සමගි ජන බලවේගයේ විද්වත් සංසදය වන සමගි බුද්ධි මණ්ඩපයේ ප්‍රතිපත්ති සංවාද මණ්ඩපය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ දී ඔහු විසින් මාතෘකා කිහිපයක් ඔස්සේ දීර්ඝ දේශනයක් පවත්වන ලදී.Sri Lanka Latest News
කුලය මත පදනම් වූ දේශපාලනය රටේ පරිහානියට හේතුවයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකාවේ කුලය මත පදනම් වූ ප්‍රභූ දේශපාලනයේ ඉතිහාසය විමර්ශනය කරමින්, එහි මූලයන් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක යුගය දක්වා විහිදෙන ආකාරය සහ වත්මනෙහි එහි අඛණ්ඩ ව්‍යාප්තිය පෙන්වා දෙන ලදී. මෙය රටේ දේශපාලන පරිහානියට මූලික හේතුව ලෙස ද ඔහු විසින් හඳුන්වා දෙන ලදී.
අභියෝගයන් අවස්ථාවන් බවට පරිවර්තනය කර ගන්න
එසේ ම ශ්‍රී ලාංකීයත්වය පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමට උත්සාහ කරන ලෙස විපක්ෂ නායකවරයා මෙහි දී ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය. අභියෝගයන් අවස්ථාවන් බවට පරිවර්තනය කරමින් වෙනස්කම් සඳහා උත්ප්‍රේරකයක් ලෙස අර්බුද ක්‍රියා කරන්නේ කෙසේදැයි ඔහු නිදසුන් සහිතව මේ අවස්ථාවේ දී පෙන්වා දුන්නේය.
කාර්යක්ෂමතාව වර්ධනය කළ හැකි හොඳම ක්‍රමය ඩිජිටල්කරණයයි
තවද නිදහස් අධ්‍යාපනය නවීකරණය කිරීම සහ සුබසාධන රාජ්‍යයේ සෞඛ්‍ය සේවාව වැඩි දියුණු කිරීම සඳහා සමගි ජන බලවේගයේ සැලසුම් ද විපක්ෂ නායකවරයා විසින් ගෙනහැර දැක්විණි. දිළිඳුකම පිටුදැකීමේ ජාතික වැඩපිළිවෙළක්, බුද්ධි ගලනය අවම කිරීමේ ප්‍රතිසංස්කරණ සහ දූෂණය පිටුදැකීම සඳහා කළ යුතු වන ව්‍යවස්ථා සංශෝධන කර්තව්‍යයන් පිළිබඳව ද ඔහු විසින් පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී. එහි දී කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සඳහා ඩිජිටල්කරණය සතුව පවත්නා හැකියාව ද ඔහු අවධාරණය කළේය.
අපේ ප්‍රතිපත්තිය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තියයි
තමාගේ හෝ තම පක්ෂයේ ප්‍රතිපත්ති නව ලිබරල්වාදී ප්‍රතිපත්ති නොව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති බවට වන කැපී පෙනෙන ප්‍රකාශයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කරන ලදී. සමාජවාදයේ වාසිදායක පැතිකඩ ද හඳුනා ගනිමින් ධනවාදය හරහා ධනය උත්පාදනය කිරීම කළ හැකි බවද ඔහු පැවසීය. එමෙන් ම අන්ත දක්ෂිණාංශික හෝ වාමාංශික මතවාදයන්ගෙන් ඉවත් වෙමින් ගමන් ගන්නා සමගි ජන බලවේගයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරය මෙම සමතුලිත ප්‍රවේශය තුළින් හෙතෙම අවධාරණය කළේය.
මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්ය, මහාචාර්ය සහ කථිකාචාර්යවරුන් 6000කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර ඉන් 1500කට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් විවිධ හේතු නිසා රට හැර ගොස්ය. සෙසු විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය සහ කථිකාචාර්යවරු 4500කට ආසන්න සංඛ්‍යාවෙන් 1500ක් පමණ මෙම සමගි ජන බලවේග බුද්ධි මණ්ඩපය හා එක් විය.