සංවිධානාත්මකව බුදුදහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බෞද්ධ දර්ශනයේ හා සංස්කෘතික හරපද්ධතීන්ට හානිකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට දැනුම්දෙමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනපති වෙත ලිපියක් යොමුකර ඇත.Sri Lanka Latest News
එම විශේෂ ලිපිය පහතින්.
“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති
ජනාධිපති කාර්යාලය,
කොළඹ.
ගරු ජනාධිපතිතුමනි,
සංවිධානාත්මකව බුදුදහම පිළිබඳ සාවද්‍ය මතවාද ජනගත කරමින් බෞද්ධ දර්ශනයේ භා සංස්කෘතියේ හරපද්ධතීන්ට හානිකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිම
චිවිධ පටු ලාභාපේක්‍ෂාවන්ගෙන් ගිහි-පැවිදි පිරිස් සංවිධානාත්මකව බුදුදහමේ ගම්භීරත්වය මෙන් ම සුනිශිතභාවය චිනාශ කරමින් ධර්ම හානියක් මෙන් ම ශාසනික හානියක් සිදුකිරීමේ අන්තවාදී ක්‍රියාදාමයක නිරතව සිටී. මෙම අප්‍රතිකාරී සංවිධානාත්මක ක්‍රියා පිළිවෙතෙහි වඩාත් මෑත කාලීන නිදර්ශන වනුයේ තමන් අවලෝකිතේෂ්වර බෝධිසත්ත්වයන් ලෙස හඳුන්වාදෙමින් බෞද්ධ මහජනතාව නොමග යමමින් බෞද්ධ දාර්ශනික හරපද්ධතීන් විනාශකිරීමට පුද්ගලයෙක් කටයුතු කිරීම හා ජිවිතයේ යථාර්ථය පිළිබඳ බෞද්ධ දේශනාවන් සාවද්‍ය ලෙස විස්තර කරමින් අසරණ මහජනතාව නොමග යවමින් සදාකාලික සැපය ලබා ගැනීම උදෙසා පුද්ගලයන් සියදිවි නසා ගැනීමට පෙළඹ වීමයි.
මීට පෙර ද විවිධ පුද්ගලයන් චිරාගත භික්‍ෂු භූමිකාවට හානිකිරීම, බුද්ධ චරිතය විකෘති කිරීම, බෞද්ධ මහජනතාවගේ වන්දනාවට පාත්‍රවන පූජනීය වස්තූන් පිළිබඳ නිග්‍රහාත්මක ප්‍රකාශයන් සිදුකිරිම වැනි අන්තගාමී සමාජ කැළඹීමකට තුඩුදෙන ක්‍රියාවන් සිදුකරමින් බෞද්ධ මහජනතාව නොමග යැවීමට විවිධ ප්‍රයත්නයන්හි නිරත වූ ආකාරය අපහට නිරීක්‍ෂණය විය.
එම සෑම සිදුවීමක් පිටුපසම යම් සංවිධානාත්මක කණ්ඩායම් ක්‍රියාත්මක වූ ආකාරය හා ඇතැම් අන්තවාදී සංවිධාන මගින් එවැනි පුද්ගලයන්ට සුවිසල් මූල්‍යමය දායකත්වයක් ලබාදුන් ආකාරය පිළිබඳවත් කරුණු හෙළි විය.
බුදුදහම විනාශ කිරීමට උත්සහ දරන මෙවැනි පුද්ගලයන්ගේ හැසිරීම තවදුරටත් හුදු සිද්ධීන් ලෙස ලඝු කොට සැලකිය නොහැකි බව ප්‍රත්‍යක්‍ෂ වී හමාර ය. එහෙයින් සංවිධානාත්මකව උතුම් සම්බුද්ධ දේශනාවන්ගේ සුනිශිත අර්ථයන් කෙලෙසමින් අනුක්‍රමයෙන් සිදුකරන මෙවැනි සිදුවීම් හුදෙකලා කොට විසඳුම් සෙවීම වෙනුවට යළි ලාංකේය සමාජය තුළ මෙවැනි ධර්ම විකෘතීන් හා ශාසන විකෘතීන් සිදුකිරීම වැළැක්වීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරීමට කාලය එළඹ ඇත. එසේ ම එවැනි ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය කරමින් බෞද්ධ මහජනතාව නොමග යවමින් සමාජ කැළඹීම් ඇතිකිරීමට උත්සහ දරන පුද්ගලයන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට හා එවැනි ප්‍රකාශන ප්‍රවර්ධනය නියාමනය සිදුකිරීමට නෛතික ප්‍රතිපාදන සම්පාදනය කිරිම ද කාලීන අවශ්‍යතාවකි.
එහෙයින් සම්බුද්ධ ශාසනයේ සුරක්‍ෂාව ප්‍රවර්ධනය හා පෝෂණය උදෙසා බැඳී සිටින ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනාධිපතිතුමන් ලෙස මේ පිළිබඳ ඔබතුමන්ගේ කාරුණික අවධානය යොමුකොට ධර්ම විකෘතින්හි හා ශාසන විකෘතින්හි යෙදෙමින් පටු ලාභාපේක්‍ෂාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනයට කටයුතු කරන ලෙස හිතාධ්‍යාශයෙන් යුතුව දන්වා සිටිම්හ.
මේ පිළිබඳ ඔබතුමන්ගේ කඩිනම් අවධානය අගය කරන අතර ම ඔබතුමන්ට රත්නත්‍රයේ ආශීර්වාදය සැලසේවායි ආශංසනය කරම්හ.
ඒ වගත්මෙසේ ම,
අතිපූජ්‍ය සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාරව්‍යශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර, මල්වතු මහාවිහාරය, මහනුවර.
අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර, අස්ගිරි මහාවිහාරය, මහනුවර.
අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති අභිධාන මහානායක ස්ථවිර, ශ්‍රී ලංකා අමරපුර මහාසංඝසභාවේ සභාපති, ශ්‍රී ධම්මානඥ විද්‍යායතන පිරිවෙන, මිරිස්වත්ත, බළංගොඩ.
අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ස්‌ථවීර, මිණිඔළුව විද්‍යාවාස මහ පිරිවෙණ, මීරිගම.
පිටපත
1. ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මැතිතුමා, අධිකරණ අමාත්‍යංශය, අංක 19, සංඝරාජ මාවත, කොළඹ 10.
2. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, විදුර වික්‍රමනායක මැතිතුමා, ‘දහම්පාය’, 135, ධර්මපාල මාවත, කොළඹ 07.
3. සෝමරත්න විදාන පතිරණ මහතා, ලේකම්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ‘දහම්පාය’, 135, ධම්පාල මාවත, කොළඹ 07”
-දෙරණ අනුග්‍රහයෙනි