ඉන්දියාවේ ‘රාශ්ට්‍රපති භවන්’ (Rashtrapati Bhavan) යනු දැනට වසර 100ක් පමණ පැරැණි ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ඓතිහාසික ගොඩනැගිල්ලකි. මෙය ඉන්දියාවේ ජනාධිපතිවරයාගේ නිල නිවෙස වශයෙන් සැලකෙයි. ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලි නගරයේ පිහිටා ඇති මෙම නිවස්නය ගොඩනගා ඇත්තේ 1924 වැනි කාලයේදී වන අතර, එනම් දැනට වසර 100ක (ශතකයක) දීර්ඝ ඉතිහාසයක් එයට ඇත. ඉන්දියාවේ මෙතෙක් සිටි ජනාධිපතිවරුන් රැසකට මෙය නිල නිවස්නයක් වී ඇති අතර, වර්තමානයේ එහි වෙසෙන්නේ ඉන්දියාවේ වත්මන් ජනාධිපති ධුරය දරනු ලබන ද්‍රෞපදී මුර්මු (Droupadi Murmu) මහත්මියයි. අක්කර 321ක සුවිශාල භූමිභාගයකින් යුත් මෙම ස්ථානයෙහි පිහිටා තිබෙන නිල නිවස්න ගොඩනැගිල්ලේ වර්ග ප්‍රමාණය වර්ග අඩි 200,000 (ලක්ෂ 2ක්) පමණ වෙයි. මෙම ස්ථානයෙහි සුවිශාලත්වය කෙසේදැයි එයින් මනාව පෙනීයයි. (Sri Lanka Latest News)
මෙම ඓතිහාසික ස්ථානයේ මෙයට දින කිහිපයකට පෙරදී පැවැත්වූයේ එක්තරා සුවිශේෂ උත්සවයකි. එය නම් තෙවැනි වතාවටත් ඉන්දියාවේ අගමැති ධුරයට පත්වූ අගමැති නරේන්ද්‍ර මෝදිගේ අගමැති පදවි ප්රාප්ති උත්සවයයි. මෙහිදී චාරිත්‍රානුකූලව සහ ඉන්දීය ව්‍යවස්ථානුකූලව අගමැතිවරයා එරට ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දීම සිදුකෙරෙයි. ඉන්දියානු ජනතාව අතර දැනට කාලයක සිට බොහෝ ප්රකටව සිටින නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා, මෙවර එරට මහ මැතිවරණය විශිෂ්ට අයුරින් ජයග්‍රහණය කරමින් තෙවැනි වතාවටත් ඉන්දියාවේ අගමැතිවරයා ලෙස තේරී පත්විය. පසුගියදා රාෂ්ට්‍රපති භවන්හිදී පැවැති දිවුරුම්දීමේ උත්සවය අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර, එයට විශේෂිත අමුත්තන් 8,000ක් පමණ සහභාගි වී ඇත. විදේශීය රාජ්‍ය නායකයන් (ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන්), ප්‍රභූවරුන්, ඉන්දීය ව්‍යාපාරික ධනකුවේරයන්, බොලිවුඩ් ප්‍රකට සිනමා ශිල්පීන් සහ තවත් සුවිශේෂ තනතුරු දරන්නන් රාශියක් මෙම පිරිසට අයත් විය. ඒ අතර ඉන්දීය සහ විදේශීය මාධ්‍ය ආයතන රැසක් විසින් මෙම සුවිශේෂ උත්සවය සජීව ලෙස වාර්තා කිරීමටද එක්රැස්වී සිටියේය. මෙම උත්සවයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරු දීමට පසුව ඔහුගේ රාජ්‍ය පාලන පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන නව කැබිනට් මණ්ඩලයද දිවුරුම් දීම සිදුවිය. එහිදී කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 36 දෙනකු ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු ඉදිරියේ තම දිවුරුම් දීමේ ලේඛන භාරදීම සිදුකෙරිණි. මේ ආකාරයට මෙම උත්සවය බොහෝ උත්කර්ෂවත් අයුරින් සිදුවන ආකාරය දක්නට හැකි විය.
මෙලෙස අමාත්‍යවරුන් දිවුරුම් දෙන විටදී භාරතීය ජනතා පක්ෂයෙන් අලුතින් ප්‍රථම වතාවට රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවුණු දුර්ගා දාස් උයිකේ (Durga Das Uikey) තම දිවුරුම් ලේඛන ජනාධිපති ද්‍රෞපදි මුර්මු වෙත භාරදීම සිදුකෙරෙමින් තිබිණි. ඔහුට හිමිව තිබුණේ ගෝත්‍රික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයයි. ඔහු තම දිවුරුම් ලේඛන අස්සන් කර ජනාධිපතිනිය වෙත භාරදීමට අසුනින් නැගිට ඇය වෙත අඩි කිහිපයක් ගමන් කරමින් තිබිණි. මෙම ලොව මවිත කළ පුදුමාකාර සිදුවීම ඇතිවන්නේ මෙම අවස්ථාවේදීය. රාෂ්ට්‍රපති භවන්හි නිවෙස ඇතුළත සාමාන්‍ය දසුනක් පිටුපස දර්ශන තලයෙන් දක්නට හැකි විය. එහෙත් ගතවූයේ නිමේශයකි. එම නිවස්නයේ ඇතුළතින් දෙනෙත් අදහාගත නොහැකි පුදුමාකාර දසුනක් දර්ශනය වන්නට විය. තත්පර දෙක තුනක් පමණක් දර්ශනය වුණු මෙම අද්භූත දසුන දුටු එහි රැස්ව සිටි කිහිප දෙනකු මෙන්ම මාධ්‍යවේදී කැමරා ශිල්පීන්ද තුෂ්ණිම්භූත වී ගියේය. ඔවුන් රහසින් මුමුණන්නට විය.
‘දෙවියනේ, මොකාද ඒ ඇවිදගෙන ගිය සත්වයා? ඒ කොටියෙක් හරි දිවියෙක් හරි නේද ගේ ඇතුළෙන් ඇවිදගෙන ගියේ?’ එසේ නිල රූපවාහිනී කැමරා ශිල්පියකු කියන්නට විය.
‘ඔව් මමත් හොඳටම දැක්කා. දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට තමයි ඇවිදගෙන ගියේ. අපේ කැමරාවල ඕක පටිගත වෙලා ඇති’ තවත් කැමරා ශිල්පියකු කියන්නට විය.
‘පොඩි සතෙක් නෙවෙයි. කොටියෙක් හෝ දිවියෙක් වගේ විශාලයි. හිතාගන්නම බැරි දෙයක්…’ මුල් කැමරා ශිල්පියා නැවත මුමුණන්නට විය.
‘රාෂ්ට්‍රපති භවනේ කොටිත්, දිවියනුත් ඇතිකරනවද?’ අනෙකා කතාවට තිතක් තබමින් කියන්නට විය.
ඔවුන්ගේ කතාව නැවතුණත් මුළුමහත් ලෝකයම කතාකරන කතාව ඇරැඹුණේ ඉන් පසුවය. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය නිමවී ගතවූයේ හෝරාවක් හෝ දෙකක් පමණි. රාෂ්ට්‍රපති භවන්හි සිටි අබිරහස් සත්වයාගේ රුව රැගත් වීඩියෝ දර්ශනවලින් අන්තර්ජාලය කැලඹෙන්නට විය. දිවුරුම් දීමේ උත්සවය අතරතුරදී මෙසේ ජනාධිපති මන්දිරය ඇතුළත මෙම අද්භූත සත්වයා ඇවිදිමින් සිටින ආකාරය පැහැදිලිවම දක්නට හැකි විය. විවිධ සමාජ මාධ්‍ය හරහා මෙම වීඩියෝ දසුන් විකාශය වූ ආකාරය දක්නට හැකි විය. විවිධ දෙස් විදෙස් විශේෂිත අමුත්තන් 8,000ක් පමණ සහභාගි වූ මෙම ඓතිහාසික උත්සවයට මෙලෙස අනාරාධිතව පැමිණ සිටි සත්ව අමුත්තා කවරෙක්ද? නව රාජ්‍ය අමාත්‍ය දුර්ගා දාස් උයිකේ තම දිවුරුම් ලේඛන ජනාධිපතිනිය වෙත භාරදීමට නැගිට යන අවස්ථාවේදී මෙම අද්භූත සත්වයා ජනපති මන්දිරය තුළ බොහෝ සැහැල්ලුවෙන් සැරිසරන ආකාරය දක්නට හැකි විය. මෙම දසුන දුටු බොහෝ දෙනකු එයට අදාළව විවිධ මතිමතාන්තර පළකරන්නට විය. එසේම නවදිල්ලි පොලිසියද මෙම සිදුවීමට අමතරව යම් විමර්ශනයක් සිදුකර ඇත. ජනාධිති මැඳුරේ යම් ක්‍රියාවලියකට එරෙහිව යම් පාර්ශ්වයකට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට නොහැකි වුවද, එහෙත් මෙසේ සිදුව ඇත්තේ කුමක්දැයි සැක හැර දැනගැනීම උදෙසා ආරක්ෂක අංශ විසින් එම විමර්ශනය සිදුකර ඇත. ලෝකය කැලඹූ මෙම ආන්දෝලනාත්මක සිදුවීම ගැන සත්වයන්ගේ චර්යා රටා අධ්‍යයනය කරන යම් පාර්ශ්ව විසින් තම අදහස ඉදිරිපත් කර තිබිණි.
‘ජනාධිපති මැඳුර ඇතුළත එවැනි යම් සත්වයකු ගමන් කරන ආකාරය අපට පැහැදිලිවම එම වීඩියෝ දර්ශනය තුළින් දැකිය හැකියි. මෙසේ ඉතා නිදහස්ව ගමන් කරන්නේ දිවියෙක්ද? බළලෙක්ද? එසේත් නැතිනම් බල්ලෙක්ද කියලා අපට එකවර නිගමනය කරන්න බැහැ. කෙසේ වෙතත් ඒ ඉන්නේ බල්ලෙකු නොවන බව හොඳින්ම පෙනීයනවා. එසේ නම් දිවියකු හෝ විශාල බළලකු යැයි යම් විටෙකදී අපට අවබෝධ කරගන්න පුළුවන්. එසේ වන්නේ මෙම සත්වයා බිලාල ගෝත්‍රයට අයත් සතෙකු ලෙස පැහැදිලිව පෙනෙන නිසයි. එහිදී සිතෙන අනෙක් කරුණ නම් මෙම සත්වයා සාමාන්‍ය පූසෙකුට වඩා ඉතා විශාලයි. එක්තරා විදියකට දිවියකුගේ ස්වරූපය ගෙන ඇත්තේ ඒ නිසායි. එහෙත් මෙහිදී අප සිතාගත යුතුයි ජනාධිති මැඳුර තුළ එසේ භයානක දිවියකු වැනි සතෙකු ඇතිකිරීම විශ්වාස කළ හැකි ක්‍රියාවක් නොවන බව. විශේෂයෙන් දහස් ගණනක් රැස්වන මෙවැනි රාජ්‍ය උත්සවයකදී එසේ බියකරු සතෙකුට නිදැල්ලේ හැසිරීම සිදුවන්න බැහැ. ඒ නිසා තමයි අපට සිතන්න පුළුවන් මෙම සත්වයා බොහෝ විට විශාල බළලකු වන්නට හැකි බව. එහෙත් එහිදී ඇතිවන එක්තරා ප්‍රශ්නයක් තමයි මෙම සත්වයාට දිවියකුගේ වගේ විශාල වලිගයක් තිබීම. ශරීරයේ පුල්ලි වැනි ස්වරූපයක් තිබෙනවා. එහෙත් ඒ ලක්ෂණ පූසන්ටත් තිබෙනවා. සතාගේ ඇවිදීම එතරම් ප්‍රශ්නයක් වන්නේ නැත්තේ බිලාල ගෝත්‍රයේ දිවියන්, පූසන් වගේ සතුන්ගේ ඇවිදීම සාමාන්‍ය ආකාරයක් ගන්නා නිසා…’ යැයි ප්‍රකාශ කර ඇත.
යම් හෙයකින් මෙම අද්භූත සත්වයා දිවියකු වැනි භයානක සතකු වූයේ නම් එමගින් උත්සවය සඳහා පැමිණි අමුත්තන්ට යම් හිරිහැරයක් සිදුවන්නට ඉඩ තිබුණේ යැයි මතය මත පිහිටා දිල්ලි පොලිස් දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකර ඇත. එහිදී ඔවුන් ප්‍රධාන වශයෙන් රාෂ්ට්‍රපති භවන්හි නිල ප්රකාශකයකුගෙන් අදහස් විමසා ඇත. ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව යම් ප්‍රකාශයක් සිදුකර තිබිණි. එහි මෙසේ සඳහන්ව ඇත.
‘රාෂ්ට්‍රපති භවන් තුළ කිසි විටෙකවත් දිවියන්, කොටින් වැනි භයානක සතුන් ඇතිකරලා නැති බව එම මන්දිරයේ නිල ප්‍රකාශකයකු අපට පැවැසුවා. එහෙත් එම ස්ථානයේ සුරතල් බල්ලන් සහ බළලුන් කිහිප දෙනකුම හදාවඩා ගන්න බව ප්‍රකාශ කළා. මෙසේ දර්ශනය වූ සත්වයා එවැනි සුරතල් පූසෙකු බවයි ඔවුන්ගේ මතය වන්නේ. මෙම සිදුවීම කිසිදු අනතුරක් ඇති නොකරන සිද්ධියක් බවට අපට නිගමනය කළ හැකියි…’
මෙසේ නිල ප්‍රකාශයක් සිදුවුවද යම් හෙයකින් ජනාධිපති මැඳුර තුළ දිවියකු වැනි සතෙකු හදාවඩා ගත්තේ නම් එය ඉන්දීය සත්ව ආඥා පනත යටතේ නීති විරෝධී ක්‍රියාවක්ද වනු ඇත. එසේම එම ක්‍රියාවලිය වත්මන් ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය වෙතද ප්රශ්නකාරී තත්ත්වයක් ඇතිකරනු ලැබෙයි. එම දිවුරුම් දෙන ස්ථානයෙහි පසුබිමෙහි තිබෙන රතු පලස යෙදූ පඩිපෙළ ඉහළින් මෙම අපූරු සත්වයා දෙවතාවක් පමණ බොහෝ සැහැල්ලුවෙන් ගමන් කරන ආකාරය දැකිය හැකිය. මෙම දසුන AI කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද එකක් යැයි සමහරු පැවැසුවද එය එසේ නොවන බවට පරිගණක විශේෂඥයන් නිර්ණය කර ඇත. එනම් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ එම දසුන සත්‍ය ලෙසම රූපවාහිනී කැමරාවල පටිගත වුණු එකක් බවයි. එනම් සත්‍ය දසුනකි.
අපගේ ‘මව්රට’ පාඨකයන් උදෙසා මෙම ආන්දෝලනාත්මක සිදුවීම ගැන තවත් තොරතුරු සෙවීමට වෙහෙසක් ගත්තෙමු. අන්තර්ජාලයේ යම් විශේෂිත කරුණු පිරික්සා බැලීමේදී පෙනීයන්නේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල බළල් විශේෂයක් ජීවත්ව සිටින බවයි. මෙහිදී අප පටලවාගත යුතු නැති කරුණක් ඇත. එනම් වනාන්තරයේ වෙසෙන කැලෑ බළල් විශේෂයන් කිහිපයක් ඇති අතර, එම සතුන් සාමාන්‍ය බළලුන්ට වඩා විශාලය. එම සතුන් නිවෙස්වල සුරතලයට හදාවඩා ගන්නේ නැති අතර, එසේ වන්නේ එම විශේෂයන්ට ඉතා නපුරු ගතිගුණ ඇති හෙයිනි. මෙහිදී ඒ අනුව අප අධ්‍යයනය කළේ සුරතලයට නිවෙස් තුළ ඇතිකරනු ලබන බළලුන් (පූසන්) ගැන පමණි. මෙහිදී අපට පෙනීගිය කරුණක් නම් මෙලොව තුළ එවැනි සුරතල් පූසන් වර්ග 07ක් ඇති අතර, ඔවුන් සාමාන්‍ය පූසන්ට වඩා ප්‍රමාණයෙන් ඉතා විශාල වීමය. මෙම සත්වයන් අතරින් ප්‍රථම ස්ථානය ගත හැකි විශාල සුරතල් බළල් විශේෂය ‘සවානා’ (Savannah) ලෙසින් හැඳින්වෙයි. මෙම සත්වයාගේ උස අඟල් 18-20 වැනි ප්‍රමාණයක් වන අතර, බර කිලෝග්‍රෑම් 13-15ක් පමණ වෙයි. දිවියකු හා සමාන පුල්ලි ඇඟේ පිහිටා ඇත. ඇමෙරිකාවේ සමහර නිවෙස්වල මෙම සතුන් සුරතලයට හදාවඩා ගනී. කෙසේ හෝ ද්‍රෞපදි මුර්මු ජනාධිපතිනිය තමන් හදාවඩා ගන්නා මෙම සත්වයා ගැන මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.
ප්‍රියන්ත හෙට්ටිගේ