ලංකාවේ පහුගිය කාලේ ජනාධිපතිවරු විදියට කටයුතු කරපු අයගෙන් දැනට ජීවතුන් අතර ඉන්නවා කීප දෙනෙක්. ඒ අතර චන්ද්‍රිකා කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ ඍජුවම දේශපාලනයට මැදිහත් නොවෙන දේශපාලන කාරණාවලින් බැලූ බැල්මටම ඈත් වෙලා ඉන්න කට්ටිය. ඒ අතරින් ගෝඨාභය රාජපක්ෂ ආසන්නතම ජනාධිපතිවරයෙක් විදියට කටයුතු කළත් ඔහු ලංකාවෙන් ගිහිල්ලා ඉන්නවා. ඔහු ඉඳ හිට ලංකාවට එනවා. ආයෙත් ලංකාවෙන් යනවා. නමුත් ඔහු දේශපාලනය එපාවෙලා දේශපාලනයෙන් ඉවත් වෙලා ගිය ආකාරයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඊළඟට චන්ද්‍රිකා කුමාරතුංග. චන්ද්‍රිකා කුමාරතුංග කියලා කියන්නේ ලංකාවේ හිටපු විධායක ජනාධිපතිවරියක්. නමුත් අය දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්නේ. ඇය දේශපාලනයට එයිද කියලා හිතන සමහර සිදුවීම් පහුගිය කාලේ අපි දැක්කට පස්සේ අපිට තේරුණා එතුමිය ආයෙත් දේශපාලනයට එන්නේ නැති බව. (Sri Lanka Latest News)
ඉන් පස්සේ ලංකාවේ ජනාධිපතිවරු විදියට කටයුතු කරපු මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන කියන මේ චරිත තුන ගැන අපි කතාකරන්න ඕනේ. ඒ තුන්දෙනාම මේ අවසාන කාලේ වෙද්දී සක්‍රීය දේශපාලනයේ හිටපු අය. මේ තුන්දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදියට කටයුතු කළා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මේ අවසාන ජනාධිපතිවරණය තෙක්ම දේශපාලනයේ හිටියා. ඔහු පාර්ලිමේන්තුවේ හිටියා. පාර්ලිමේන්තුවෙන් ඔහු කෙළින්ම ඉවත් වෙලා ජනාධිපතිවරයා බවට පත්වුණා. නමුත් දැන් ඔහුත් දේශපාලනයේ ඉන්නවා.
එතකොට මේ වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන ප්‍රකාශයට පත්කරලා තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශයට පත්කළාට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයට එන ලොකු ලොකු නම් ගැන අපි හැමෝම ඉන්නේ උනන්දුවෙන්. මේ වෙලාවේ අපි බලමු මේ විදියට මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න මේ අය අතරින් කීදෙනෙක් එනවද කියලා. මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ හම්බන්තොටින් තමයි වෙනදා දේශපාලනයට එන්නේ. ඉන් පසුව ඔහු හදිසියේම තීරණය කළා කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න. එහිදී ඔහු වාර්තාගත ජයග්‍රහණයක් ලබමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පැමිණියා. විධායක ජනාධිපතිවරයා විදියට කටයුතු කරමින් ඉඳලා ඉන් පස්සේ හදිසියේම පාර්ලිමේන්තුවට ආපු පළමු විධායක ජනාධිපතිවරයා විදියට නම් ලැබුවේ ඔහු. කුරුණෑගලට ඔහුගේ පැමිණීමත් ආන්දෝලනාත්මක සිදුවීමක් විදියට අපි දැක්කා. බොහෝ දෙනා විවිධ කතා කිව්වා. අපිට තේරුණා කුරුණෑගලින් ඔහු එන්න හේතුව මොකක්ද කියන එක ගැන ඒ ඒ අයගේ කතන්දර අහද්දී. එකක් තමයි කුරුණෑගල පොහොට්ටුවට තිබුණු බලය. ඉන් පස්සේ අපි දැක්ක එකක් තමයි කුරුණෑගල වැඩි ඡන්ද ප්‍රමාණයක් තියෙනවා හම්බන්තොටට සාපේක්ෂව ගත්තම. ඒ වගේම හම්බන්තොටින් රාජපක්ෂවරු කීපදෙනෙක්ම ලැයිස්තුවේ ඉන්න නිසා මේ එක රාජපක්ෂවරයෙක් හම්බන්තොටින් ඉවත් වෙලා කුරුණෑගලින් ආපු බව තමයි අපි දැක්කේ. නමුත් පුදුමය කියලා කියන්නේ දැන් මේ රාජපක්ෂවරයාට දේශපාලනය එපාවෙලා දේශපාලනයට එන්න බැරි තැනට පත්වෙලා. ඒකට හේතුව ඔහු වයස යෑම හෝ ඔවුන්ගේ අබල දුබල තා නොවන බව අපිට ඉතා පැහැදිලියි. අපිට තේරෙන දේ තමයි දැන් ජනතාව විසින් මේ අයව ප්‍රතික්ෂේප කරලා කියලා. ඒ අයට දැනෙන්න පටන් අරගෙන. කලින් අයටත් එහෙම තමයි. හැබැයි මෙයාට ඒක දැන් තේරිලා කියලා අපිට බොහොම පැහැදිලිය.
ඉන් අනතුරුව අපිට නමක් විදියට කියන්න තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන. ඉතාම ආන්දෝලනාත්මක ජයග්‍රහණයක් ලබලා උඩු යටිකුරු වෙච්ච ප්‍රතිඵලයකුත් එක්ක ජනාධිපතිවරයා බවට පත්වෙලා බෝල්පොයින්ට් පෑනෙන් අස්සන් කරලා පස්සේ මරණ දඬුවම දුන්නු කෙනෙක්ව නිදහස් කරලා ගෙදර ගිය මෙයා පොළොන්නරුවේ මහපොළොවෙන් බිහිවෙච්ච නායකයෙක් කියලා තමයි හැමෝම කිව්වේ. ඉන් පස්සේ කුරුඳුවත්තේ ගේකුත් තමන්ගේ නමට ලියාගෙන ආයෙත් පොළොන්නරුව ගිය සිරිසේන මහත්තයා ජනාධිපතිවරණයට පෙර දේශපාලනයේ විවිධ භූමිකා හොබවමින් ඉඳලා එහෙන් මෙහෙන් එබිකම් කරමින් ඉඳලා දැන් ප්‍රකාශයට පත්කරලා තියෙනවා මම නම් ඡන්දෙට එන්නේ නෑ කියලා. ජනාධිපතිවරණයේදීත් ඔහු අමුතු භූමිකාවක් තමයි නිරූපණය කළේ. ඔහු හිටියේ ජනාධිපතිවරණයට තමන් සහාය දක්වන්නේ නෑ කියන අමුතු භූමිකාවක. ඉන් පස්සේ දැන් අපි දැක්කා දහම් සිරිසේන එළියට ඇවිල්ලා මෛත්‍රීපාල සිරිසේන ඇතුළට ගිහින් තියෙනවා. ඔහුත් දේශපාලනය කරන්නේ නැති බව කියනවා. රටේ හිටපු ජනාධිපතිවරයෙක් විදියට පාර්ලිමේන්තුව නියෝජනය කරපු දේශපාලනයේ සක්‍රීයව ඉන්න මෛත්‍රීපාල සිරිසේනත් මේ වතාවේ මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැල්ලු.
ඉන් පස්සේ රනිල් වික්‍රමසිංහ. ආසන්නතම විධායක ජනාධිපතිවරයා. රටේ ඉතාම තීරණාත්මක දේවල් ප්‍රකාශයට පත්කරමින් ඉතාම තීරණාත්මක දේවල් කරපු ඔහු ගෝඨාභය රාජපක්ෂගේ හදිසි පලවා හැරීමෙන් පස්සේ ජනාධිපතිවරයා විදියට පුටුවට ආවා. කීප වතාවක්ම අගමැතිකම දරපු ඔහුට ජීවිතේ එක් වතාවක් හෝ ජනාධිපතිවරයෙක් වීමේ සිහිනය සැබෑ කරමින් තමයි අරගලය නිමා වෙන්නේ. ඉන් පස්සේ ඔහු රටේ දේශපාලන භූමිකා කීපයක් ඉතා හොඳින් හොබවමින් අයි.එම්.එෆ්. සමග සාකච්ඡා කරමින්, ණය ලබාගනිමින් පෝලිම් දුරු කරමින් රටේ ගුණාත්මක ප්‍රගතියක් ඇතිකරපු ජනාධිපතිවරයෙක් බව ඔහුගේ පාර්ශ්වය විසින් නිතරම කියන බව අපි දැක්කා. නමුත් අරුමය කියලා කියන්නේ මේ වතාවේ කොළඹින් වෙනදා ඡන්දයට එන රනිල් වික්‍රමසිංහ මේ වතාවේ මහ මැතිවරණයට ඉදිරිපත් නොවීම. ඔහු මීට කලින් වතාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මේ විදියටම ඡන්දයට ඇවිල්ලා බලාපොරොත්තු විරහිත පරාජයක් හිමි වෙලා ජාතික ලැයිස්තු ආසනයක් විතරක් හිමිවුණාට පස්සේ ඒ ජාතික ලැයිස්තුවෙන් තමයි ඔහු පාර්ලිමේන්තු ගියේ.
දැන් පැහැදිලිව පේන කාරණාව තමයි ලංකාවේ දේශපාලනය උඩුයටිකුරු වෙලා ඉවරයි. ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල බිඳවැටිලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මේ කිසිවක් දැන් දේශපාලනයේ නැහැ. මේගොල්ලෝ එන්නේ වෙනම නම්ගම්වලින්, වෙනම සන්ධානවලින්. ඉන් පසුව බිහිවෙච්ච ගමන්ම ජනාධිපතිවරයෙක්ව බිහිකරන්න තරම් ඉතා ආන්දෝලනාත්මක දේශපාලන පක්ෂයක් වෙච්ච පොහොට්ටුව ගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ දෙකහමාරක් දක්වා මහ පොළොවට ඇදලා දාන්න ජනතාව සමත් වෙනවා. ඒත් එක්කම ජනාධිපතිවරයෙක් බිහිවෙනවා මාලිමාවෙන්. අලුත් දේශපාලන ලකුණක් අපි කවුරුත් දැකලා නොතිබුණු එකක්. ඊළඟට ටෙලිෆෝන් එක. මේ සමගි ජන බලවේගය කියන දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය තුළින් බිහිවූවාට අපි දන්නවා එය එක්සත් ජාතික පක්ෂය නොවන වග. එක්සත් ජාතික පක්ෂයට වෙනම නායකයෙක් ඉද්දී, එක්සත් ජාතික පක්ෂයට වෙනම දේශපාලනයක් තියෙද්දී, එක්සත් ජාතික පක්ෂය වෙනම සහාය දක්වද්දී මේවායින් ඉවත් වෙලයි මේ සමගි ජන බලවේගය තමන්ගේ සලකුණ වෙච්ච ටෙලිෆෝන් එකෙන් ජනාධිපතිවරණයට හෝ වෙනත් මැතිවරණවලට ඉදිරිපත් වුණේ. මෙවරත් ඔවුන් මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම්.
ඉතින් අපිට පැහැදිලිව පේනවා මේ දේශපාලන පක්ෂ බිඳවැටෙන යුගයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ සියල්ලක්ම පාහේ දැන් තමන්ගේ වැඩකිඩ පෙන්වන එක නිමාකරලා පැත්තකට වෙලා ඉන්න කාලයක් උදාවෙලා තියෙන්නේ. ඒ නිසා අපි බලාගෙන ඉමු මෙදා මහ මැතිවරණය මොකක් වෙයිද කියලා. ලංකාවේ ඉන්න විධායක ජනාධිපතිවරු කිසිවෙක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ. සමහර විට මෙය යම් වාර්තාවක් වෙන්නත් පුළුවන්. මොකද අපි දැක්කා පහුගිය අවසාන කාලෙදී නිතරම විධායක ජනාධිපති ධුර දරපු පුද්ගලයන් වෙනම මහ මැතිවරණ සඳහා ඉදිරිපත් වෙන ආකාරය. මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ මේ විදියට ඉදිරිපත් වුණා. නමුත් මේ වතාවේ කවුරුවත් නෑ. ඒ විතරක් නෙවෙයි චමල් වගේ පැරැණි දේශපාලන බලවේග බොහොමයක් මේ වතාවේ තැනින් තැනින් ප්‍රකාශයට පත්වෙන ආකාරය අපි දැක්කා මේපාර ඡන්දේ ඉල්ලන්නේ නෑ කියලා. ප්‍රධාන පෙළේ දේශපාලන බලවේග ගොඩකට දැන් දැනෙන්න පටන් අරගෙන ඉස්සර වගේ දැන් සෙල්ලම් දාන්න බැරි බව.

ජීවන පහන් තිළිණ










