• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිතට දැණුනු දෙයක් අරගලයේ රැයක්…!

April 30, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
හිතට දැණුනු දෙයක් අරගලයේ රැයක්…!
Share on WhatsAppShare on Facebook

අපි ගෝල්ෆේස් යනවා. වෙනදා නම් අපි ගෝල්ෆේස් යන්නේ පොඩි ජොලියක් ගන්න. සාමාන්‍යයෙන් ගෝල්ෆේස් කියලා කියන්නේ කාටත් සතුට පිරුණු තැනක්. ඈත මුහුදේ ඉඳන් එන හුළං රැලි ගෝල්ෆේස් එකට පයගහන ඕන කෙනෙක්ව ජාති ආගම් කුලමල භේදවලින් තොරව ආදරෙන් පිළිගන්නවා. ටික වෙලාවක් රැල්ලත් එක්ක සෙල්ලමක් ජීවිතේ එක වතාවක් හරි නොකරපු කෙනෙක් ඉන්නව නම් ඒ එක්කො වෙන ලෝකෙක ඉපදුණු කෙනෙක්. ඒකට හේතුව ගෝල්ෆේස් කියලා කියන්නේ හැමෝම දන්න තැනක්. හැමෝම ආදරය කරන තැනක්. හැමෝටම ආදරේ මුණගැහුණු ආදරේ හොයාගෙන ගිය ආදරවන්තයන් එක්ක තැවරුණු රැඳුණු තැනක් තමයි ගෝල්ෆේස්. ඒක නිසා ගෝල්ෆේස් කියලා කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතවලට වෙනස් අත්දැකීමක් ගෙනල්ලා දුන්නු අමුතු තැනක්. ගෝල්ෆේස් එකට ගිහිල්ලා ඉස්සො වඩයක් කාලා, වැලි තලාවෙ අලුතෙන් ඉන්දපු තණකොළ බිස්සේ ඉඳගෙන ජීවිතේ විඳපු නැති අය ඉන්නේ බොහෝම කලාතුරකින්. ඒත් මේ වතාවෙ අපි ගෝල්ෆේස් ගියේ ඊට වඩා වෙනස් දේකට. අපි රැල්ල පාගන්න හිතාගෙන ගෝල්ෆේස් ගියේ නෑ. අපි ඉස්සො වඩේ කන්න හිතාගෙන ගෝල්ෆේස් ගියේ නෑ. වෙනදා වගේ ආදරෙත් අරගෙන දුවගෙන ආපු මුහුදු හුළඟ ඉක්මනට අපිව පිළිගත්තත්, අපි මෙදා හැරුණේ වෙන පැත්තකට.

මේක මේ වෙනකොට අපේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් ලක්ෂ ගානක් දෙනා විඳපු අත්දැකීමක්. දැන් ගෝල්ෆේස් එක පිරිලා තියෙන්නේ අරගලයෙන්. අර්බුදයෙන්. වේදනාවෙන්. මිනිස්සු දහස් ගානක් ගෝල්ෆේස් එකේ පොරකනකොට අපිට ගිහිල්ලා ඉස්සො වඩේ කන්න තරම් හිත හදාගන්න බෑ. ගෝල්ෆේස් කියලා කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතවල ඉරණම වෙනස් කරන අමුතු තැනක් බවට පත්වෙලා. අපි මේ වතාවේ ගෝල්ෆේස් එකට පය ගැහුවේ ඒ ඉරණම වෙනස් කිරීමේ කලාව හොයාගෙන. එදා යනකොට ඈත අහසේ ඉර මරල දාලා. අහස රතුපාට වෙලා. මූදට ලේ වැටිලා මුළු මූදම ලේවලින් පෙඟිලා. මූද තිබුණෙත් රතුපාටට. අහසයි මූදයි දෙකම රතුපාට වුණාට පස්සේ ඉරේ අතුණුබහන් වැටුණු මූදේ රැලි පාගන්න අපට හිතුණේ නෑ. කොහෙ හරි තැනක ඝාතනයක් සිදුවුණාට පස්සේ ඒ ඝාතනය අස්සේ සතුට විඳින්න තරම් අපි කුහක නෑ. ඒ නිසා අපි මූද දිහා බලන එක පැත්තකින් තියලා ආයෙත් ගෝල්ෆේස් අරගලය පැත්තට හැරුණා. අපි යනකොට අරගලය තරුණ වෙමින් හිටියේ. මං හිතන්නේ ඒ එකොළොස් වැනි හෝ දොළාස්වැනි දවස. රාත්‍රිය සඳහා කොළඹ ලෑස්ති වෙනවා. වෙනදා රාත්‍රියට ලෑස්ති වෙන කොළඹ හරි ලස්සනයි. කොළඹ අහස යන කහපාට වීදි ලාම්පු දැල්වුණාට පස්සේ මිනිස්සු විවිධ වෙස් ගන්නවා. සමහරු සම්පූර්ණයෙන්ම වෙස් මාරු කරනවා. අලුත් සළුපිලි ඇඳපු මිනිස්සු වීදි දිගේ එහෙ මෙහෙ යනවා. ගෝල්ෆේස් හෝටලයේ කවුළුවලින් පේන ජීවිත මනස්කාන්තයි. ඒ මිනිස්සුන්ගේ ජීවිත පිරිලා තියෙන්නේ මධුවිතෙන් රසවිතෙන් ජීවිතෙන් ආදරෙන්. හැබැයි අපිට මේ වතාවේ ගෝල්ෆේස් හෝටලේ ඈත කවුළු අස්සේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිත දිහා බලාගෙන ඉන්න හිතුණෙ නෑ. කුරුඳුවත්තේ ලොකු ගෙවල්වල රැහැයි හඬට යටින් එළියට එන වී.එයිට්, ලැම්බොගිනි, බී.එම්.ඩබ්ලිව්. වගේ වාහන වෙනදා වගේ වේගෙන් ඇවිල්ලා හෝටල් ඉස්සරහා නතර වුණේ නෑ. ෂැංග්‍රිලා හෝටලේ ඉස්සරහ පිරිලා හිටියේ සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සුන්ගෙ දාඩිය ගඳගහන සිරුරු අස්සෙන් මතුවෙලා ආවෙ මනුස්සකමේ සුවඳ. ඒ සුවඳ විඳිමින් අපි ඇවිදගෙන ගියා. මිනිස්සු දහස් ගානක් එක තැනක එක මිටට පොදිකමින් සිටියා. ඒ මිනිස්සු තැන් තැන්වල අරගල කරනවා. තැන් තැන්වල උද්ඝෝෂණ කරනවා. තැන් තැන්වල බෝඩ් උස්සගෙන ඉන්නවා. අපට මෙන්න මේ දේවල් නැති වුණා, මේ දේවල් ඕනෙ කියලා ඒ මිනිස්සු කියනවා. ‘ගෝඨා ගෝ හෝම්’ නිතරම ඇහෙන කතන්දරයක්. ‘කපුටු කාක් කාක් කාක්… බැසිල් බැසිල් බැසිල් බැසිල්’ කියන කට්ටිය සමහර තැන්වල ඉන්නවා. මේ කවුරුත් කලබලකාරී නැහැ. කලහකාරී ලෙස හැසිරෙන මිනිස්සු නෙවෙයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉස්සරහා බැරියර් දාලා හරස් කරලා ඒ උඩ නැගලා විවිධ සටන් පාඨ කියන කොල්ලො කෙල්ලෙ ටිකක් අපි දැක්කා. මං හිතන්නේ මේ සටන් පාඨ කියන තැන නිතර වෙනස් වෙනවා. අපි ගිය දවස් දෙක තුනේ අපි දැක්ක කාරණාව තමයි මෙතැනට විවිධ කට්ටිය එකතු වෙනවා. කලාකාරයො, නළු නිළියො, ක්‍රීඩකයො බොහෝ දෙනෙක් ඉන්නවා. ප්‍රසන්න පීරිස් පැමිණි දවස තමයි අපි මේ කියන්නේ. ප්‍රසන්න පීරිස්ගෙන් පස්සේ තවත් භික්ෂුන්වහන්සේ නමක් මේ ස්ථානයට වැඩම කළා.

කොහොම නමුත් මේ අරගලයට අපූරු හැඩයක් තිබුණා. ඒ හැඩයට අපි කියන්නේ මනුස්සකමේ හැඩය කියලා. මනුස්සකමේ හැඩය අපිට දකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. අපි ඉස්සර හිතාගෙන හිටියා මේ පුංචි රට අඹ ගෙඩියක හැඩය ගත්තට පස්සේ ඒක තමයි මනුස්සකමේ හැඩය කියලා. නෑ, ඒක නෙවෙයි මනුස්සකමේ හැඩය කියලා කියන්නේ. මනුස්සකමේ හැඩය බලන්න ඕනෙ නම් ‘ගෝඨාගෝ ගමට’ එන්න. ගෝඨාගෝ ගමේ මිනිස්සුන්ගේ මනුස්සකමේ සුවඳ විඳින්න. ඒ මිනිස්සු ඒකට පුරුදු පුහුණු වුණේ කවදාද, කොතැනද කියන එක අපි දන්නෙ නෑ. සමහර වෙලාවට හිතෙනවා අපි ඉන්නේ ලංකාවෙ නෙවෙයි නවසීලන්තයේ කියලා. මමත්, සිතිජ මධුෂානුත් මේ දේවල් මේ විදියට කතා කරන්න හේතුව වුණේ ඇත්තටම සමහර වෙලාවට මේ මිනිස්සුන්ගේ විනය ගැන අපට පුදුමයි. මොකද මේ විනයගරුක මිනිස්සු ඉඳලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුත් එක්ක. අපේ ගම්බිම්වල හිටපු මිනිස්සුත් එක්ක.

ගෝඨාගෝ ගම අමුතු කඩයක් තියෙනවා. ඒ කඩේ තියෙනවා ඕනෙ තරම් කෑම. ඒ කෑම කිසිවෙක් මිලදී ගත් කෑම නෙවෙයි. ඒවා තොග මිලට මිලදීගෙන ඇවිල්ලා අලෙවි කරන්න සූදානම් කරපු දේවල් නෙවෙයි. හැබැයි කවුරුහරි කෙනෙක් තමන්ගෙ අතේ තියෙන මුදලින් ගත්ත කෑම මේ ස්ථානයට නොමිලේ ලබාදීම තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. අපි ඉන්කොටත් මාළුපාන් පෙට්ටි දෙකක් උස්සගත්ත නාඳුනන මිනිස්සු ටිකක් එතැනට ආවා. ඒ අය කවුද කින්දමන්ද කිසි දෙයෙක් නොකියා, කිසිම ප්‍රශ්නෙකින් තොරව මාළු පාන් පෙට්ටි තියලා ආපහු ගියා. ඒවා බෙදන්නේ කාටද, ඒවා බෙදන එක්කෙනාගෙ නම මොකක්ද, මාළු පාන් පෙට්ටි ගෙනාපු නම මොකක්ද කියන්න කවුරුවත් දැනගෙන හිටියෙ නෑ. අපි විශ්වාස කරනවා ඒක මේ මොහොත වෙනකන් කිසි කෙනෙක් දන්නෙ නෑ. ඒක කිසි කෙනෙක්ට දැනුම් දෙන්න වුවමනාවක් තිබුණෙත් නෑ. ඒ කෑම සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන්. එච්චරයි. විශේෂත්වය ඊටත් වඩා ඒක නෙවෙයි.

සාමාන්‍ය යෙන් අපි දන්නවා කෑමක් බීමක් තැනකට ආවට පස්සේ අපේ රටේ මිනිස්සු පොරකනවා. බුරනව, රණ්ඩු වෙනවා. ‘අරක මට හම්බවුණේ නෑ, මේක මට හම්බ වුණේ නෑ’ එහෙම කියන කිසිම කෙනෙක් ගෝල්ෆේස් එකේ හිටියෙ නෑ. ඒක කොහොමද වුණේ කියලා අපට තාම හිතාගන්න බෑ. මොකද ඒකට හේතුව ඒ විශේෂයෙන් තෝරගත්ත මිනිස්සු මෙතන ඉන්නවා නෙවෙයි. මෙතැන ඉන්නෙත් සාමාන්‍ය මිනිස්සු. එතකොට සාමාන්‍ය මිනිස්සු මෙතැනදී කොහොමද ඒ තරම් විනයගරුකව හැසිරෙන්න පටන් අරගන්නේ. සාමාන්‍ය මිනිස්සු කෙහොමද මෙතැනදි විතරක් ඒ තරම් ගුණයහපත්ව වැඩ කරන්න පටන් අරගන්නේ? ඒක තවමත් අපට ප්‍රශ්නයක්. කිසිවෙක් කිසිවෙක්ගෙ කෑම උදුරන්න ගියේ නෑ. කෑම අවශ්‍ය අය අවශ්‍ය වෙලාවට ගත්තා. අනවශ්‍ය කෑම එපා කිව්වා. අනවශ්‍ය අය අවශ්‍ය අයට කෑම ගන්න ඉඩ දුන්නා. බඩගින්න, වෙහෙස, මහන්සිය නිවාගත්තා. ඒක ඒ විදියට සිද්ධ වුණා.

මේ වෙනකොට මුළු රටම තියෙන්නේ අධ්‍යාපනය සත පහකට වැඩක් නෑ කියලා හිතන තැනක. ඒකට හේතුව මොකක්ද කියලා අපට තේරෙන්නේ නෑ. කොහොම නමුත් මේ රටේ මිනිස්සු දැන් අධ්‍යාපනය වැඩක් නෑ කියලා විසි කරලා දානවා. පොතක් පතක් මුද්‍රණය කරගන්න බැරි තරම් කඩදාසි මිල ඉහළ ගිහිල්ලා. කඩදාසි ගෙන්වන එක නතර කරලා. ප්‍රශ්න පත්‍රයක් මුද්‍රණය කරගන්න බැරි තැනකට රට ගිහිල්ලා තියෙනවා.

ගෝඨාගෝ ගමේ මිනිස්සු පුස්තකාලයක් සූදානම් කරන්න තීරණය කළා. ඒක අතිවිශිෂ්ට තීරණයක් කියලා අපට හිතෙන්නේ කීප දෙනෙක් මේ ස්ථානයට ඇවිල්ලා නිකන් ඉන්න ගමන් පොතක් පතක් කියවනවා අපි ඇහෙන් දැක්ක නිසයි. මිනිස්සුන්ට පොත් කියවන්න අවකාශයක් නිර්මාණය කරනවා කියන්නේ පිනක්. මෙතැන ගොඩක් තියෙනවා රුසියානු පොත්. මේ පොත් කියවන මිනිස්සුන්ගේ හිත නිවීම, හිත හැදීම, අර්බුදය ගැන අරගලය ගැන හරියට අවබෝධ වීම, ඒ වගේම සාක්ෂරතාව සහිත ප්‍රඥාවක් සහිත අධ්‍යාපනයක් සහිත පරම්පරාවක් මේ රටට බිහිවීමත් විශාල ජයග්‍රහණයක්. ඒ අස්සේ වේදිකාගත වෙනවා සමහර වෙලාවට වේදිකා නාට්‍ය. මෙතැන වේදිකාගත වුණා නාට්‍යයක්. එහි නමක් ගමක් අපට හොයාගන්න බැහැ. ඒකට හේතුව අපි යනකොට වැඩේ පටන් අරගෙන. හැබැයි වැඩේ මැද්දෙදි අපි දැක්කා මේ නාට්‍යය ඇතුළේ ඉන්නවා සර් කෙනෙක්. ඒ සර්ට පුරවැසියෙක් ඇවිල්ලා කියනවා ‘සර් දැන් යන්න’ කියලා. මේ පුරවැසියා සහ සර්ගෙන් නියෝජනය වුණේ මොන වගේ දේවල්ද කියන එක ගැන අපිට යම් තරමකට පැහැදිලියි. නමුත් ඒ ගැන අපි මේ මොහොතේ උපකල්පන ඉදිරිපත් කරන්න සූදානම් නොවෙන්නේ ඒක අපේ වැඩක් නොවන නිසා. මොකද නාට්‍යයක් නැරඹීමකින් තොරව ඒ ගැන විවිධ අර්ථකථන ඉදිරිපත් කිරීම වැරැදියි. අපි ඒ නාට්‍යය 100%ක් බැලුවේ නැහැ. ඒ වගේම මේ ගෝඨාගෝ ගමේ තැන් තැන්වල තියෙනවා කූඩාරම් ඉදිකරලා. ඒ කූඩාරම්වල අයිතිකරුවෙක් මෙන්න මෙයා කියලා සඳහනක් කොහෙවත් කොටල නෑ. හැබැයි ඒවට සමහර අය ගිහිල්ලා නිදාගන්නවා. ඒවා තමන් විසින් හදාගත්ත ඒවා නම් ඒවට යන අය ඉන්නවා. ඒ වගේම තවත් සමහර කෙනෙක් තමන්ට නතර වෙන්න තැනක් ලැබෙන කන් බලාගෙන ඉන්නවා. කොහොම කොහොම හරි ඒ වැඩෙත් පිළිවෙළකට සිද්ධ වෙනවා.

විශේෂත්වය කියන්නේ ගමේ ග්‍රාම නිලධාරි මහත්මයෙක් ඇවිල්ලා, පොලිසිය ඇවිල්ලා නීතිරීති දාලා සීමාමායිම් පනවලා කරන මේ වැඩේ ගෝඨාගෝ ගම ඇතුළේ සිද්ධ වෙන්නේ කිසිම සීමා මායිමක්, නීතියක් රීතියක් නැතුව. සම්පූර්ණ විනයගරුක මිනිස්සු සාමාන්‍ය පරිදි තමන්ගෙ ජීවිතේ ගැන තමන් විසින්ම උපකල්පනය කරලා, අනුමාන කරලා මේ විදියට තීන්දු ගන්නවා මිසක් කිසිවෙක් ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් නිර්මාණය කරලා නෑ. නීතිරීති නිර්මාණය කරලා නෑ. ගෝඨාගෝ ගමේ පුස්තකාලයක් තියෙනවා. ගෝඨාගෝ ගමේ ආයතනික ව්‍යුහයකුත් තියෙනවා. ඒවා කවුරුවත් නිර්මාණය කරලා නෙවෙයි. කොහොම නමුත් මේ ගමේ තියෙන අපූරුම දේ තමයි පොලිසියක් නැති එක. ගෝඨාගෝ ගමට ආරක්ෂකයො නෑ. නීති අණපනත් තියෙන කට්ටිය නෑ. ගෝඨාගෝ ගම සාමාන්‍ය පරිදි ගලාගෙන යන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජීවිතයට අවශ්‍ය විදියට. මේ නිර්මාණය ඉතා විශිෂ්ට වෙන්නේ ඒ නිසයි. මිනිස්සු මනුෂ්‍යයො විදියට තමන්ගෙ ජීවිතවලට අවශ්‍ය කරන නීතිය පනවාගෙන. ගෝඨාගෝ ගමේ තැන් තැන්වල කොන්ඩම් තියෙනවා කියලා කියපු ‘ගොන් ඇන්ටි’ එක්කගෙන ඇවිල්ලා ඒකෙ ඇත්ත මොකක්ද කියලා පෙන්නන්න අපට හිතෙනවා. ඕවා කරන්න අපට වෙලාවක් නෑනෙ. තරුණ තරුණියො නිදහසේ ඉන්නවා. ඔවුන් නිදහස් අවකාශයෙ එහෙට මෙහෙට යනවා. නිදහස් අවකාශය ඔවුන්ට ඉඩ හදල තියෙනවා. ඒ ඉඩ ඇතුළේ කවුරුත් කාගෙවත් සීමාවක් වෙන් කරලා නෑ. මෙතැනින් එහා මගේ, මෙතැනින් එහා ඔබේ, මේ කොටසේ අයිතිය අපිට වගේ දෙයක් මෙතැන සිද්ධ වෙන්නේ නෑ. ඒක තමයි විශේෂත්වය.

සමහර අය බැරියර්වල නැගලා උද්ඝෝෂණය කරනවා. තවත් සමහරු බණ්ඩාරනායක පිළිමෙ ළඟ උද්ඝෝෂණය කරනවා. ඒ වගේම මේකෙ තව විශේෂත්වයක් වෙන්නේ ඕනෑම වෙලාවක මෙතැන ඉන්න කෙනෙක් රෝගී වුණොත් ඔහුට අවශ්‍ය කරන බේතක් හේතක් ලබාදෙන්නත් සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම ගැස්ටි්‍රක්වලට ලබාදෙන ඊනෝ එක පවා මෙතැන තියෙනවා. ඒක අරගෙන අපිත් බීපු නිසා අපි දන්නවා, මේක කොයි තරම් වටිනවද කියන එක. සාමාන්‍ය මට්ටමේ බෙහෙත් හේත් ටික මෙතැනදි ලබාදෙන්න වැඩපිළිවෙළක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි වගකීමෙන් කියනවා මෙතැනට ඇවිල්ලා නාට්‍යයක් බලලා, විනෝද වෙලා, ජීවිතේ විඳලා, ජීවිතේ ප්‍රශ්න ගැන හරි අවබෝධයක් ලබලා මනුස්සයෙක් ගෙදර ගියාට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

ගෝඨාගෝ ගම විශ්වවිiාලයක් වගේ. විවිධ අවකාශයන්හි හැදුණු වැඩුණු තරුණ තරුණියො තමන්ගේ ජීවන අත්දැකීම් අරගෙන එක තැනකට එකතු වෙලා ඉන්නවා. ඒක ලේසියෙන් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අපූරු අත්දැකීමක්. මිනිස්සුන්ගෙ ජීවිතවලට මේ අපූරු අත්දැකීම ලබාගන්න තැනක් නිර්මාණය විය යුතුයි. මේ නිර්මාණය වෙලා තියෙන්නේ ඒ තැනයි. ඒ තැන මනුෂ්‍යත්වයෙ සුවඳ අපිට දැනුණා. ඒ ජීවිතවල අපූර්වත්වය අපට පෙනුණා. මිනිස්සු සීමා මායිම්වලින් මිදිලා තමන්ගෙ ජීවිත ඇතුළේ යථාර්ථවාදීව ජීවත් වෙන හැටි අපි දැක්කා. ඇත්ත මිනිස්සු ඇත්ත වෙනුවෙන් සටන් කරන විදිය අපට පෙනුණා. මේ ඇත්ත ගැන කතාකරන්න මේ අපූර්වත්වය ගැන කතා කරන්න අපිට ඉඩ ලැබුණේ අපිත් ඒවා ඇහින් දැකපු නිසා. ඇහින් දැකපු කෙනෙක්ට මේ කතන්දරය තේරෙනවා. හැබැයි මතක තියාගන්න මේ කියන්නේ අරගලයෙ හැඩය ඇත්තටම මේක කියලා කියන්න නෙවෙයි. හැබැයි ඒ වුණාට අරගලයක ඇත්ත හැඩය මේකද කෝකද කියලා ඔබට දැනගන්න ලැබේවි. කොහොම නමුත් අරගලයේ සුවඳ අපූරුයි. ඒත් එක දෙයක් ලියන්න ඕනෙ. ඒක තමයි කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ අරගලය තමයි හරි අරගලය කියලා, ඒ සඳහා පූර්ව නිගමනවලට එළැඹෙන්න අපිට පරක්කු වැඩියි. මොකද මේක හරි අරගලය. හැබැයි ඒ වගේම තවත් අරගල මේ රටේ තියෙනවා. රඹුක්කනදි එක පුද්ගලයෙක් මියයෑමත් එක්ක බොහෝ දෙනෙක් කියන කතන්දරයක් තමයි ගෝල්ෆේස් අරගලයෙ ස්වරූපයට අරගල කළා නම් ඇත්තටම එහෙම වෙන්නෙ නෑ කියලා. ඒක ඇත්ත. ගෝල්ෆේස් එකේ මධ්‍යමපාන්තික, යම්කිසි සයිබර් දැනුමක් සහිත කලින් සැලසුම් වුණු පුහුණු වුණු අය තමයි ගොඩක් හිටියේ. ඒ මිනිස්සුන්ගෙ නිවුණු ගතියක් විනයගරුක බවක්, ඒ මිනිස්සුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදාහැරීමට බය ගතියකුත් අපට පෙනුණා. ඒක තමයි අවසාන නිගමනය සහ අවසාන කතන්දරය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පොහොට්ටු-අලි පසුබසිද්දී සජිත් හෙට ලක්ෂ ගාණක ජනතාවක් එක්ක කම්කරු දිනය සමරන්න සූදානම්!

Next Post

මම යනවා..! හොඳ කෙනෙක් පත්කරගන්න! පාර්ලිමේන්තුවේ අලුත් අර්බූදයක්!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.