මව්රට කරපු හංගපු පාස්කු වාර්තා දෙක!
සිලින්ඩරෙන් පාර්ලිමේන්තු එන්නේ රවී!
පවර් පවර් එක පෙන්වයි!
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පසුගිය සති කිහිපය පුරාම රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් විශාල පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. මෙහිදී ජනාධිපතිවරයා හමුවූ රාජ්‍යතාන්ත්‍රික චරිත අතරේ සිටි ප්‍රධාන චරිතයක් වූයේ යූ.එස්. ඒඩ් ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන සමන්තා පවර් මහත්මියය. සමන්තා පවර් යනු ලංකාවේ ජනතාවට නුහුරු නුපුරුදු නමක් නොවේ. ඇමෙරිකානු රජයේ ඉහළ නිලධාරියකු ලෙස කාලයක් පුරා කටයුතු කළ ඇය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සමීපතම හිතවතියකද වූවාය. එම සමීපතාව කෙතරම්ද කියනවා නම් වරෙක මංගලගේ පොතක් එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ සමන්තා පවර්ය. එමෙන්ම ඇය එකල සිටම ලංකාවට උදව් කිරීමටද කටයුතු කර තිබුණි. ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පසු ජනාධිපති ධුරය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා වරෙක කියා සිටියේ සමන්තා පවර්ගේ සහාය නොමැති නම් ලංකාවට පොහොර ටිකවත් ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇති බවය. එම පොහොර ප්‍රශ්නය විසඳුවේ සමන්තා පවර් බව රනිල් මෙහිදී කියා සිටියේය.Sri Lanka Latest News
ඒ ආකාරයටම අනුර සහ සමන්තා පවර් අතර පැවැති සාකච්ඡාවද ඉතා තීරණාත්මක එකක් විය. අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ සූම් තාක්ෂණය ඔස්සේ පැයකට ආසන්න කාලයක් එම සාකච්ඡාව පැවැත්වී අති බවත්, සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයාද දැඩි සූදානමකින් සිටි බවත්ය.
ලිස්ට් එක දෙන්න
මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඍජුවම සමන්තා පවර්ගෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ මූල්‍ය සහාය ආණ්ඩුවට තවදුරටත් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය. එහිදී ඉකුත් ආණ්ඩු සමයේදී රට තුළ සිදුවූ මානව හිමිකම් කඩවීමේ සිදුවීම් ඇතුළු යම් යම් ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ සමන්තා පවර්, ජනාධිපතිවරයාගෙන් පෙරළා විමසා සිටියේ ආණ්ඩුවට සිය සංවිධානයෙන් අවශ්‍ය උදව් උපකාර මොනවාදැයි කියාය. ඒවා ප්‍රමුඛතාව අනුව ලැයිස්තුගත කොට තමන්ට ලබාදෙන ලෙසද සමන්තා පවර් මෙහිදී ජනාධිපතිවරයාට දැනුම් දී සිටියාය.
පවර් විසින් දැනුම් දෙනු ලැබූ එම ප්‍රකාශයට අනුව මේ දිනවල ජනාධිපති ලේකම් කාර්යාලයත්, මුදල් අමාත්‍යාංශයත්, විදේශ අමාත්‍යාංශයත් එක්ව රටට අවශ්‍ය ආධාර උපකාර ඇතුළත් ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කරමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
විජිතගේ තානාපති හමුව
මේ අතර, කිසිදු මාධ්‍යයකින් මෙතෙක් වාර්තා නොකළ තවත් විශේෂ සාකච්ඡාවක් පිළිබඳවද මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් රටට දැනුම් දීමට අප සූදානම්ය. ඒ, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ මෙරට සියලු තානාපතිවරුන් අතර සිදුවූ විශේෂ හමුවක් පිළිබඳවය. කිසිදු ප්‍රසිද්ධියකින් තොරව පසුගිය 14 වැනි සඳුදා දින පෙරවරු 10.30ට මෙම සාකච්ඡාව පැවැත්වීමට විජිත කටයුතු කොට තිබිණි. ආණ්ඩුව පැත්තෙන් මෙම විශේෂ සාකච්ඡාව කැඳවා තිබුණේම දැනට පවතින වාතාවරණය හමුවේ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය නොමැතිව කිසිදු කටයුත්තක් සිදුකළ නොහැකි බවට ආණ්ඩුවට වැටහී ගොස් තිබූ නිසාය. ජනාධිපතිවරයා වෙන වෙනම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වුවද සියලු තානාපතිවරුන් කැඳවා ආණ්ඩුව සාකච්ඡා පැවැත්වීමට කටයුතු කළ පළමු අවස්ථාව මෙය විය.
මෙම සාකච්ඡාවේදී ආණ්ඩුව ඉතාම ප්‍රවේශමෙන් සිය විදේශ ප්‍රතිපත්තිය එළියට දැමීමට පියවර ගත්තේය. මෙහිදී සියලු තානාපති නිලධාරීන් බලා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ගනුදෙනු කරන ප්‍රතිපත්තිය කුමක්ද යන්න දැනගැනීමටය. මෙහිදී පැහැදිලිවම විජිත ඔවුන්ට කියා සිටියේ පසුගිය දිනවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලංකාවට පැමිණ ආණ්ඩුව සමග සාකච්ඡා කළ බවත්, එහිදී ඉකුත් ආණ්ඩුව විසින් අස්සන් තැබූ මූල්‍ය අරමුදලට අදාළ ගිවිසුම ඒ අයුරින්ම ඉදිරියට පවත්වාගෙන යාමට ආණ්ඩුව කටයුතු කරන බවත්ය. මීට අමතරව මූල්‍ය අරමුදලේ තුන්වැනි වාරිකය ලබාගැනීම පිළිබඳවත්, මූල්‍ය අරමුදල මගින් යෝජනා කොට ඇති ප්‍රතිසංස්කරණ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළකොට ඇති බවත් මෙහිදී විජිත පිරිසට පැහැදිලි කර සිටියේය. එමෙන්ම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව කී විජිත, තුන්වැනි වාරිකය ලබාදීම සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවත්, එය ලංකාවේ ආර්ථිකයට විශාල සහායක් බවත් මෙහිදී කියා සිටියේය.
ජිනීවා ප්‍රශ්නය
ඉන් අනතුරුව සාකච්ඡාවට ලක්වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මගින් ලංකාවට එරෙහිව සම්මත කොට ඇති යෝජනාව පිළිබඳවය. මෙහිදී ජාත්‍යන්තර ප්‍රජාවේ අදහස වී තිබුණේ වත්මන් ආණ්ඩුවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සම්බන්ධයෙන් පැවැති ආණ්ඩුව දැරූ ස්ථාවරයේම රැඳී සිටින බවකි. කෙසේ වෙතත් මෙහිදී විජිත පෙන්වා දුන්නේ සුපුරුදු පරිදි මෙවරත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවත්, එම යෝජනාවට ආණ්ඩුව විරෝධය පළකළ බවත්ය.
කෙසේ වෙතත් මෙහිදී ආණ්ඩුවේ ස්ථාවරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට දැනුම් දීමට පියවර ගත් බවද විජිත තානාපතිවරුන්ට දැනුම් දී සිටියේය. ඒ අනුව, ජාත්‍යන්තර ප්‍රජාවට විශ්වාස කළ හැකි ඉහළ විශ්වසනීය බවකින් යුත් ස්වාධීන, දේශීය යාන්ත්‍රණයක් හරහා ලංකාවට එල්ල වී අති මානව හිමිකම් චෝදනා විමර්ශන කිරීමටත්, සංහිඳියාව සඳහා වූ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී ආණ්ඩුව එකඟතාව පළකළ බව විජිත තානාපතිවරුන්ට දැනුම් දීමට පියවර ගත්තේය. ඒ සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කොට ඇති බවද මෙහිදී විජිත පිරිසට පෙන්වා දුන්නේය. එමෙන්ම අදාළ යෝජනාවේ ඇතුළත් කරුණු පිළිබඳ ආණ්ඩුව කටයුතු කිරීමට සූදානම් බව එහිදී කී විජිත බාහිර යාන්ත්‍රණයක් හරහා මානව හිමිකම් ගැටලු විසඳීමට කටයුතු කිරීමට සිය විරෝධය පළකරන බවද කියා සිටියේය.
ඒ අනුව, විජිත මෙම සාකච්ඡාවේදී බරපතළ පණිවුඩයක් මෙරට තානාපතිවරුන්ට ලබාදීමට කටයුතු කොට තිබිණි. එම පණිවුඩය වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළ ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා දේශීය යාන්ත්‍රණයක් සකස් කිරීමට ආණ්ඩුව සූදානම් යැයි කියාය. බොහෝ දුරට ආණ්ඩුව මෙම ස්ථාවරය රටට මේ දක්වා දැනුම් දීමට කටයුතු කොට නැත්තේ තවත් සති තුනකින් මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබීම නිසා විය යුතුය.
බි්‍රක්ස් අර්බූදය
ආණ්ඩුව පසුගිය සතියේ මුහුණ දුන් මීළඟ ගැටලුව වූයේ බි්‍රක්ස් සමුළුවය. මෙවර රුසියාවේ පැවැති බි්‍රක්ස් සමුළුව සඳහා සහභාගි වන ලෙසට නව ආණ්ඩුවටද ආරාධනා ලැබී තිබුණද ආණ්ඩුව ඊට සහභාගි වීමෙන් වැළකී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී බොහෝ පාර්ශ්ව චෝදනා මුඛයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකානු පාර්ශ්වයෙන් එල්ල වූ බලපෑම හේතුකොට ගෙන ආණ්ඩුව මෙසේ රුසියාවේ පැවැති බි්‍රක්ස් සමුළුවට සහභාගි වීමෙන් වැළකී සිටියා යැයි කියාය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන්ද විජිත තානාපති ප්‍රජාව හමුවේ යම් පැහැදිලි කිරීමක් සිදුකිරීමට පියවර ගත්තේය. මෙහිදී බි්‍රක්ස් සමුළුව ඉහළින්ම වර්ණනා කරමින් අදහස් දැක්වූ විජිත ජනාධිපතිවරයාට හෝ තමන්ට ඊට සහභාගි වීමට නොහැකි වූයේ මහ මැතිවරණය කෙරෙහි පක්ෂයේ අවධානය මේ වනවිට දැඩිව යොමුව ඇති නිසා බව සඳහන් කළේය. එමෙන්ම බි්‍රක්ස් සාමාජිකත්වය ලබාගැනීම සඳහා දැනටමත් අයැදුම් කර ඇති බවද එහිදී විජිත පිරිසට පෙන්වා දුන්නේය.
විජිත කරපු කතාව
ඒ කොයිහැටි වෙතත් මේ වනවිට වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර දේශපාලන භූමිය තුළ බොහෝ කතාබහට ලක්ව ඇති මාතෘවක් බවට පත්ව ඇති ආකාරයක් පසුගිය සති තුන තූළ දැකගන්නට ලැබිණි. විජිත හදිසියේම සියලු තානාපතිවරුන් කැඳවා ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය ඔවුන්ට පැහැදිලි කිරීමට පියවර ගෙන තිබුණේ ඒ නිසා විය යුතුය. එහිදී විජිත කළ සම්පූර්ණ කතාව මෙසේය.
‘ඔබ සැමට සුබ උදෑසනක්. මම සහ කොළඹ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව අතර මෙම පළමු අන්තර් ක්‍රියාකාරකමේදී ඔබ හැම හමුවීමට ලැබීම ගැන මම සතුටු වෙමි. ඔබ සැවොම නිරීක්ෂණය කර ඇති පරිදි 2024 සැප්තැම්බර් 23 වැනි දින විනිවිදභාවයෙන් හා සාමකාමී මැතිවරණ ක්‍රියාවලියකින් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ලදී. එසේම සැප්තැම්බර් 24 වැනි දින අදාළ ව්‍යවස්ථාපිත ක්‍රියාපටිපාටිවලට අනුව ජනාධිපතිතුමා විසින් එවක පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර, පාර්ලිමේන්තු මැතිවරණය 2024 නොවැම්බර් 14 දින පැවැත්වීමටද නියමිතය. ඒ නිසා අප තවමත් පසුකරන්නේ සංක්‍රාන්ති මැතිවරණ සමයක්…’
‘කෙසේ වෙතත් මහ මැතිවරණය අවසන් වනතුරු ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍යවරුන් තිදෙනකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් විසින් අමාත්‍යාංශ 15ක් අධීක්ෂණය කරනවා. මම විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතරතුර තවත් අමාත්‍යාංශ 5ක්ද මගේ අධීක්ෂණය යටතේ තිබෙනවා. මෙම වටපිටාවේදී ඔබගෙන් බොහෝ දෙනකු මට තනි තනිව හමුවීමට නොහැකි වීම ගැන සමාව අයැද සිටිනවා. එසේ වුවද පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව අප වඩාත් සමීප වීම සඳහා සම්බන්ධ වීමට අද ඔබව දැනහඳුනා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතරම ජනාධිපතිතුමා රාජ්‍යතාන්ත්‍රික බළකාය හමුවීමට ප්‍රමුඛත්වය ගෙන ඇති අතර, එම සභාවන් තවම සිදුවෙමින් පවතිනවා. ඒ අනුව ඔබ බොහෝ දෙනකු ජනාධිපතිතුමා හමුවන්නට ඇතැයිද විශ්වාස කරනවා. නව රජයේ මූලික සැලසුම් පිළිබඳ ඔබ දැනුවත් කිරීමට සහ යම් අන්තර් ක්‍රියා සිදුකිරීමට මෙම රැස්වීම මට අවස්ථාවක් ලබාදෙනු ඇතැයි මා විශ්වාස කරනවා. පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බරයේ අවසන් වූ පසුව නව රජයට එහි ඉදිරි මාවත ක්‍රියාත්මක කිරීමට හැකි වෙනවා. ද්විපාර්ශ්වික කටයුතු සම්බන්ධයෙන් එම අදියරේදී ඔබ සෑම කෙනකු සමගම වඩාත් පුළුල් ලෙස සම්බන්ධ වීමට අපි බලාපොරොත්තු වෙනවා…’
‘ගරු රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවෙන් අවසරයි, මෑතකදී අවසන් වූ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ ජනතාව ‘වෙනස’ සඳහා ජන වරමක් ලබාදුන්නා. එය නව සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් තුළ අපගේ සියලු පුරවැසියන් එකට එක් කරන වෙනසක්. ජනාධිපතිවරයා ජාතිය අමතා කළ සිය මංගල දේශනයේදී සඳහන් කළ පරිදි මෙම වෙනසට පියවර රැසක් ඇතුළත් වන අතර, වඩාත්ම වැදගත් සාධකයක් වන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වය සහ විශ්වාසය යන්න වර්ධනය කිරීමයි. මේ අතරම සුබසාධනයට ප්‍රමුඛත්වය දෙමින් ජනතාවගේ දුෂ්කරතා මගහරවා ගැනීමයි. ඔබ සැවොම දන්නා පරිදි මේ මස මුලදී සංචාරක ෂඵත් (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) නියෝජිත කණ්ඩායම සමග අපි ඵලදායී ලෙස සාකච්ඡා පැවැත්වූයෙමු. විස්තීරණ අරමුදලේ (ෑත්‍ත්) සහ අදාළ ප්‍රතිසංස්කරණ වැඩසටහනට අනුව මීළඟ අදියරේදී ඉදිරියටත් අපි එම කණ්ඩායම සමග සමීපව කටයුතු කරන්නෙමු. මෙම මස මුලදී නිල ණයකරුවන්ගේ කමිටුව :ධක්‍ක්* සහ ෂඵත් විසින් ස්වෛරී බැඳුම්කර හිමියන් සමග ඇතිකර ගත් ගිවිසුම් පිළිවෙළින්, ප්‍රතිකර්මවල සැසඳීමේ අවශ්‍යතා සහ ණය තිරසර ඉලක්කවලට අනුකූල වන බව තහවුරු කර ඇත. මෙම තත්ත්වය සරල වචනවලින් අදහස් කළ හැක්කේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉතා ආසන්නව අවසන් කළ හැකිවන අතර, රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ තුන්වැනි සමාලෝචනය කරා ඉදිරියට යෑමට හැකිවන බවයි. මෙය ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරමින් සහ තිරසාර ආර්ථික ප්‍රකෘතිය සහ වර්ධනය සඳහා පදනම ශක්තිමත් කිරීම සිදුකරනු ලබයි.
‘තවත් ධනාත්මක පියවරක් ලෙස ලෝක බැංකුව සමග ඩොලර් මිලියන 200ක ආධාර යටතේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම :ෘඡධ* පිළිබඳ ගිවිසුමටද අස්සන් තැබීය. ආර්ථික පාලනය, වර්ධනය වැඩිදියුණු කිරීම, දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි. වැඩසටහන සතුටුදායක ලෙස සිදුවෙමින් පවතින බැවින් මෙය කොටස් දෙකකින් යුත් මාලාවේ බෙදාහරින ලද දෙවැනි මෙහෙයුම විය. මෙම ස්ථායීකරණ ක්‍රියාමාර්ග සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සමගාමීව යන බව සහතික කිරීමට රජය උනන්දු වන අතර, ඔවුන් මුහුණ දෙන අධික ආර්ථික බර අවම කිරීම සඳහා ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇත. අපගේ පුද්ගලික අංශයේ සහ ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය ඇතිව, ඒ සමගම වර්ධනයට සහ ආයෝජනයට තුඩුදෙන ආර්ථික වර්ධනය සැබැවින්ම ඇතුළත් වන බව සහතික කිරීමටද අප කැපවී සිටිමු.’
‘මේ රජයේ තවත් ප්‍රධාන අරමුණක් වන්නේ ජාති, ආගම්, පන්ති ආදී විවිධ භේද මත භේදභින්න වූ යුගය නිමාකර විවිධත්වයට ගරුකරන ජාතියක් ගොඩනැගීමයි. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාමය, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ගෙන ඒමට අපි සූදානම්. රජය විසින් අතීත ගැටලු විසඳීම ඇතුළු සියලු පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කරනු ඇතිය. මේ සෑම අංශයකින්ම ඔබ නියෝජනය කරන රටවලින් සහ සංවිධානවලින් රජයට ලැබෙන සහයෝගය රජය දිරිමත් කරනු ලබනවා. හවුල්කරුවන් ලෙස ඔබ සියලු දෙනා සමග සමීපව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වන අතර, අපගේ සියලු පුරවැසියන්ගේ තිරසාර ආර්ථික වර්ධනය සහ සමාජ යහපැවැත්ම ඉදිරියට ගෙන යෑම සඳහා අපගේ උත්සාහයන් වෙනුවෙන් ඔබේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරමු. මේ අතර විදේශ කටයුතු පෙරමුණේ කරුණු ගණනාවක් සම්බන්ධයෙන්ද මම මෑත සතිවල ක්‍රියාකාරීව සිටියෙමි…’
‘ශ්‍රී ලංකාව ඊඍෂක්‍ී සමුළුවේ සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය සඳහා අයැදුම් කිරීමට තීරණය කර ඇත. මම දැනටමත් ඊඍෂක්‍ී සාමාජික රටවල සහාය පතා සගයන් වෙත ලිපිය යොමුකර ඇත. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ රාමුව තුළදී සහයෝගීතා සාමය සහ සංවර්ධනය සඳහා අභිලාෂය සාක්ෂාත් කරගැනීම සඳහා ඊඍෂක්‍ී ඵලදායී හවුල්කාරීත්වයක් ලෙස සලකමු….’
‘2024 ඔක්තෝබර් 09 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රජය ප්‍රකාශයක් සිදුකළා. මෙහිදී ස්වාධීන දේශීය යාන්ත්‍රණයක් සඳහා ක්‍රියාවලීන් ඇතිකර ගැනීමට අපගේ කැපවීම අපි ඉස්මතු කළා. කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාව අප විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවද කවුන්සිලය සහ එහි නිත්‍ය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් සමග අපි දිගටම නිර්මාණශීලීව කටයුතු කරන්නෙමු. ඔබ හොඳින් දන්නා පරිදි මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් බාහිර යාන්ත්‍රණයක් ස්ථාපිත කරන යෝජනාවට ශ්‍රී ලංකාව විරුද්ධ වේ…’
‘ඉන්දීය සාගර කලාපීය සංගමයේ :ෂධඍ්* ශ්‍රී ලංකාවේ සභාපතිත්වය මත ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණ හේතුවෙන් ෂධඍ් අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම ලබන වසර දක්වා කල්දැමීමට අපට සිදුවන බව ඔබට දන්වා සිටිමු. ෂධඍ් සාමාජිකයන් සහ ලේකම් කාර්යාලය සමග සාකච්ඡා කර කාල රාමුව තීරණය කිරීමට නියමිතය…’
‘ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බළකායේ :ඹභෂත්‍ෂඛ* සේවය කළ අපගේ ශ්‍රී ලාංකික සාමසාධක භටයන් දෙදෙනකුට තුවාල සිදුකළ ප්‍රහාර ගැන අපි දැඩි ලෙස කනගාටු වෙමු. බොහෝ අභියෝගාත්මකව එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල කිහිපයක සේවය කරන අපගේ සාමසාධක භටයන් ගැන අප ආඩම්බර වන අතරම, එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයට සහ එක්සත් ජාතීන්ගේ පරිශ්‍රයට ගරු කිරීමට මෙන්ම සියලු පාර්ශ්වයන්ගේ වගකීමට ගරු කිරීමද වැදගත් වේ…’
‘මේ මස මුලදී 2024 ඔක්තෝබර් 04 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම ඉහළ පෙළේ නිල අමුත්තා ලෙස ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමානියම් ජයිශංකර් මහතා පිළිගැනීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙනවා. ඔහු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ මා සමගද සුහද සහ සාධනීය සාකච්ඡා පැවැත්වීය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පහසු දිනයක ඉන්දීය සංචාරයක් සඳහා ආරාධනා කිරීමද ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් සිදුකිරීම සතුටට කරුණක්…’
‘සදාචාරාත්මක පාලනය, දූෂණය පිටුදැකීම, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව, නීතියේ ආධිපත්‍යය සහ වගකීම සහ අඛණ්ඩතාව මූර්තිමත් කරන නව දේශපාලන සංස්කෘතියක් පෝෂණය කිරීම පිළිබඳ ජනාධිපතිතුමා වැඩි අවධානයක් යොමුකර සිටිනවා. ආර්ථික සාර්ථකත්වය රඳාපවතින්නේ මෙම ආධාරක කුලුනු මත බව අප විශ්වාස කරනවා. අල්ලස සහ දූෂණය කිසිසේත්ම නොඉවසන බවට අප විසින් මෙතෙක් සිදුකළ කැපවීම්වලට අනුකූලව අප ඔප්පු කර තිබෙනවා. අල්ලස සහ දූෂණයට අදාළ ඇතැම් ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් අප දැනටමත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අල්ලස් කොමිසම මේ වනවිටත් සිදුව ඇතැයි කියන දූෂණ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගනිමින් සිටිනවා. අල්ලස සහ දූෂණයට අදාළව ගරු අධිකරණයද ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. අපගේ රජය විසින් අතීත ගැටලු විසඳීම ඇතුළුව සියලු පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමටද බැඳී සිටිනවා. අතීතයේ සිට විභාග වෙමින් පවතින පැහැදිලිව හඳුනාගත් වගවීමේ සිද්ධීන් ගණනාවක්ම සම්බන්ධයෙන් විමර්ශන දෙගුණ කෙරෙන බැව් අදාළ විමර්ශන නිලධාරීන් විසින් දැනටමත් නිවේදනය කර තිබෙනවා. මෙය පැහැදිලි ප්‍රවණතාවක්…’ යැයි විජිත එහිදී කියා සිටියේය.
මව්රට හෙළිදරව්වෙන් කැළඹෙයි
මීට සති 3කට ඉහතදී ‘මව්රට’ මුල් පුවත මගින් අතිවිශේෂ හෙළිදරව්වක් සිදුකරමින් අප අනාවරණ කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ පාස්කු ප්‍රහාරයේදී ලැබුණු යම් යම් තොරතුරු සම්බන්ධයෙන් අදාළ වගකිව යුතු අංශ නිවැරැදිව කටයුතු කළේදැයි සොයාබැලීම සඳහා කමිටු දෙකක් පත්කළ බවත්, එම කමිටු දෙකේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබාදී තිබුණද ඒවා ප්‍රසිද්ධියට පත්කිරීමෙන් වැළකී සිටීමට එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බවත්ය. අප විසින් 2024.10.06 වැනි ඉරිදා ‘මව්රට’ පුවත්පතේ මුල් පුවත මගින් පළකළ පුවත මෙසේය.
පාස්කු ප්‍රහාරය ගැන චැනල් ෆෝ එක කරපු හෙළිදරව්ව ගැන හොයන්න රනිල් කමිටුවක් දැම්මා
තොරතුරු ලැබී තිබියදීත් බුද්ධි අංශ ක්‍රියාත්මක නොවුණු එක ගැන හොයන්න තවත් කමිටුවක් දැම්මා
රනිල් පත්කරපු ඒ කමිටු දෙකේම වාර්තා දැන් බාරදීලා
මේ වාර්තා දෙකම හැංගුවේ ඇයි? වාර්තා දෙක වහාම රටට හෙළිදරව් කරන්න
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වූ පසු විශේෂ කමිටු දෙකක් පත් කොට විමර්ශන සිදු කර ඊට අදාළ අවසන් වාර්තා ලබා දී මේ වනවිට කාලයක් ගත වුවද මෙතෙක් එම වාර්තා හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ තත්ත්වයක් මතුව තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පළමු කමිටුව පත්කළේ 2023 සැප්තැම්බර් 11 වැනි දිනය.
ඒ, චැනල් ෆෝ නාලිකාව මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ අනාවරණය පිළිබද සොයාබැලීම සදහාය.
එම කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කරනු ලැබුවේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාය. විශ්‍රාමික ගුවන් හමුදාපති ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතීඥ හර්ෂ ඒ.ජේ. සෝසා මහතා එහි කමිටු සාමාජිකයෝ වූහ.
එම කමිටුවේ අවසන් වාර්තාව වික්‍රමසිංහ මහතා වෙත බාර දෙනු ලැබුවේ පසුගිය ජුනි මස 25 වැනි දිනය.
දෙවැනි කමිටුව වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබූයේ ප්‍රහාරයක් එල්ල වනු ඇති බවට බුද්ධි තොරතුරු ලබා දී තිබියදීත් බුද්ධි අංශ විසින් එය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ සොයා බැලීම සඳහාය.
2024 ජුනි 12 වැනි දින පත්කළ එම කමිටුවේ ප්‍රධානියා වූයේ විශ්‍රාමික විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් මහතාය. එම වාර්තාව බාර දෙනු ලැබූවේ 2024 සැප්තැම්බර් 14 වැනි දිනය.
කෙසේ වෙතත් මෙම වාර්තා දෙකම මේ දක්වා රටට හෙළි නොකිරීම සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නාර්ථයක් මේ වනවිට මතුව තිබේ.
දැනට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම වාර්තා දෙක මගින්ම ආන්දෝලනාත්මක තොරතුරු රැසක් හෙළිදරව් කර ඇති බවකි.
එමනිසා වහාම මෙම වාර්තා දෙක ප්‍රසිද්ධ කළ යුතු බව බොහෝ දෙනාගේ අදහසය.
උදය පත්තු කරයි
අප විසින් මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව සිදුකිරීමත් සමග සමාජය ඇතුළේ ඒ සම්බන්ධයෙන් යම් කතිකාවක් මතුවූ ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම විවිධ පාර්ශ්ව ආණ්ඩුව වගකිවයුත්තන්ගෙන් ඉල්ලීමක් කරමින් කියා තිබුණේ මෙම වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට පියවර ගන්නැයි කියාය. නමුත් එම ඉල්ලීම්වලට වැඩි ප්‍රසිද්ධියක් නොලැබුණත් හිටපු අමාත්‍යවරයකු වන උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් හේතුකොට ගෙන මේ සම්බන්ධයෙන් සමාජය ඇතුළේ බරපතළ කතිකාවක් නිර්මාණය වූ ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී ගම්මන්පිල කියා සිටියේ ආණ්ඩුව විසින් සඟවාගෙන සිටින අදාළ වාර්තා දෙක තමන්ට ලැබුණු බවත්, දින 7ක් ඇතුළත ආණ්ඩුව මෙම වාර්තා දෙක ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම්, තමන් එය ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවත්ය.
ගම්මන්පිලගේ මෙම ප්‍රකාශය දෙබරයට ගලක් ගසුවාක් මෙන් ආණ්ඩුව ඇතුළේ පවා යම් කැලඹීමක් ඇතිකළ එකක් වූ අතර, එය හොඳින්ම දැකගන්නට ලැබුණේ ඊට පසු දින පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත දුන් පිළිතුරත් සමගය. මෙහිදී විජිත කියා සිටියේ අදාළ වාර්තා නියමිත වේලාවට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවත්, එම වාර්තා දෙක ගම්මන්පිලට ලැබුණු ආකාරය ප්‍රශ්නසහගත බවත්ය. ගම්මන්පිල මෙම රහසිගත වාර්තා තමන්ට ලැබුණු ආකාරය පිළිබඳ රටට අනාවරණ කළ යුතු බව කී විජිත, එසේ නොමැති නම් රාජ්‍ය රහස් පනත යටතේ කටයුතු කිරීමට සිදුවන බවට යම් අනතුරු ඇඟවීමක්ද සිදුකළේය.
විජිතගේ අභියෝගය
එමෙන්ම අදාළ වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීමට තමන් ගම්මන්පිලට දින 3ක කාලයක් ලබාදෙන බව කියමින් මෙහිදී විජිත ගම්මන්පිලට යම් අභියෝගයක්ද එල්ල කළේය. ඒ අනුව බොහෝ දෙනා සිතා සිටියේ විජිතගේ මෙම අනතුරු ඇඟවීමෙන් පසු ගම්මන්පිල සද්ද වසා පසෙකට වනු ඇතැයි කියාය. නමුත් සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. නිහඬ වෙනවා වෙනුවට ගම්මන්පිල කළේ පැය 24ක් යෑමටත් පෙරාතුව තවත් මාධ්‍ය හමුවක් පවත්වා විජිතගේ කතාවට ප්‍රතිචාර දැක්වීමට පියවර ගැනීමය. එසේ ප්‍රතිචාර දක්වමින් ගම්මන්පිල කියා සිටියේ ආණ්ඩුව මෙම වාර්තාව රටට හෙළිදරව් නොකිරීම බරපතළ ගැටලුවක් බවත්, දින 3ක් ඇතුළත ආණ්ඩුව මෙම වාර්තාව රටට ඉදිරිපත් කිරීමට කටයුතු නොකරන්නේ නම්, තමන් එය රටට හෙළිදරව් කිරීමට සූදානම් බවත්ය. තමන් කළ ප්‍රකාශය හේතුකොට ගෙන තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා ආණ්ඩුවේ ඉහළ පෙළ බලධාරීන් සාකච්ඡා කොට ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි මෙහිදී කී ගම්මන්පිල තමන් ඒ කිසිවකට බිය නොවන බවද අවධාරණය කර සිටියේය.
ඒ අනුව එකක් හොඳටම පැහැදිලිය. ඒ, ගම්මන්පිල දැක්වූ ප්‍රතිචාරයට අනුව නියත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද ප්‍රසිද්ධියට පත් නොකොට සඟවාගෙන සිටි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වාර්තා දෙකක් මේ සති අන්තයේ රටට හෙළිදරව් වීමට නියමිතව ඇති බවය.
ආණ්ඩුවට යළි අභියෝගයක්
පසුගිය සතියේදී කන්කසන්තුරේ ප්‍රදේශයේ ජනතාව මහ පාරට බැස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විශාල උද්ඝෝෂණයක නිරතව සිටියහ. ඒ, වෙන මොකකටවත් නොව, කන්කසන්තුරේ ප්‍රදේශයේ අලුතෙන් විවෘත කොට ඇති මත්පැන් හලකට එරෙහිවය. මීට සති දෙකකට ඉහතදී කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාවද මේ ආකාරයටම මහ පාරට බැස අලුතෙන් විවෘත කරනු ලැබූ මත්පැන් හලකට එරෙහිව විරෝධය පළකළ ආකාරයක් දැකගන්නට ලැබිණි.
මේ ආකාරයට රට පුරා මත්පැන් අලෙවිසල් විවෘත කිරීම සඳහා අවශ්‍ය මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සිදුකළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. ඉකුත් ජනාධිපතිවරණය සමයේදී විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට බිලී බාගැනීම සඳහාත්, තමන් සමග සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තවදුරටත් සතුටින් තැබීම සඳහාත් රනිල් හිතූ හිතූ හැටියට මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත්‍ර ලබාදීම සිදුකොට තිබිණි. ඇතැමුන් එම මත්පැන් බලපත්‍ර ලක්ෂ 500-600 වැනි ඉහළ මිල ගණන්වලට විකුණා ඇති බවටද එහිදී චෝදනා එල්ල වී තිබිණි. මේ සම්බන්ධයෙන් ‘මව්රට’ පුවත්පත ආරම්භයේ සිටම රටට හෙළිදරව් කළ අතර, එහිදී අප අවධාරණය කොට කියා සිටියේ මෙම මත්පැන් බලපත්‍ර ලබාගත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව රටට හෙළිදරව් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි කියාය.
මීට අමතරව රනිල් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය තමන්ට ලබාගැනීම සඳහා විමධ්‍යගත අරමුදලේ මුදල් කෝටි ගණනින් විපක්ෂ මන්ත්‍රීවරුන්ට ලබාදීමටද කටයුතු කොට තිබිණි. ඒ පිළිබඳවද රටට අනාවරණ කළ අප කියා සිටියේ ඔවුන්ගේ නම් ලැයිස්තුවද ජනතාවගේ දැනගැනීම සඳහා රටට හෙළිදරව් කළ යුතු යැයි කියාය. අප කළ මෙම හෙළිදරව්ව එකල මාලිමාගේ ප්‍රධානීන් ප්‍රසිද්ධ වේදිකාවේ පට්ටා ගැසූ ආකාරයක්ද දැකගත හැකි විය. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා වූ සැණින් මෙම මත්පැන් බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව එහිදී කියා සිටි මාලිමාවේ ප්‍රධානීන් එසේ මත්පැන් බලපත්‍ර ලබාගත් මැති ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තුව රටට අනාවරණ කරන බවද කියා සිටියේය. ඒ අනුව, මේ වනවිට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත්ව සිටින නිසා අදාළ නම් ලැයිස්තුව රටට හෙළිදරව් කිරීම ඔහු සතු වගකීමකි.
ෆොටෝ එක නැත්තේ ඇයි?
කෙසේ වෙතත් උතුරේ තැනින් තැන විවෘත වන අලුත් මත්පැන්හල්වලට එරෙහිව ජනතාව පාරට බැස විරෝධය දක්වද්දී එසේ මත්පැන් බලපත්‍ර තුනක් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබූ උතුරේ හිටපු මන්ත්‍රී ශ්‍රීධරන් මහතා පසුගියදා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. මෙවනි සාකච්ඡාවක් පැවැති බවට වූ පුවත ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් මාධ්‍යයට දැනුම් දුන්නද එම හමුවට අදාළ ඡායාරූප මාධ්‍ය වෙත ලබා නොදීමට ජනාධිපතිවරයාත්, ජනාධිපති මාධ්‍ය ඒකකයත් පරෙස්සම් වී තිබිණි.
කෙසේ වෙතත් මෙසේ මත්පැන් බලපත්‍ර ලබාගත් මන්ත්‍රීවරුන්ගේ නම් රටට හෙළිකළ යුතු බවට දැඩිව කියා සිටි තවත් එක් පුද්ගලයෙක්ද සිටියේය. ඒ, වෙන කවුරුවත් නොව දෙමළ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතාය. උතුරේ දෙමළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම රනිල් හමුවී මත්පැන් බලපත්‍ර ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී තිබීම නිසා සුමන්තිරන් අනුර ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ වහාම මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ වහාම එම ලැයිස්තුව එළියට දැමීමට නව ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි කියාය. එමෙන්ම කන්කසන්තුරේ විවෘත වූ නව මත්පැන්හලට එරෙහිව ජනතාව පාරට බැසීමෙන් අනතුරුවද මාධ්‍ය හමුවක් කැඳවූ සුමන්තිරන් නවතත් කියා සිටියේ මත්පැන් බලපත්‍ර ලබාගත් සියලු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව එළියට දැමීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යයි කියාය.
එන්නේ රවී
මෙවර මහ මැතිවරණයේදී ලොකුම අර්බුදයට මුහුණ දී සිටින පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයය. මෙවර මැතිවරණයේදී එජාපය හෝ එජාප ලකුණ වූ අලියා මැතිවරණයට ඉදිරිපත් කර නොමැති අතර, ඔවුන් ඉදිරිපත් වන්නේ රනිල් තරග කොට පරාජයට පත්වූ ගෑස් සිලින්ඩරය ලකුණෙනි. කෙසේ වෙතත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාත්, එජාප උපනායක අකිල විරාජ් කාරියවසම් මහතාත්, පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර මහතාත්, පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාත් මෙවර තරගයට ඉදිරිපත් නොවීම විශේෂ සිදුවීමකි. මේ අයරින් පක්ෂයේ ප්‍රධාන තනතුරු දරන සිව් දෙනකු මහමැතිවරණයට එකවර ඉදිරිපත් නොවන්නේ එජාප ඉතිහාසයේ පළමු වතාවටය.
‘රාජ්‍ය රහස්’ වෙත ලැබී ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ගෑස් සිලින්ඩරය ලකුණෙන් එජාප නියෝජිතයන් ඇතුළු රනිල්ට සහාය දැක්වූ පිරිස් මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ හිටපු එජාප අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මහතාට අයත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් යැයි කියාය. මුලින් මෙම පෙරමුණේ ලකුණ හංසයා වුවද මේ වනවිට එය ගෑස් සිලින්ඩරය ලෙස වෙනස් කොට ඇති අතර, එහි නායකයා ලෙස රවී කරුණානායකත්, මහලේකම්වරිය ලෙස ශාමිලා පෙරේරාත් කටයුතු කරමින් සිටියහ. ඉකුත් යහපාලන රජය සමයේ ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධිය හේතුවෙන් එවක මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායකට බරපතළ චෝදනා එල්ල වූ අතර, පසුව ඔහුට මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමටද සිදුවිය. පසුව එම චෝදනාව හේතුකොට ගෙන රවී අත්අඩංගුවට ගැනීමට පවා පොලිසිය කටයුතු කොට තිබිණි.
සාලිගේ පිටින් දාලා
කෙසේ වෙතත් කොළඹ සිලින්ඩරයේ ලැයිස්තුව සකස් කරද්දී රවී දැනුම් දී තිබුණේ තමන් කොළඹ ලැයිස්තුවෙන් තරග කරනවා යැයි කියාය. එහිදී බොහෝ දෙනා කියා තිබුණේ බැඳුම්කර චෝදනා හේතුකොට ගෙන රවීට කිසිසේත්ම කොළඹින් තරග වැදී ජයග්‍රහණය කළ නොහැකි යැයි කියාය. මේ බව රවීද නොදැන සිටියා නොවේ. මේ නිසාම රවී සැලසුම් කළේ කෙසේ හෝ තරග නොවැදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඒමටය. ඒ සඳහා හොඳ පොටක් ලෙස රවී සොයාගත්තේ අසාද් සාලිට කොළඹ සිලින්ඩර ලැයිස්තුවේ ඉඩකඩ වෙන්කිරීමය. ඒ අනුව අසාද්ට විරෝධය පළකරමින් රවී කියා සිටියේ අසාද් ඉල්ලනවා නම් තමන් තරග නොකරනවා යැයි කියාය.
මේ ආකාරයට මැතිවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කළ රවී ඊළඟට සැලසුම් කළේ සිය නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කරගැනීමටය. ඒ අනුව ජාතික ලැයිස්තුව සකස් කරන අවසාන දිනයේදී රවී එම ලැයිස්තුව සකස් කරමින් සිටි ශාමිලා අසලට ගොස් ලැයිස්තුව අතට ගෙන නිරීක්ෂණය කළේය. එහිදී ඔහුට දැකගන්නට ලැබුණේ නවදෙනකුගේ නම් ඊට ඇතුළත් කර ඇති ආකාරයය. ඒ අනුව වහාම 10 වැනියා ලෙස තමන්ගේ නම සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කොට ඊට අස්සන් කළ රවී ‘මම යනවා ශාමිලා’ යැයි කියමින් කාර්යාලයෙන් පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. රවීගේ සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් වූයේ ඒ ආකාරයටය.
ඒ අනුව මෙවර සිලින්ඩරය ලක්ෂ හතරහමාරක ඡන්ද ප්‍රමාණයක් ගතහොත් නියත වශයෙන්ම රවී කරුණානායකද සිලින්ඩරයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ඒමට නියමිතය. මේ වනවිටත් අනුර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව ජනතාවට පොරොන්දුවක් දෙමින් කියා ඇත්තේ බැඳුම්කර වංචාව පිළිබඳ නැවත වතාවක් විමර්ශනය කොට ඊට සම්බන්ධ සියලු දෙනාටම දඬුවම් පමුණුවනවා යැයි කියාය. එසේ වුවහොත් විමර්ශන අතරතුරදී රවීටද බැඳුම්කර සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාදීමට සිදුවනවා නියතය.










