පීඩන අවපාතය හෙට (09) පස්වරුවේ දී හම්බන්තොට සහ කල්මුණය ප්‍රදේශයෙන් දිවයිනට ඇතුල් විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මහතා පවසයි.Sri Lanka Latest News
අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
එමෙන්ම එම පීඩන අවපාතය මේ වන විට දිවයිනේ නැගෙනහිර වෙරළේ පොතුවිල් ප්‍රදේශයට ගිනිකොණ දිශාවෙන් කිලෝ මීටර 350ක් පමණ ඇතින් ස්ථානගත වී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.
එබැවින් ධීවර හා නාවික ප්‍රජාවට එම කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙයි.
මේ අතර ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (08) උදෑසන 10.30 නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගු වේ.
ඒ අනුව ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම පද්ධතිය නිරිතදිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (09) සවස 5.30ත් රාත්‍රී 11.30ත් අතර කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරයට ඇතුළුවීමට බොහෝදුරට හැකියාව ඇති බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති රතු නිවේදනය අනුව, නැගෙනහිර පළාතේ අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි මෙන්ම ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය.
මුලතිව්, වව්නියාව, කිලිනොච්චි, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලයට විටින් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී 100- 150ක පමණ තද වැසි ඇති විය හැකිය.
මේ අතර යාපනය, මන්නාරම මෙන්ම ඌව පළාතේ මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට සහ මධ්‍යම පළාතේ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි හෝ ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති වේ.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය හේතුවෙන් දිවයිනට අධි තීව්‍රතාවයකින් යුතු වර්ෂාපතනයක් ඇති වුවහොත් ක්ෂණිකව ජලමට්ටම් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අද (08) උදෑසන පවතින කාලගුණය පිළිබඳ අනාවරණය කෙරෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පවසා සිටියේ, පවතින කාලගුණ පුරෝකථන අනුව දිස්ත්‍රික්ක කිහිපයක ගංවතුර අවදානමක් ඇතිවීමට ඉඩ ඇති බවය.








