විදුලි ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලය යොමු කර ඇති ඉල්ලීමට අදාළව ඉදිරිපත් කර ඇති දත්ත, වර්තමාන තත්ත්වය හා නොගැළපෙන බව, මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබේ. Sri Lanka Latest News
ඒ, ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.
අදාළ ලිපියෙන් කොමිසම, විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ, ඔක්තෝබර් 18 වැනිදාට පෙර මණ්ඩලය සතු නවතම දත්ත, තමුන් වෙත ඉදිරිපත් කරන ලෙසයි.
විදුලි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය සැප්තැම්බර් 4 සහ 26 යන දිනවල තමුන් වෙත යොමුකළ ඉල්ලීමේ සඳහන් දත්ත, වර්තමානය හා නොගැළපෙන බව, මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ ය.
සැප්තැම්බර් මාසයේ දෛනික විදුලි ඉල්ලුම, ගිගාවොට් පැය 44.7 ක් ලෙස පුරෝකථනය කර තිබුණත්, සැබෑ දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 41.01 ක් බව, මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙයි.
මේ අතර ජල විදුලි උත්පාදන ධාරිතාව ද, විදුලි බල මණ්ඩලය දක්වා ඇති ප්‍රමාණයට වඩා මේ වන විට ඉහළ ගොස් ඇතැයි කොමිසම පැවසී ය.
ගල් අඟුරු භාවිතයෙන් විදුලි උත්පාදනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය කර ඇති පුරෝකථනය නොගැළපෙන බව ද, මහජන උපයෝගීතා කොමිසමේ අදහසයි.
මේ තත්ත්වයන් තුළ ඉල්ලා ඇති විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ සළකා බැලීම සඳහා නවතම දත්ත තමන් වෙත ඉදිරිපත් කරන්නැයි මහජන උපයෝගීතා කොමිසම, විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසයි.