තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලා ගැනත් මැතිසබය තුළ පසුගිය පාර්ලිමේන්තු සතියේ අසන්නට ලැබිණි. (Sri Lanka Latest News)
කතරගම දෙවියන් ඇතුළු තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් පිළිබඳ මැතිසබය තුළ මීට කාලයකට පෙරද අසන්නට ලැබුණු අතර, මෙවර එය කරළියට පැමිණියේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කතරගම දෙවියන් හා තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් පිළිබඳ කතාකිරීම නිසාය.
පාර්ලිමේන්තුවේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳ කතා 1980 දශකයේ අගභාගයේදී දියවන්නාවෙන් අසන්නට ලැබිණි.
වර්තමානයේ කතරගම දෙවියන් ඇතුළු තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාටත් වඩා 80 දශකයේ අගභාගයේදී මැතිසබය තුළදී සිදුවූවා යැයි කියන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සම්බන්ධයෙන් කතාබස් වී තිබේ.
මහරගම අපේක්ෂා රෝහලේ අලුතින් ඉදිකෙරුණු ඇටමිදුලු බද්ධ කිරීමේ වාට්ටු සංකීර්ණය සඳහා මූල්‍ය දායකත්වය ලබාදී තිබුණේ රුහුණු කතරගම මහා දේවාලයයි. කතරගම දේවාලයට ජනතාවගෙන් ලැබුණු පඬුරුවලින් රුපියල් ලක්ෂ 1,560ක් මෙම ඇටමිදුලු බද්ධ කිරීමේ ළමා වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සඳහා පරිත්‍යාග කර තිබිණි.
මෙම උත්සවයේදී වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ කතරගම දෙවියන් පමණක් නොව තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාටත් වඩා මහා භාණ්ඩාගාරය විසින් මුදලක් රටේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වෙන්කරනු ලැබූ බවයි.
මේ කතාව වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලබන්නේ කතරගම දෙවියන්ට අපහාස කිරීමට නොවුණද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ආකාරයට දෙවියන්ද උරණ විය හැකි බවට ඕනෑම කෙනකුට යම් සාධාරණ සැකයක් ඇතිවීම වැළැක්විය නොහැක.
නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාට ප්‍රකාශ කිරීමට වුවමනා වූයේ රටේ නිදහස් සෞඛ්‍ය සේවයට මහා භාණ්ඩාගාරයෙන් අතිවිශාල මුදලක් වෙන්කරන බවයි.
නමුත් ඇමැතිවරයා එම කාරණය ප්‍රකාශ කළ ස්වභාවය අනුව එම ප්‍රකාශය වෙනත් පැත්තකට හැරුණු අතර, එය මේ වනවිට සමාජය තුළද විශාල සංවාදයක් ඇතිකිරීමට සමත්ව තිබේ.
නව වසරේ පාර්ලිමේන්තු සතිය ආරම්භ වූයේ පසුගිය 07 වැනිදාය. එම පාර්ලිමේන්තු සතිය තුළ සිදුවූ වැදගත්ම සිදුවීම වූයේ 2025 වසර වෙනුවෙන් විසර්ජන පනත් කෙටුම්පත ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය විසින් පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි.
නමුත් පසුගිය සතියේ පාර්ලිමේන්තුවෙන් ප්‍රබල ආර්ථික තර්ක, විකල්ප, සැලසුම් පිළිබඳ ආණ්ඩු පක්ෂයෙන්වත් විරුද්ධ පක්ෂයෙන්වත් එතරම් අසන්නට ලැබුණේ නැත.
සමගි ජන බලවේගයේ දයාසිරි ජයසේකර, රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරුනුත් කතරගම දෙවියන් සහ තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් ගැන සඳහන් කරමින් අවස්ථා කිහිපයකදීම වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ලබා නොදුණහොත් රටේ ජනතාවට දෙයියන්ගේම පිහිටයි කියාය.
කතරගම දෙවියන්ටත් වඩා ශක්තිමත් නම් රටේ සෞඛ්‍ය ප්‍රශ්න වහාම විසඳන ලෙසටද රෝහණ බණ්ඩාර විසින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගෙන් විමසා සිටින ලදී.
එම කරුණුවලට පිළිතුරු ලබාදෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැහැදිලි කළේ පරිත්‍යාගශීලීන්ගෙන් සෞඛ්‍ය සේවයට ආධාර ලබාගැනීමට කිසිදු බාධාවක් නොමැති බවයි.
ජාතික ප්‍රතිපත්තියක් යටතේ සෞඛ්‍ය සේවය සංවර්ධනය කරන බවත්, ඕනෑම පරිත්‍යාගශීලියකුට මෙම සංවර්ධන ප්‍රතිපත්තිය යටතේ සෞඛ්‍ය සේවය සඳහා පරිත්‍යාග සිදුකළ හැකි බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් පෙන්වා දෙන ලදී.
මේ ආකාරයට පසුගිය පාර්ලිමේන්තු සතියේදී කතරගම දෙවියන් ඇතුළු තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් පිළිබඳ කතාකිරීමේදී මතකයට එන්නේ 80 දශකයේ සහ 90 දශකයේ මුල පාර්ලිමේන්තුවේදී කතාබහ වුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තොවිල් ආදිය පිළිබඳවය.
දෙහි කැපිලිවලින් සහ බහිරව පූජාවන්ගෙන් සමන්විත වූ ‘මහා යාගයක්’ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පැවැත්වුණු බවට දැඩි ප්‍රචාරයක් 80 දශකයේ අගභාගයේදී ඇතැම් පුවත්පත්වලින් දැකගැනීමට හැකි විය.
ඒ කාලයේදී සමාජ මාධ්‍ය ඇතුළු ඩිජිටල් මාධ්‍ය භාවිතයක් නොතිබුණු කාලයේදී ඊට ලැබුණු ප්‍රතිචාරය සහ සමාජය තුළ එම මහා යාගය ගැන තිබුණු උනන්දුව වර්තමාන සමාජයට සිහිපත් කිරීම එක් පැත්තකින් වැදගත්ය.
පාර්ලිමේන්තුවේ මහා යාගය ගැන විවිධ කතාන්දර අදටත් පවසන නිසා මේ ගැන දැනගැනීමට සිටින හොඳම පුද්ගලයාගෙන් මේ ගැන විමසීමෙන් මහා යාගයේ ඇත්තම කතාව ‘ඉරිදා මව්රට’ පාඨකයන්ට ගෙන ඒමට හැකි විය.
පාර්ලිමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වන හිටපු වේත්‍රධාරී විජය පල්ලියගුරුගේ මහතා පාර්ලිමේන්තු මහා යාගය ගැන මෙසේ අප සමග අදහස් දැක්වීය.
‘මගේ මතකය නිවැරැදි නම් එය සිදුවුණේ 1989 මාර්තු 09 වැනි දිනට නියමිතව තිබූ පාර්ලිමේන්තුව චාරිත්‍රානුකූලව විවෘත කෙරෙන උත්සවයට දින කිහිපයකට කලින් වූ දිනයකයි. මම හිතන්නේ එම දිනය බොහෝ දුරට 1989 පෙබරවාරි 17 හෝ 18 කියලයි…’
‘එදින දහවල් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගෙන් නියෝජ්‍ය වේත්‍රධාරී බර්ටි වනසිංහ මහතාට යම් උපදෙසක් ලැබී තිබුණා.’
‘එදින රාත්‍රී පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට යම් පරිසක් පැමිණෙන බවත්, රාත්‍රී 7.00 ඉඳලා පාන්දර 5.00 වෙනකල්ම ඔවුන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ රැඳී සිටින බවත් එම කාලය තුළ ඔවුන්ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අදාළ ස්ථාන වෙත යෑමට සහ එම ස්ථානවල රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසටත් එම උපදෙස් මගින් දැනුම් දී තිබෙනවා…’
‘ඒ වෙනකොට නියෝජ්‍ය වේත්‍රධාරිවරයා අසනීපයෙන් පසුවූ බැවින් ඔහුගේ අධීක්ෂණය යටතේ එම කාර්යභාරය ඉටුකිරීමේ වගකීම එවක සහකාර වේත්‍රධාරී වූ මා වෙත පැවරුණා…’ යනුවෙන් විජය පල්ලියගුරුගේ මහතා තමාට ලැබුණු වගකීම අත්දැකීම් සහිතවම විස්තර කළේය.
‘කිහිප දෙනකු පොලිස් ස්ථානාධිපතිතුමා සමගම පැමිණි අතර, ඔවුන් ගෙනා ද්‍රව්‍යද පරීක්ෂාවට ලක් කළා.’
‘කට්ටඬියා ලෙස ක්‍රියා කළ තැනැත්තා සහ ඔහුගේ සහායකයා ඇතුළු පිරිස පැමිණි සිටියේ ජනාධිපති කාර්යාලයේ අප හඳුනන නිලධාරියෙක් සමග නිසා අනන්‍යතාව තහවුරු කරගැනීමට පහසු වුණා…’
‘මෙම ක්‍රියාවලිය දැන සිටියේ පාර්ලිමේන්තුවේ ඉතාමත් සීමිත පිරිසක් නිසා මේ ගැන කිසිවක් පාර්ලිමේන්තුවේ උසස් පිරිස් දැන සිටියේ නැහැ.’
‘කට්ටඬියා මල්, බුලත් ඇතුළු පූජාවට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙනවිත් තිබුණා. ඒවාද පරීක්ෂාවට ලක් කළා…’
‘අවශ්‍ය දෑ සකස් කර පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාගේ කාමරය අසල කොටසේ තැබුවා. තම සහායකයාද සමග කට්ටඬියා ජනාධිපතිතුමාගේ කාමරයට ඇතුළු වුණේ දෙහි භාජනයද සමගයි..’
‘වැඩි වේලාවක් යෑමට පෙර ආරූඪ තත්ත්වයට පත්වූ කට්ටඬියා ජනාධිපතිතුමාගේ කාර්යාලයේ සෑම කුටියකටම යමින් ස්තෝත්‍ර කියන්නට පටන් ගත්තා…’
‘හැම කුටියකටම ගොස් දෙහි ගෙඩි 3, 4 බැගින් කැපූ කට්ටඬියා ඒ කටයුත්ත අවසන් කිරීමෙන් පස්සේ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියා…’
‘කතානායකතුමාගේ ආසනයටත් ශාන්තිකර්ම කටයුතු ආරම්භ කළ කට්ටඬියා සභා ගර්භයේ තිබෙන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 225ටම ස්තෝත්‍ර කියමින් දෙහි කපන්නට වුණා…’
ඇතැම් ඇමැතිවරුන්ගේ ආසනවලට එක දෙහි ගෙඩියක් කැපුවත්, ඇතැම් මැති ඇමැතිවරුන්ගේ ආසනවලට දෙහි ගෙඩි 3, 5 කපන්නට පටන් ගත්තා….’
‘පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන්ගේ ආසනවලට පමණක් නොව, ලේකම් මණ්ඩලයේත්, වේත්‍රධාරී මණ්ඩලයේ ආසන සඳහාත් දෙහි කැපීම සිදුවුණා…’
‘දෙහි කැපීමේ කටයුතු අවසන් වුණේ අලුයම 3.30ට පමණ. කැපූ දෙහි කුඩා පොහොර මලු 3කට එකතු කළා…’
‘සභා ගර්භයේ දෙහි කැපීම අවසන් වනවාත් සමගම ‘ඕං රීං…’ යන වචන ප්‍රකාශ කරමින් තරමක් උස් හඬින් ස්තෝත්‍ර කියන්න පටන් ගත්තා…’
ජනාධිපතිවරයාගේ කාමරය පිහිටි ප්‍රදේශයට යළි පැමිණි ඔහුගේ කාර්යය වුණේ කලින් රැස්කර තිබුණු පූජා භාණ්ඩ එකින් එක ගෙන ජපකිරීමයි. මල්, බුලත් තටු මෙන්ම කෙසෙල් අලවලින් නිමවුණු මිනී පෙට්ටියක ආකෘතියද, අළු පුහුල් ගෙඩිද ජප කිරීම සඳහා කට්ටඬියා සෑහෙන කාලයක් ගත්තා…’
‘අලුයම 5.00ට පමණ කපන ලද දෙහි ගෙඩි එක්ක කුඩා මලු 3ක්, අළු කෙසෙල් අලත්, පුහුල් ගෙඩියත්, මල් බුලත් තටුත් ජනාධිපති කාර්යාලයේ වාහනයකට පටවා කඩුවෙලින් කැලණි ගඟට දැමීම සිදුකළා.’
‘මේ ගැන කට්ටඬි උන්නැහේගෙන් විමසූ අවස්ථාවේදී ඒ මහතා කිව්වේ මුළු පාර්ලිමේන්තුවටත්, ආණ්ඩුවටත්, විපක්ෂයටත් ආශීර්වාද කරමින් මෙම සෙත් ශාන්තිය සිදුකළා කියලායි….’

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු










