මුහුණු පොතෙහි දැන්වීම් පළකර අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළ පැවැත් වූ සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමගින් තරුණයන් 12දෙනෙකු අත්අඩංගුවට ගත් බව සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. (Sri Lanka Latest News)
සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කු මහතාට ලද තොරතුරක් මත විසිපහකට වැඩි පොලිස් නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුකළ වැටලීමකදීයි මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
හෝටලයේ හිමිකරු විසින් එම සාදය මුහුණු පොත හරහා සංවිධාන කර ඇති බවත්, එම හෝටලයට යන මාර්ග ගස් කපා දමා හරස් කර කෙසෙල් කොල යොදාගෙන හෝටලය නොපෙනන ලෙස වසාදමා මෙම සාදය සංවිධාන කර තිබූ බවත් පැවසේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ගංජා යොදා සකස්කළ දුම්වැටි 11ක්, හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් මත්පැන් බෝතල් 10ක් බියර් ටින් 22ක් සහ බියර් බෝතල් 12ක් සාදය සංවිධානය කළ හෝටලයේ හිමිකරු සතුව තිබී සොයා ගැනීමට හැකි වී තිබේ.
එසේම එම අවස්ථාවේදී ලබාදෙන ආහාරපාන ඉහල මිල ගණන් යටතේ අලෙවි කිරීමටද හෝටලයේ හිමිකරු කටයුතු කර තිබූ බවත්, එය සාමාන්‍ය මිල මෙන් තුන්ගුණයක් පමණ මිල ගණන් බවද සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කහතුඩුව, බලංගොඩ, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, ගුරුගල්ල ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18ත් 26ත් අතර තරුණයන්ය.
dinamina










