පසුගිය සඳුදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සවස 5ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ කතානායකවරයා සම්බන්ධයෙන් මේ ආකාරයට විශාල ආන්දෝලනයක් රට ඇතුළේ මතුව පැවැතියදීය. මෙහිදී පොහොට්ටුව සහ ආණ්ඩුව අතර පවතින මතගැටුම මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද එළියට පැන තිබූ දැකගන්නට ලැබිණි. ඒ, 120කට ආසන්න මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුව සමග සිටියද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට 54 දෙනකු පමණක් සහභාගි වී සිටීම හරහාය. කෙසේ වෙතත් මෙම රැස්වීමේදී ව්‍යවස්ථාදායක සභාව තුළ මතුව ඇති අර්බුදය සහ පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳවද ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරනු දැකගත හැකි විය.Sri Lanka Latest News
‘ව්‍යවස්ථාදායක සභාව කරන සමහර වැඩ නිසා අපි ලොකු අසීරුතාවකට පත්වෙලයි ඉන්නේ. ව්‍යවස්ථාදායක සභාව වැඩකරන්නේ ව්‍යවස්ථාදායක, විධායකය සහ අධිකරණය අතර ප්‍රශ්න මතුවෙන විදියටයි. මම යවපු සමහර නම් ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත නොකරන හින්දා අධිකරණ ක්ෂේත්‍රයෙත් ප්‍රශ්න ගණනාවක් මතුවෙලා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළත් ඒක ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළේ නෑ, ඒ හින්දා එතැන ප්‍රශ්නයක් මතුවෙලා. දැන් තව විනිසුරුවරුන් කීප දෙනෙක්ම විශ්‍රාම අරන් තියෙනවා. එතැනත් වේකන්සි පත්කරගන්න විදියක් නෑ. ඒ හින්දා නඩු ගොඩගැහිලා තියෙනවා කියලා දැනුම් දීලා තියෙනවා. පොලිස්පතිවරයා පත්කිරීමේදිත් මේ ප්‍රශ්නයම ඇවිල්ලා. හැබැයි එතැන කතානායකතුමා ව්‍යවස්ථාව අනුවයි වැඩ කරලා තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි ව්‍යවස්ථාදායක සභාව හදන්නේ එතැනත් අර්බුදයක් ඇතිකරන්නයි.’ යනුවෙන් කියමින් ජනාධිපතිවරයා කතානායකවරයාගේ ක්‍රියාකලාපය අනුමත කරමින් ඔහු ආරක්ෂා කරන ආකාරයේ ප්‍රබල ප්‍රකාශයක් කරන අයුරු දැකගන්නට ලැබිණි.