විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව නිල රැස්වීම් කිහිපයකට තම පුත්‍රයාගේ සහභාගීත්වය පිළිබඳ පැහැදිලි කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට සමගාමීව පැවති උත්සවයකට විදේශ අමාත්‍ය අලි සබ්රි සිය පුත්‍රයා සමඟ එක්ව සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස සංසරණය වීමත් සමග විදේශ ඇමතිවරයා මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත.
අලි සබ්‍රිගේ පුත්‍රයා නිල දූත පිරිසට අයත් වන්නේ මන්දැයි බොහෝ දෙනා ප්‍රශ්න කර තිබිණි. ඔවුන් චෝදනා කළේ විදේශ අමාත්‍යවරයා ඥාති සංග්‍රහයක් සිදුකර ඇති බවය.
විදේශ ඇමතිවරයා ඒ සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.
ඔහු පවසන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සමගාමීව පැවති ද්විපාර්ශ්වික රැස්වීම් කිහිපයකට සිය පුතාගේ පැමිණීම පිළිබඳව සමාජ මාධ්‍යවල මතු වූ කනස්සල්ල දැකීමෙන් මෙම පැහැදිලි කිරිම කරන බවය.
ඇමතිවරයා කියන්නේ විදේශ අමාත්‍යවරයා සෙල ස්වකිය වගකීම්වලට අමතරව ජනාධිපතිවරයා සමග ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික හමුවලට සම්බන්ධ වීමත්, විදේශ අමාත්‍යවරයා ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සහ වොෂන්ටන් හි තම සංචාරවල සැලැස්ම අනුව ඉතාම දැඩි කාලසටහනක් පවත්වාගෙන යෑමටත් සිදුවී ඇති බවය.
මෙම ගමනට ශ්‍රී ලංකාව නියෝජනය කිරමින් සිදුකරන හමුවීම් දහයක් සහ දේශන පැවැත්වීම, ප්‍රසිද්ධ හමු තුනක සඳහා එක්වීමත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික රැස්වීම් රාශියකට සහභාගී වීමත් ඇතුළත් බව ඇමතිවරයා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙම විස්තීර්ණ වැඩ බර සඳහා ගැඹුරු පර්යේෂණ, ලිවීම සහ සූක්ෂම සූදානමක් අවශ්‍ය වේ.
“අමාත්‍යවරුන්ට ඔවුන්ගේ වගකීම් ඉටුකිරීමට සහාය වීම සඳහා, වැටුප් ගෙවන සහ ස්වේච්ඡා සම්පත් දායකයින්ගෙන් සමන්විත අමාත්‍ය කාර්යාංශයක් පවත්වා ගත හැකි බව ඇමතිවරයා පෙන්වා දෙයි.
“ඔහු කාලයක් තිස්සේ මගේ ඉල්ලීම පරිදි තාවකාලික, ස්වේච්ඡා පදනමක් මත පර්යේෂණ සහකාර සහ කෙටුම්පත් ලේඛකයෙකු ලෙස මට සහාය වී තිබෙනවා. ඔහු දැනට එක්සත් ජනපදයේ සිය අධ්‍යයන කටයුතු කරගෙන යන බැවින්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සම්මන්ත්‍රණය පවත්වාගෙන යන සමයේ දින කිහිපයක් සඳහා ඔහුගේ කාලය සහ විශේෂඥ දැනුම ලබා දීමට ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා.“
“මෙම තීරණාත්මක කටයුතු සඳහා මාව සූදානම් කිරීමට ඔහුගේ දායකත්වය මට උපකාර වූ බව පිළිගැනීමට මම සතුටුයි. වැදගත්ම දෙය නම්, ඔහු වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා රජය එක රුපියලක්වත් වියදම් කර නොතිබීමයි.”
“ඔහු මෙම කටයුතුවලට සම්බන්ධ වීම සඳහා හෝ වෙනත් කිසිම අවස්ථාවක බදු ගෙවන පුද්ගලයන් ඔහුගේ පිරිවැය ශතයක්වත් දරා නැහැ.ඔහුගේ දායකත්වය සම්පූර්ණයෙන්ම ස්වේච්ඡාවෙන් සිදුවූවක්.”
තමන්ගේ නියෝජිතයින්ගෙන් වගවීම විමසා සිටීමට මහජනතාවට සෑම අයිතියක්ම ඇති බව මම තරයේ විශ්වාස කරනවා. ඒ නිසාම ඔබේ දැනුවත් විනිශ්චය සඳහා කරුණු සැපයීමට මා කැපවී සිටිනවා.” යනුවෙන් විදේශ අමාත්‍යවරයා පවසා ඇත.
lankasara










