‍රී ලංකාවේ බොහෝ සමූහ මිනී වළවල් හඳුනාගැනීම පිළිගනී. ප්‍රමාණවත් සම්පත් සමග අඛණ්ඩ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍යතාව සහ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ ස්වාධීන හා ඵලදායී ක්‍රියාකාරීත්වයේ වැදගත්කම අවධාරණය කරන අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගොඩගැනීම් සිදුකිරීමට ප්‍රමාණවත් මූල්‍ය, මානව සහ තාක්ෂණික සම්පත් සහතික කිරීම සඳහා ජාත්‍යන්තර සහාය කල්තියා ලබාගැනීමට රජයෙන් ඉල්ලා සිටී.
  8. දිගුකාලීන ගැටලු කීපයක් සම්බන්ධයෙන් නව දිශාවකට රජයේ කැපවීම් සාදරයෙන් පිළිගනී. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සමහර සංකේතාත්මක සිද්ධීන් මෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන සහ නඩු පැවරීම් නැවත විවෘත කිරීම පිළිගනී. ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව පරීක්ෂණ සහ නඩු පැවරීම් කඩිනම් කරන ලෙස ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබාගැනීමට සහ වින්දිතයත්, දිවි ගලවාගත් අය සහ ඔවුන්ගේ නියෝජිතයන් මෙන්ම වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
  9. ස්වාධීන මහජන නඩු පවරන ආයතනයක් පිහිටුවීමට රජය දක්වන කැපවීම අගය කරමින් පිළිගන්නා අතර, එය සම්පූර්ණයෙන්ම ස්වාධීන, ඵලදායී සහ ශක්තිමත් කිරීමට ඉල්ලා සිටින අතර පසුගිය දශක කිහිපය තුළ සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ස්වාධීන විශේෂ උපදේශකයකු සහිත අධිකරණ යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම සලකා බැලීමට රජය දිරිමත් කරයි.
  10. දිගුකාලීන සංකේතාත්මක නඩු ඇතුළුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතියේ බරපතළ උල්ලංඝනයන් සම්බන්ධ සියලු චෝදනා එල්ල වන අපරාධ සඳහා වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ පූර්ණ සහභාගිත්වයෙන් කඩිනම් සම්පූර්ණ සහ අපක්ෂපාතී විමර්ශනයක් සහ නඩු පැවරීමක් සහතික කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
  11. සිවිල් සමාජයේ නියෝජිතයන්ට, මානව හිමිකම් ආරක්ෂකයන්ට, මාධ්‍යවේදීන්ට, වින්දිතයන්ට, දිවි ගලවාගත් අයට සහ ඔවුන්ගේ පවුල්වලට විශේෂයෙන් කාන්තාවන්ට එරෙහිව සියලු ආකාරයේ හිරිහැර කිරීම් සහ පළිගැනීම් අවසන් කරන ලෙස ඉල්ලා සිටී.
  12. හමුදාව සහ අනෙකුත් රාජ්‍ය ක්‍රියාකාරීන් විසින් තවමත් අත්පත් කරගෙන සිටින සහ ආර්ථික වශයෙන් භාවිත කරන ඉඩම් නිදහස් කිරීමේ වැදගත්කම සහ පුරාවිද්‍යාත්මක, ආගමික සහ සංරක්ෂණ ගැටලු සම්බන්ධ ඉඩම් ආරවුල් විනිවිද පෙනෙන, උපදේශාත්මක, අපක්ෂපාතී සහ වෙනස් කොට සැලකීමකින් තොරව විසඳීමේ වැදගත්කම අවධාරණය කරයි.
  13. මානව හිමිකම් කවුන්සිලය විසින් එහි 51/1 යෝජනාවෙන් ඉල්ලා සිටින ලද සියලු කටයුතු සහ මහකොමසාරිස් කාර්යාලයේ වරම දීර්ඝ කිරීමට තීරණය කරන අතර, එහි 61 සහ 64 සැසිවාරයේදී කවුන්සිලයට වාචික යාවත්කාලීන කිරීමක්, එහි 63 සැසිවාරයේදී ලිඝිත යාවත්කාලීන කිරීමක් සහ එහි 66 සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම්වල ප්‍රගතිය පිළිබඳ පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාර්යාලයෙන් ඉල්ලා සිටී. මෙය අන්තර්ක්‍රියාකාරී සංවාදයකදී සාකච්ඡා කෙරේ.‘ යනුවෙන් එම යෝජනාවලියේ සඳහන්ව තිබිණ.

ඡන්දය තමයි ලෙඩේ

කෙසේ වෙතත් මෙම සැසිවාරයේ ඉතා තීරණාත්මක කරුණ වන්නේ ලංකාවට එරෙහිව ඉදිරිපත්ව ඇති මෙම යෝජනාව සම්බන්ධයෙන් පැවත්වෙන ඡන්ද විමසීමය. රටවල් විශාල ප්‍රමාණයක් ජිනීවා මානව හිමිකම් කොමිසම නියෝජනය කළත්, එහි ඡන්ද හිමිව ඇති රටවල් ඇත්තේ 48ක් පමණි. පසුගිය සතියේ පැවැති අදහස් දැක්වීම්වලදී රටවල් 43ක් ලංකාවට පක්ෂ ස්ථාවරයක සිටිමින් අදහස් දැක්වුවත් එම රටවල් 43 අතරින් කොමිසම තුළ ඡන්දය හිමිව ඇත්තේ රටවල් 13කට පමණි. එම නිසා යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේදී ලංකාවට පක්ෂව අදහස් දැක්වූ මෙම රටවල් 13ම අපට පක්ෂව ඡන්දය භාවිත කරනු ඇති බව අනුමාන කළද යෝජනාව ජයග්‍රහණය කිරීමට හැකිද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මේ වනවිට මතුව තිබේ.

ජපානය ආවා.. ඉන්දියාව?

පසුගිය කාලයේදී ලංකාව සමග යම් යම් මත ගැටුම් පැවැතියද මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ජපානය කිසිවකුත් නොසිතූ පරිදි ලංකාවට පක්ෂ ස්ථාවරයක සිටිමින් අදහස් දැක්වීමට කටයුතු කොට තිබිණි. නමුත් ගැටලුව වන්නේ ජපානය බටහිර රටවල් සමගද ඉතා සමීප සබඳතාවක් පවත්වාගෙන යෑමය. එම නිසා බටහිර රටවල් විසින් රැගෙන එන ලංකාවට එරෙහි මෙම යෝජනාවේදී ජපානය බටහිරට එරෙහිව ඡන්දය භාවිත කරයිද, එසේත් නොමැති නම් මධ්‍යස්ථ ස්ථාවරයක් දරමින් ඡන්දය දීමෙන් වැළකී සිටීද යන්න පිළිබඳ විශාල ප්‍රශ්නයක් මේ වනවිට මතුව තිබේ. එමෙන්ම මෙම යෝජනාවේදී ඉන්දියාවේ ස්ථාවරය අතිශය තීරණාත්මකය. මුලින්ම වාර්තා වී තිබුණේ මෙවර ලංකාවට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවේදී ඉන්දියාව 100%ක්ම ලංකාවට පක්ෂ ස්ථාවරයක සිටිමින් අදහස් දක්වනු ඇති බවකි. නමුත් පසුගිය සතියේදී ඉන්දීය නියෝජිතයා මානව හිමිකම් කොමිසමේදී අදහස් දක්වමින් ලංකාව සම්බන්ධයෙන් යම් යම් කොන්දේසි ඉදිරිපත් කළ ආකාරයක් දැකගත හැකි විය. එහිදී ඉන්දියාව කියා සිටියේ උතුරු-නැගෙනහිර ජනතාවගේ මානව අයිතිවාසිකම් සහ ඡන්ද අයිතිය ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි කියාය. විශේෂයෙන්ම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලය බෙදාහැරිය යුතු බවටත්, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ලංකා ආණ්ඩුව පියවර ගත යුතු බවටත් එහිදී ඉන්දීය නියෝජිතයාගේ ස්ථාවරය වී තිබිණි. ඒ හරහා දැකගන්නට ලැබෙන්නේ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ඉදිරි කාලයේදී යම් බලපෑමක් ඉන්දියාවෙන් ලංකාවට එල්ල වීමට බොහෝ ඉඩකඩක් ඇති බවකි. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම්වරයාද වන එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කොට තිබුණේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියාව ජිනීවාවලදී සුබදායී පණිවුඩයක් ලබාදී ඇති බවකි. ඉන්දියාව සහ සුමන්දිරන් එසේ කීවද පසුගිය සතියේදී යාපනයේ සංචාරයක නිරත වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කොට තිබුණේ සීමා නිර්ණය අවසන් වනතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැතැයි කියාය. නමුත් සීමා නිර්ණය අවසන් වන දිනයක් ටිල්වින් එහිදී සඳහන් කොට නොතිබීම විශේෂ සිදුවීමකි.

ගණන් ගන්නැතිව පුළුවන්ද?

ඒ අනුව මේ වනවිට ජිනීවාවල මතුව ඇති තත්ත්වයට අනුව ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වීමේ තත්ත්වයක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. පසුගිය කාලයේ පැවැති රාජපක්ෂ ආණ්ඩුව නම් ලංකාවට එරෙහිව ජිනීවාවලදී ලංකාවට එරෙහි මේ ආකාරයේ යෝජනා සම්මත වෙද්දී ‘ඕවා සම්මත වුණාට අපිට මොකෝ’ ‘ඕවායින් අපිට වැඩක් තියෙනවද?’ ‘අපි ඕවා සත පහකට ගණන් ගන්නේ නෑ…’ යනුවෙන් වගාඩම්බර පාමින් සිටියද තවදුරටත් එසේ සිටිය නොහැකි බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ මෙවර ලංකාවට එරෙහි යෝජනාව සම්මත වුවහොත් තත්ත්වය අතිශයින්ම බරපතළ වනු ඇති බවකි. ලංකාවේ යුද්ධයට සම්බන්ධ වූ සහ මානව හිමිකම් කඩකළ බවට චෝදනා එල්ලවී ඇති විශාල පිරිසකට එරෙහිව සංචාරක තහනම් පැනවෙනු ඇති බවත්, ඒ අතර ප්‍රධාන පෙළේ දේශපාලකයන් රැසක් සිටිය හැකි බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.

එමෙන්ම බි්‍රතාන්‍යය මුල්කොට ගෙන මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති නිසා යම් හෙයකින් එය සම්මත වුවහොත් මේ වනවිට ලංකාවේ ඇඟලුම් සඳහා බි්‍රතාන්‍යය විසින් ලබාදී ඇති බදු සහනයට කිසියම් ගැටලුවක් මතුවනු ඇති බවක්ද ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. ට්‍රම්ප් රජය විසින් ලංකාවේ භාණ්ඩවලට 20%ක තීරුබදු පැනවීමත් සමග ලංකාවේ සහායට ආ බි්‍රතාන්‍යය මෙරට ඇඟලුම් සඳහා පනවා තිබූ තීරුබද්ද 0% කරමින් විශාල සහනයක් ලබාදීමට පියවර ගෙන තිබිණි. නමුත් බි්‍රතාන්‍යය මුල්කොට ගෙන ඉදිරිපත් කොට ඇති මෙම යෝජනාව සම්මත වුවහොත් එය බි්‍රතාන්‍යය විසින් ලබාදුන් මෙම බදු සහනයට ඉතා අහිතකර ලෙස බලපානු ඇති බව ඔවුන්ගේ මතය වී ඇත. එමෙන්ම අදාළ යෝජනාවට ජර්මනිය ප්‍රමුඛ යුරෝපා රටවල්ද සහාය දැක්වීම නිසා යුරෝපා සංගමය මගින් ලංකාවේ ඇඟලුම්වලට ලබාදී ඇති ජී.එස්.පී. ප්ලස් බදු සහනය සඳහාද එය අහිතකර ලෙස බලපානු ඇති බවක් දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මෙහිදී පැනනගින ඊළඟ ප්‍රශ්නය වී ඇත්තේ මෙම ජිනීවා ප්‍රශ්නය ආණ්ඩුව නිසි ලෙස කළමනාකරණය කළේද යන්න පිළිබඳවය. යම් හෙයකින් මෙම යෝජනාව ජිනීවාවලදී සම්මත වුවහොත් ආණ්ඩුවට ඉදිරි කටයුතු පවත්වාගෙන යෑම සඳහා ජිනීවා හි පිහිටි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයට ශක්තිමත් නායකත්වයක් ලබාදී දැවැන්ත රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් දියත් කිරීමට සිදුවනු ඇත.

බංකොලොත් වෙයිද?

මේ සියල්ල අතරවාරයේදී මීට මාස කීපයක් තබා විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ 2028 වසරේදී යළිත් ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ අවදානමක් මතුවෙමින් ඇති බවකි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අනුව 2028 වසරේ සිට ණය ගෙවීම ආරම්භ කළ යුතු බවත්, එසේ ණය ගෙවීමට නම් මේ වර්ෂයේ සිට 5%ක අඛණ්ඩ ආර්ථික වර්ධන වේගයක් රඳවා තබාගත යුතු බවත්, නමුත් මේ වනවිට ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.5%ක මට්ටමේ පවතින බවත්, ඉදිරි වසර කීපයේ මෙය තවත් පහත වැටිය හැකි බවට දැනටම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර ඇති බවත් සජිත් එහිදී පෙන්වා දුන්නේය.

මීට අදාළ තවත් බරපතළ හෙළිදරව්වක් පසුගිය සතියේ රාජ්‍ය මූල්‍ය කමිටුවේදී සිදුවිය. ඒ, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදීය. එහිදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අනාවරණ කර සිටියේ මේ වසරේ ආර්ථික වර්ධන වේගය 3.1% දක්වා පහත වැටිය හැකි බවකි. ඊට ප්‍රතිචාර දක්වමින් හර්ෂ 5%ක් ලෙස ආර්ථික වර්ධන වේගය පුරෝකථනය කොට ඇති බව කියද්දී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් නිරුත්තරව සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව සජිත් පාර්ලිමේන්තුවේ අනාවරණ කළ ආකාරයටම 2028 වසරේදී නැවත වතාවක් රට ආර්ථික අර්බුදයකට මුහුණපෑමේ අනතුරක් පැවැතීම මේ සිදුවීම හරහා තවදුරටත් තහවුරු විය.

පසුගිය සතියේ අපද මේ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ආණ්ඩුවද මෙම අනතුර හඳුනාගෙන ඇති බවත්, එම නිසා දේශපාලන මැතිවරණ සිතියම වෙනස් කරමින් 2027 වසර අගභාගයේදී හදිසි මහ මැතිවරණයකට යෑමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවත්ය. ඊට මඟ පාදාගැනීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට යළිත් පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වා දීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යෑමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවද අපි එහිදී අනාවරණ කළෙමු. අප කළ මෙම අනාවරණයෙන් පසු පසුගිය සතියේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී එක් මාධ්‍යවේදියකු කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්සගෙන් මේ පිළිබඳ විමසීමක් කළේය. එහිදී නලින්දගේ දැනුවත්භාවය අනුව නලින්ද කියා සිටියේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ සූදානමක් දැන්ම තියා ආණ්ඩුවට නොමැති බවත්, ආර්ථිකය ස්ථාවර වූ පසු ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකළ හැකි බවත්ය. නලින්ද එදින මෙම පිළිතුර ලබාදුන්නද ජවිපෙ ආරම්භයේ සිටම සහ පසුගිය ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී රටට දුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තම පක්ෂය කටයුතු කරන බවත්, ලංකාවේ අවසන් විධායක ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක වනු ඇති බවත්ය. නමුත් නලින්දගේ ප්‍රතිචාරය හරහා මෙම පොරොන්දුව සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ සැකයක් ජනතාව අතරේ මතුවූවාට සැක නැත.

බොරු.. බොරු.. බොරු…

එමෙන්ම අප පසුගිය සතියේ තවත් අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්ව රෝහල්ගතව සිට නිදහස් වී එළියට පැමිණි වහා සුපුරුදු පරිදි සජිත්ට එරෙහිව දියත් කළ මෙහෙයුම් පිළිබඳ දීර්ඝ විස්තරයක් සාක්ෂි සහිතවම හෙළි කළේය. එහිදී අප පෙන්වා දුන්නේ සිය නිවුස් ප්ලාන්ට් කල්ලිය සහ මස්සිනා වන රුවන් විජේවර්ධනට අයත් පුවත්පත් සමූහය හරහා අසත්‍ය පුවත් පළකරමින් සජිත් අපහසුතාවට පත්කරන ඉතා සූක්ෂ්ම මාධ්‍ය මෙහෙයුමක් රනිල් විසින් දියත් කර තිබූ බවකි. අල්ලස් කොමිසම මගින් සජිත්ව අත්අඩංගුවමට ගැනීමට නියමිතව ඇති බවටත්, එජාප සමුළුවට සජබයට ආරාධනා කර ඇති බවටත් කියමින් රුවන්ට අයත් ලංකාදීප, සන්ඩේ ටයිම්ස් පුවත්පත්වල මෙසේ අසත්‍ය පුවත් පැළ කළේ එජාපය සහ සජබය අතර ගොඩනැගෙමින් පැවැති සමගින කඩාබිඳ දැමීමේ අරමුණෙන් බවද එහිදී අපි සඳහන් කළෙමු. අප එම අනාවරණය කළේ වෙන කිසිවක් නිසා නොව, රනිලුත්, රනිල්ගේ නිවුස් ප්ලාන්ට් කල්ලියත්, රනිල්ගේ පවුලට අයත් පුවත්පත් සමූහයත් සජබ-එජාප සමගිය නැතිකරන මෙහෙයුමේ පිටුපස සිටින මහමොළකරුවන් බව රටට පෙන්වීම සඳහාය. අද වනවිට අප කළ එම අනාවරණ සියල්ල සත්‍ය වී ඇත්තේ සජිත්ට අල්ලස් කොමිසමෙන් තබා කිසිදු තැනකින් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම් දීමක් කොට නොමැති නිසාය. ලංකාදීප පුවත්පත කී ආකාරයට විපක්ෂයේ ප්‍රබලයකු අත්අඩංගුවට ගෙන නොමැති නිසාය. සන්ඩේ ටයිම්ස් පුවත්පත කී ආකාරයට එජාප සමුළුවට ආරාධනා කොට නොමැති නිසාය. සිරස ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය අනාවරණ කළ පරිදි අල්ලස් කොමිසම සජිත්ගෙන් ප්‍රශ්න කිරීමට යන බවට පළකළ පුවත අසත්‍යයක් වීම නිසාය.

පුදුම ආදරයක්

කෙසේ වෙතත් රනිල්ගේ පාර්ශ්වයෙන් සජිත් ඉලක්ක කොට මේ ආකාරයට අසත්‍ය පුවත් මවමින් පහර පිට පහර එල්ල කරද්දී එය මගහරවා ගැනීමට රනිල්ගේ සමීපතමයන් වූ සාගල, රනිල්ගේ පෞද්ගලික ලේකම්වරිය වූ සැන්ඩ්‍රා සහ නිවුස් පැළකරන කල්ලියේ ප්‍රධානියකු දිගින් දිගටම සජිත්ට දුරකතන ඇමතුම් සහ වට්ස්ඇප් පණිවුඩ එවමින් රනිල්ට සජිත්ට කතාකිරීමට අවශ්‍යව ඇති නිසා වහාම රනිල්ට ඇමතුමක් ලබාදෙන ලෙස දැනුම් දීමට පියවර ගෙන තිබිණි. එසේ පැමිණි ඇතැම් වට්ස්ඇප් පණිවුඩවල දැක්වුණේ සජිත්ට වහාම අපේක්ෂිත ඇප ලබාගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයන්ට යොමුවන ලෙස රනිල් උපදෙස් ලබාදී ඇති බවකි. ඇතැමුන් ඇමතුම් ලබාදී සජිත්ට කියා සිටියේ සජිත්ව අත්අඩංගුවට ගැනීම සඳහා ඔන්න ලියුමත් අස්සන් කරලා යැයි කියාය. ඇතැමුන් එහිදී සජිත්ට පුදුම ආදරයක් ඇති බව පෙන්වමින් කතාකළ ආකාරයක්ද දැකගත හැකි විය. නමුත් සජිත් මේ සිදුවීම් පෙළෙහි මුල, මැද, අග ඒ වනවිටත් හොඳින් දැනසිටි නිසා ඒ දුරකතන ඇමතුම්වලට හෝ වට්ස්ඇප් පණිවුඩවලට හෝ ප්‍රතිචාර දැක්වීමට කටයුතු කළේ නැත. අවසානයේදී මේ ඇමතුම් වදයක් වූ නිසාම සජිත් කළේ ඒ ඇමතුම් අංක සියල්ලම බ්ලොක් කර දැමීමය. මේ හදන්නේ තමන් බියවද්දා රනිල්ලාගේ බෝට්ටුවට තමන්වද නග්ගා ගැනීමට බව සජිත් ඒ වනවිටත් වටහාගෙන සිටීම ඊට හේතුවය.

සජිත්ගේ නම කොහෙවත් නෑ

ඒ අනුව අප මෙවර තවත් තොරතුරක් ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකිරීමට සූදානම්ය. ඒ, සිරිකොත අලුත්වැඩියා කිරීම සඳහා ඉංජිනේරු සංස්ථාවේ සේවක සහාය ගත් බවට වූ පැමිණිල්ලේ කිසිදු තැනක සජිත්ගේ නම සඳහන්ව නොමැති බවය. ඒ කිසිදු චෝදනාවක් සජිත්ට එල්ල වී නොමැති බවය. එම පැමිණිල්ල ඉදිරිපත් වී ඇත්තේ එවක එජාප මහලේකම්වරයාගේ අවශ්‍යතාවට සිරිකොත අලුත්වැඩියා කිරීම සඳහා ඉංජිනේරු සංස්ථාවේ සේවක සහාය ලබාගෙන ඇති බවටය.

සජිත් දැඩි තීන්දුවක

මේ සියල්ල මැද සජිත් පසුගිය සතිය ආරම්භයේදීම විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමටත්, සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සහ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කැඳවීමටත් පියවර ගෙන තිබිණි. ඒ අනුව පසුගිය සඳුදා පක්ෂ නායක රැස්වීමට විපක්ෂයේ පක්ෂවල සියලු නියෝජිතයන් විපක්ෂ නායක කාර්යාලයට පැමිණ සිටියහ. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම කාරණාව වූයේ එජාපය නියෝජනය කරමින් වජිර සහ අකිල ඊට සහභාගි වී සිටීමය. සුපුරුදු පරිදි වජිර ඊට සහභාගි වී සිටියේ රනිල් හමුවී සතරකන් මන්ත්‍රණයක යෙදීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් මෙහිදී සාකච්ඡාවට ලක්වූයේ ආණ්ඩුවේ මර්දනයට එරෙහිව විපක්ෂයේ පොදු එකඟතාවක් ඇතිකරගන්නා ආකාරය පිළිබඳවය. සජිතුත් ඒ සම්බන්ධයෙන්ම කතා කළා විනා වෙන කිසිදු කරුණක් පිළිබඳ අවධානය යොමුකිරීමට කටයුතු කළේ නැත. ඉන් අනතුරුව සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ වූ අතර, පාර්ලිමේන්තු සතියක් වූ බැවින් පාර්ලිමේන්තුවේදී කතාකළ යුතු කරුණු කාරණා සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා විය.

ඉන් අනතුරුව සඳුදා රාත්‍රී සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි. එහිදී නැවත වතාවක් එජාපය සහ සජබය එකතු වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතුවිය. බොහෝ දෙනෙක් අදහස් පළකරමින් කියා සිටියේ ඉදිරියේදී මැතිවරණ ජයගැනීමට නම් මේ පක්ෂ දෙක එක්ව කටයුතු කළයුතු යැයි කියාය. එසේ මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණු විවිධ අදහස්වලින් අනතුරුව සජිත් එක්තරා විශේෂ ප්‍රකාශයක් එහිදී සිදුකළේය.

‘පක්ෂ දෙක එකතුවෙන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ. සන්ධානයක් හදන එක ගැනත් කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි වැඩකරන විදියක් තියෙනවා. අපේ වැඩපිළිවෙළ පැහැදිලියි. ඒ නිසා මේක ගැන එක එක්කෙනා තැන් තැන්වල කියන කතා නවත්තන්න. අපි එක හඬකින් කතා කරන්න ඕනේ. ඒක නිසා මීට පස්සේ මේ මාතෘකාව ගැන එළියේ මාධ්‍යයට කතා කරන්නේ පක්ෂ මහලේකම්තුමා විතරයි.’ යන්න එහිදී සජිත් පැහැදිලිවම සඳහන් කළ කරුණ විය.

කැඩුවොත් දොට්ට

එමෙන්ම තවත් සුවිශේෂ තීන්දුවක් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගනු ලැබිණි. ඒ, පක්ෂයේ විනය සහ පළාත් පාලන මැතිවරණයේදී ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් තෝරා පත්කරගන්නා ආකාරය සම්බන්ධයෙන්ය. ඒ අනුව පක්ෂයේ විනය ආරක්ෂා කරගැනීම සඳහා ස්ථිර විනය කමිටුවක් පත්කිරීමටත්, පක්ෂයේ විනය කඩකරන ඕනෑම අයකුට තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගැනීමටත් එහිදී තීන්දු විය. එමෙන්ම පසුගිය කාලයේදී යම් යම් මන්ත්‍රීවරුන් සිය ඥාති හිතවතුන් පළාත් පාලන මන්ත්‍රී ලැයිස්තුවෙන් සභාවලට පත්කිරීමට ගත් උත්සාහය නිසා සභාවන් රැසක ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කිරීමට නොහැකි වී තිබිණි. ඒ අනුව මෙම සාකච්ඡාවේදී සජිත් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වැඩිම මනාප ගත් ඊළඟ අපේක්ෂකයන්ට මන්ත්‍රී ධුර පිරිනැමීමට පක්ෂය මීට පෙර තීන්දු කොට තිබූ නමුත් ඇතැම් පිරිස්වල විරෝධතා හේතුවෙන් මෙම තීන්දුව තවමත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවය. එම නිසා පක්ෂය ගත් තීන්දුව ක්‍රියාත්මක කරනවාද, එසේත් නැත්නම් ඇතැම් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තීන්දු ක්‍රියාත්මක කරනවාද යන්න පිළිබඳ තමන්ට අවසන් තීන්දුවක් ලබාදෙන ලෙස සජිත් කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී සිටියේය.

ඒ අනුව වහාම ඊට පිළිතුරු ලබාදුන් හර්ෂ පළමුවෙන්ම කියා සිටියේ මේ සම්බන්ධයෙන් පක්ෂය පෙර ගත් තීන්දුවේ දිගටම රැඳී සිටිය යුතු යැයි කියාය. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන්ද එක හඬින් කියා සිටියේ එක් එක් පුද්ගලයන්ගේ වුවමනා එපාකම් මත පක්ෂ තීන්දු වෙනස් කළ නොහැකි බවත්, බහුතරය විසින් ගනු ලැබූ තීන්දුවේ දිගටම පක්ෂය සිටිය යුතු බවත්ය. ඒ අනුව මෙතෙක් පුරවා නොමැති සභාවල ලැයිස්තු මන්ත්‍රී ධුර පක්ෂය ගත් තීන්දුවලට අනුව පිරවීමට සජිත් මේ වනවිට තීන්දු කොට අවසානය.
එමෙන්ම මෙම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ගත් තීන්දුවට අනුව රැස්වීම අවසන් වී එළියට පැමිණෙද්දී කැමරා මාධ්‍යවේදීන් එන එන හැම මන්ත්‍රීවරයකුගේම මූණට මයික් එක දික්කර ප්‍රකාශ ගැනීමට උත්සාහ කළද ඒ සියලු දෙනාම කියා සිටියේ පක්ෂ මහලේකම්වරයාගෙන් අදහස් විමසා දැනගන්නා ලෙසටය. ඒ අනුව මද්දුමබණ්ඩාර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක්කළ කරුණු පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට පියවර ගත්තේය. එහිදී මද්දුමබණ්ඩාර වැඩිදුරටත් කියා සිටියේ සජබ – එජාප එකතුව සම්බන්ධයෙන් සාකච්ඡා දිගටම යන බවත්, මැතිවරණවලට තරග කරන ආකාරය සහ සන්ධානගත වීම පිළිබඳ ඉදිරියේදී තීන්දු තීරණ ගත හැකි බවත්ය.

ඒ අනුව අප මේ තීරයේ පළකළ ආකාරයටම සජිත්ව බියගන්වා තමන්ගේ කකුල් දෙක ළඟට ගෙන්වා ගැනීමට රනිල් ඇතුළු කණ්ඩායම දියත් කළ කුපාඩි මාධ්‍ය මෙහෙයුම අවසානයේදී ඔවුන්ටම පාරාවළල්ලක් වී කුජීත වී ගොස් ඇති ආකාරයක් දැකගන්නට ඇත.

මහින්ද ගියා.. චන්ද්‍රිකා…?

මාලිමා ආණ්ඩුව බලයට පැමිණෙන විට දුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ හිටපු ජනාධිපතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, නිල නිවාස, වැටුප්, විශ්‍රාම වැටුප්, ආරක්ෂාව ඉවත් කරනවා යැයි කියාය. ඔවුන් වෙනුවෙන් තවදුරටත් ජනතා බදු මුදලින් මුදල් වැයකරන්නේ නැතැයි කියාය. ඒ අනුව ආණ්ඩුව බලයට පැමිණි මුල් අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරුන් සියලු දෙනාටම නිල නිවාසවලින් ඉවත් වන ලෙස ප්‍රසිද්ධියේම දැනුම් දී සිටියේය. නමුත් මහින්ද, චන්ද්‍රිකා, මෛත්‍රී යන කිසිවකුත් ආණ්ඩුවේ ඉල්ලීමට අනුව නිල නිවාසවලින් ඉවත් වීමට කටයුතු කළේ නැත.
පසුව ආණ්ඩුව කළේ මේ සම්බන්ධයෙන් පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමය. ඒ සම්බන්ධයෙන් තොරතුරු ලද වහා රනිල්, මෛත්‍රී, චන්ද්‍රිකා, මහින්ද එක්ව ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබිණි. නමුත් අවසානයේදී පනත පාර්ලිමේන්තුවේ සම්මත වන ලකුණු පහළ වීමත් සමග මුලින්ම චන්ද්‍රිකා නිල නිවස ඉල්ලා කරන සටනෙන් ඉවත් වීමට කටයුතු කළාය. රනිල්ද මාධ්‍යවල පුවතක් පළකරමින් කියා සිටියේ වරප්‍රසාද සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නැතැයි කියාය.

ඒ අනුව අප මීට පෙර රාජ්‍ය රහස් තීරය ඔස්සේ චන්ද්‍රිකා මුලින්ම රොස්මිඩ් වලව්ව සිය සොහොයුරිය වූ සුනේත්‍රාගෙන් ඉල්ලා සිටි බවත්, පසුව එය ප්‍රතික්ෂේප වු පසු හෝර්ටන් පෙදෙසේ නිවසක් කුලියට ගැනීමට සැලසුම් කර සිටි බවත්ය. නමුත් මේ ආන්දෝලනය හමුවේ අදාළ කුලී නිවස ලබාගැනීමේ ගැටලුවක් මතුවීම නිසා අවසානයේදී චන්ද්‍රිකා තීරණය කර තිබුණේ ටොරින්ටන් නිල නිවස ආණ්ඩුවට භාරදී නැවතත් හොරගොල්ල වලව්වට යෑමටය. කෙසේ වෙතත් මීට සති තුනකට පමණ ඉහතදී තරප්පු පෙළෙන් ඇදවැටීම නිසා චන්ද්‍රිකාට උකුල් ප්‍රදේශයේ සැත්කමක් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කොට තිබිණි. ඒ අනුව මේ හේතුව මත චන්ද්‍රිකා මේ වනවිට ආණ්ඩුවට ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත්තේ තවත් මාස 2ක කාලයක් තමන්ට ටොරින්ටන් නිල නිවසේ රැඳී සිටීමට අවසර ලබා දෙන ලෙසත්, එම මාස 2ක කාලයට අවශ්‍ය කුලිය තමන් විසින් දැරීමට සූදානම් බවත්ය.

අනුර කතා කළා

කෙසේ වෙතත් මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම නිල නිවාස භාරව සිටින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී සාකච්ඡාවට ලක්වූයේ පනත සම්මත වීමෙන් පසු අදාළ නිල නිවාස යළිත් ආණ්ඩුවට පවරාගැනීමේ ක්‍රමවේදය පිළිබඳවය. විශේෂයෙන්ම රනිල්, මෛත්‍රී, චන්ද්‍රිකා නිල නිවාසවලින් පිටව යෑම ජනතාවගේ අවධානයට ලක් නොවුණත් මහින්ද නිල නිවසින් පිටව යෑම ජනතාව අතර මාතෘකාවක් වීම නිසා එම තත්ත්වයට මුහුණ දෙන ආකාරය පිළිබඳ එහිදී දීර්ඝව සාකච්ඡාවට ලක්විය. එහිදී ජනාධිපතිවරයාගේ අදහස වී තිබුණේ පනත සම්මත වුවද එකවරම ජනාධිපතිවරුන් නිල නිවාසවලින් දොට්ට දැමිය යුතු නැතැයි කියාය. පළමුව පනත සම්මත වීමෙන් අනතුරුව එම නිල නිවාස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට පවරා ගන්නා බවට ලිපියක් යොමුකළ යුතු බවත්, හිටපු ජනාධිපතිවරුන්ට නිවාසවලින් ඉවත් වීම සඳහා සාධාරණ කාලයක් ලබාදිය යුතු බවත් මෙහිදී සාකච්ඡා විය. එසේ කිරීමෙන් අනතුරුව කිසියම් ජනාධිපතිවරයකු නිල නිවසින් ඉවත් නොවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම් දෙමින් අමාත්‍යාංශය හරහා ලිපියක් යොමුකිරීමටත් එහිදී තීන්දු විය. මීට අමතරව එම සාකච්ඡාවේදී ජනාධිපතිවරුන් ඉවත් නොවන්නේ නම් ඔවුන්ගේ දරුවන්ට තාත්තලා බලාගැනීමේ අපහසුතාවක් තිබේද යන්න හුවාදක්වමින් දැවැන්ත සමාජ මාධ්‍ය මෙහෙයුමක් මාලිමාව හරහා දියත් කිරීම සම්බන්ධයෙන්ද එහිදී අදහස් හුවමාරුවක් සිදුව ඇති බව ආරංචිය.

මහින්ද බැස්සා

කෙසේ වෙතත් මෙහිදී බොහෝ දෙනා මහින්ද දිගටම නිල නිවසේ රැඳී සිටිනු ඇති බව සිතා සිටියත් එවැන්නක් සිදුවූයේ නැත. පනත පාර්ලිමේන්තුවේ සම්මත වනු ඇති බව දැනගත් වහා මහින්ද තීන්දු කළේ සිය මහගෙදර පිහිටි තංගල්ලේ කාල්ටන් නිවස වෙත යෑමටය. බොහෝ දෙනා මෙය මැදමුලන වලව්ව ලෙස හැඳින්වුවද එය වලව්වක් ලෙස ඇත්තේ නමට පමණි. එහි පහසුකම් ඇත්තේ සාමාන්‍ය මට්ටමකය. මහින්ද එම තීන්දුව සිය පවුලේ උදවියට දැනුම් දීමත් සමග යෝෂිතත්, රෝහිතත් කියා සිටියේ කොළඹ පිහිටි සිය නිවෙස්වල මහින්දටත්, ශිරන්තිටත් ජීවත් විය හැකි යැයි කියාය. නමුත් මහින්ද ඊට කැමැති වූයේ නැත. මහින්ද කියා සිටියේ අත්‍යාවශ්‍ය කටයුත්තකට කොළඹ පැමිණීමට සිදුවුවහොත් තමන් එදිනට පමණක් යෝෂිතගේ හෝ රෝහිතගේ නිවසේ රැඳී සිටිය හැකි බවත්, සිය ජීවිතයේ සැඳෑ සමය උපන් ගෙදර වූ කාල්ටන් නිවසේ ගතකිරීමට තමන් කැමැති බවත්ය. කොළඹින් නිවාස දිය හැකි බවට විවිධ පුද්ගලයන්ගෙන් විශාල ලෙස යෝජනා ඉදිරිපත් වුවත් ඒ සියල්ල කාරුණිකව ප්‍රතික්ෂේප කරමින් මහින්ද කීවේ තමන් ගමේ යනවා යැයි කියාය. ඇතැමුන් නිල නිවස ඉල්ලා සටනක් කළ යුතු බවට යෝජනා කළත්, මහින්ද ඔවුන්ටද කියා සිටියේ එම නීතිය සම්මත වූ පසුව තමන් මොහොතක් වත් එහි ගතනොකරන බවත්, නීතියට හිස නමමින් තමන් නිල නිවසින් පිටව යන බවත්ය.
ඒ අනුව මේ වනවිට ආණ්ඩුව පැත්තෙන් මෙම නිල නිවාස අත්පත් කරගැනීමේ දෙවැනි මෙහෙයුම දියත් කොට ඇති බවක් ආරංචිය. ඉදිරි දින කීපය ඇතුළත සියලුම හිටපු ජනාධිපතිවරුන්ට තවත් ලිපියක් යොමුකිරීමටත්, එහි හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව, ඔවුන්ගේ නවාතැන් පහසුකම්, නිවාස කුලිය, ඔවුන්ට ලබාදෙන වාහන ප්‍රමාණය ආදිය එම ලිපිය මගින් දැනුම් දීමටත් සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.

හේමා තමයි මුලින් දුන්නේ

කෙසේ වෙතත් නිල නිවාස සම්බන්ධයෙන් කතා කිරීමේදී කවුරුත් නොදන්නා තවත් විශේෂ කරුණක්ද මෙවර රාජ්‍ය රහස් තීරයෙන් වාර්තා කිරීමට අප සූදානම්ය. ඒ, හිටපු ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්ට හිමිව ඇති වරප්‍රසාද සම්බන්ධයෙන්ය. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනයෙන් පසු පවත්නා නීතියට අනුව සියලු වරප්‍රසාද හේමා ප්‍රේමදාස මැතිනියට හිමිවිය. ඒ අනුව නිල නිවස, ආරක්ෂාව, විශ්‍රාම වැටුපක් ප්‍රේමදාස මැතිනියට ලැබිණි. නමුත් කිසිවකු නොදන්නා කාරණාව නම් 2019 වසරේ සිට හේමා මැතිනිය මේ කිසිවක් භාවිත නොකරන බවය. එනම් ඇය 2019 වසරේදී තමන්ට හිමි නිල නිවස ඇතුළු සියල්ලම එවක රජයට භාරදීමට පියවර ගත්තාය.

ආණ්ඩුව ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීමේ පනත ගෙන ඒමට සූදානම් වෙද්දී රනිල්, මහින්ද, මෛත්‍රී ඊට එරෙහිව කැරැලි ගැසීම සඳහා හේමා මැතිනියවද එක්කර ගැනීමට උත්සාහ කළහ. ඒ අනුව අදාළ ලිපියට අස්සන් තබන ලෙසට පණිවුඩ එවූ සියලු දෙනාටම හේමා මැතිනිය කළේ ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම වත්මන් ආණ්ඩුවේ පොරොන්දුවක් බවත්, ඊට තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බවත්ය. එම නිසා තමන් කිසිදු ලිපියකට අස්සන් නොකරන බව හේමා මැතිනිය ඔවුන්ට දැනුම් දී සිටියාය. චන්ද්‍රිකාත්, රනිලුත් වරප්‍රසාද ඉල්ලන සටනින් ඉවත් වීමට බලපෑ ප්‍රධාන හේතුව හේමා මැතිනියගෙන් ලැබුණු මේ පිළිතුරය. නමුත් අද වනතුරු හේමා මැතිනිය මේ සම්බන්ධයෙන් වචනයක් හෝ එළියේ ප්‍රකාශ කොට නැත. අවම වශයෙන් සජිත් ප්‍රසිද්ධ දේශපාලනයේ සිටියද ඔහු හෝ මේ ගැන වචනයක්වත් එළියේ කතාකොට නැත. අප මෙය රාජ්‍ය රහස් තීරය ඔස්සේ වාර්තා කළේ එහි ක්‍රෙඩිට් එක හේමා මැතිනියට හිමිවිය යුතුම නිසාය.

කපිල් පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

දුන්නොත් ඉවරයි! Sri Lanka Latest News

Next Post

ගේම් ගගහා හැරමිටියෙන් යනකම් නායකත්වය අල්ලන් හිටියෙ නෑ! ඡන්දය පැරැදුණාට පස්සේ පක්ෂය බෙදෙන්න ඉඩ දුන්නෙත් නෑ! තනතුරයි පක්ෂ නායකත්වයයි දෙකම අතහැරපු ජපන් අගමැතිවරයා! Sri Lanka Latest News

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.