ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ බැස තිබුණද මෙරට ඉන්ධන මිල අඩු නොකිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා රජයෙන් දැඩි ලෙස ප්‍රශ්න කර සිටිනවා. මාධ්‍ය අමතමින් ඒ මහතා කියා සිටියේ, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යෑමටත් පෙර මෙරට රජය කඩිනමින් ඉන්ධන මිල ඉහළ දැමූ නමුත්, ජාත්‍යන්තර මිල පහළ වැටෙද්දී දේශීය මිල අඩු කිරීමට වත්මන් රජය මැලිවන බවයි. මිල සූත්‍රය භාවිත නොකර රජය හිතුමතේ මිල වැඩි කළ බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, දැන් මිල සංශෝධනය කළ හැක්කේ මිල සූත්‍රයට අනුව පමණක් යැයි පැවසීම පරස්පර විරෝධී බවත්, මේ පිළිබඳව සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළා.Sri Lanka Latest News
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හඳුන්වා දුන් සහ හිටපු අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රසිද්ධ කළ මිල සූත්‍රය වත්මන් රජය විසින් සඟවාගෙන සිටින්නේ ඇයිදැයි ප්‍රශ්න කළ හර්ෂ ද සිල්වා මහතා, විනිවිදභාවයක් ඇති කිරීම සඳහා එය වහාම ප්‍රසිද්ධ කරන ලෙස ද රජයට අභියෝග කළා. වැඩි මිලට ගත් තොග පවතින බැවින් මිල අඩු කළ නොහැකි බවට රජය පවසන කරුණු ප්‍රතික්ෂේප කළ ඔහු, ජනාධිපතිවරයා නිසා ලැබුණු බව කියන සහන මේ මස අවසානයෙන් අවසන් වන බව අගමැතිනිය හොඳින්ම දන්නා බව ද කියා සිටියා. එසේම, පසුගිය අප්‍රේල් මාසයේදී මෙරටට අනවශ්‍ය ලෙස විශාල පෙට්‍රල් සහ ඩීසල් තොගයක් වැඩි පිරිවැයක් දරා ආනයනය කර ඇති බවට චෝදනා කළ මන්ත්‍රීවරයා, ඒ පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ද අවධාරණය කළා.











