ගාල්ල නෙළුව පොලිස් වසමේ දෙල්ලව යෝජිත රක්ෂිතය යාබද යද්දෙහිකන්ද නමැති අක්කර 2ක තේ ඉඩමකට කිසියම් පිරිසක් අයුතු ලෙස ඇතුළු වී තේ වගාව ගිනි තබා විනාශ කර ඇති බව පවසමින් ඉඩමේ හිමිකරු ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබෙනවා. එසේම පොලිසියේ ස්ථානාධිපතිවරයා තමාට වරින් වර දුරකතන ඇමතුම් ලබාදෙමින් අදාළ තේ ඉඩමෙන් වහාම ඉවත්වන ලෙසට තර්ජනය කරන බවද ඔහු ගොනුකළ පෙත්සමේ සඳහන්ය. සිය පියාගේ උරුමයක් වූ තේ වගාවට වසර ගණනාවක් තිස්සේ අක්කර බදු ගෙවන බවත්, වසර 3කට පෙර වගා කළ නව තේ වගාවෙන් සතියකට කිලෝග්‍රෑම් 50ක පමණ අමු තේ දලු අස්වැන්නක් ලබාගන්නා බවත් ඉඩමේ හිමිකරු ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. (Sri Lanka Latest News)
කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පදිංචි කෝටිපති කාන්තාවක් මීට මාස 3කට පෙර පැමිණිලිකරුට දුරකතන ඇමතුමක් ලබාදී සඳහන් කර ඇත්තේ ඇයට අයත් කටුපොල් වගාව සහිත අක්කර 600ක ඉඩමට යාබවද ඇති මෙම තේ ඉඩමද ඇයටම අයත් එකක් බවටයි. ඇය ලිපියක් මගින්ද මේ බව පැමිණිලිකරුට දන්වා ඇත. කෙසේ වෙතත් අදාළ කාන්තාව පොලිසියට අල්ලස් දී තම වගාවද ඉවත් කරගෙන ඉඩමෙන් ඉවත් වන්නැයි තමාව නෙළුව පොලිසියට ගෙන්වා තර්ජනයක් කළ බවයි එච්.ජී. තුෂාරනන්ද නමැති 50 හැවිරිදි දෙදරු පියෙකු වන තේ ඉඩමේ හිමිකරු මාධ්‍ය වෙත පවසා සිටියේ.
අයුතු ලෙස තම ඉඩමට ඇතුළුවී තේ වගාව සම්පූර්ණයෙන්ම ගලවා ගිනි තබා විනාශ කොට සිය වී වගාවටද අලාභ හානි කළ බවට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට තමන් දන්වා ඇති බවත් එච්.ජී. තුෂාරනන්ද පවසනවා. ඔහුගේ ඉඩම විනාශ කිරීමට කොළඹින් පැමිණි පිරිසට ආරක්ෂාව ලබාදීම සඳහා පොලිස් යතුරුපැදියක්ද යොදවා තිබූ බවයි සිද්ධිය ඇසින් දුටු අසල්වාසීන් පවසා ඇත්තේ.
මෙම සිදුවීමත් සමග අසරණ තත්ත්වයට පත්ව ඇති මෙම පවුලේ සිඟිති දැරියන් දෙදෙනකු ඇතුළු අට දෙනකු මෙම තේ වගාව හරහා ජීවිකාව සරිකරගන්නා බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙම අසාධාරණය හමුවේ මේ වනවිට තම පවුලේ ජීවිකාව අහිමි වී ඇති බව තුෂාරනන්ද මහතාගේ බිරිය හඬාවැටෙමින් පවසා සිටියාය.
ගාල්ල මාතර දිස්ත්‍රික්ක වෙන්වන මායිමේ තමන් ජීවත් වන බවත්, තමන්ගේ ලිපිනය වන්නේ අක්කර 20, පොල්ගස්විල, මොරවක බවත්, තම මවුපියන් සමග තේ වගාව ආදරයෙන් රැකබලා ගත් බවත් පැමිණිලිකරු වන එච්.ජී. තුෂාරනන්දගේ පුත්‍රයා පවසයි.
ලෝක උරුම දෙනියාය සිංහරාජ රක්ෂිතයට අයත් දෙල්ලව යෝජිත රක්ෂිතය විනාශ කොට කටුපොල් වගාව කරගෙන යෑමට මෙසේ කටයුතු කිරීම පිටුපස යම් බලවතෙකු ඇති බවත්, පොලිසියද එම අකටයුත්තට සහාය ලබාදීම බරපතළ අපරාධයක් බවත් ප්‍රදේශවාසීහු පවසා සිටිති.
අසාධාරණයට ලක්වූ එච්.ජී. තුෂාරනන්ද මහතාගේ බිරිය මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වා සිටියාය.
‘අපි දරු පැටව් දෙන්නෙකුත් හදාගෙන බොහොම අමාරුවෙන් තමයි රොටි කෑල්ලක් කාලා ජීවත් වෙන්නේ. මේ දෑතින් තේ පැල විනාශ කරලා තියෙන්නේ. නෙළුව පොලිසියේ රාළහාමි කෙනෙක් තමයි මේ ටික කරලා තියෙන්නේ. මේකට අලාභයක් අපිට දෙන්න. අපිට ජීවත් වෙන වෙන මාර්ගයක් නෑනේ. කෙනෙක් අපිට දුරකතනයෙන් හැම තිස්සෙම කතාකරනවා. අපිට බයයි මහත්තයට මොනවා හරි කරයි කියලා. මගෙ පුතෙක් ඉන්නවා. එයාට වුණත් පාරේ යන්න බයයි. ඉඩමට කළා වගේ විනාශයක් ඒ දරුවට කරයි කියලා. අපි අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපි කොච්චර දුකක් විඳලද මේ තත්ත්වයට ආවේ. තේ ගස් ටික උගුල්ලලා මේ විනාශය කරපු අයට අනේ දෙයි හාමුදුරුවොම බලාගන්න ඕනේ…’
එච්.ජී. තුෂාරනන්ද මහතාගේ පුත්‍රයා පවසා සිටියේ මෙවැන්නකි.
‘අපි පදිංචි වෙලා ඉන්නේ මාතර දිස්ත්‍රික්කයේ. ගාල්ල දිස්ත්‍රික්කයයි මාතර දිස්ත්‍රික්කයි වෙන්වෙන්නේ මෙතැන තියෙන ඇළෙන්. කොළඹ ඉඳලා ආවා මිස් කෙනෙක්. එයා කියනවා එයාට අක්කර 600ක ඉඩමක් තියෙනවා, ඒ ඉඩමට තමයිලු අපි ඉන්න ඉඩමත් අයිති. ඒක හින්දා තමයි එයා අපිට අයින් වෙන්න කියන්නේ. අපි දන්න තරමින් නම් අපේ අක්කර දෙක ඒ ඉඩමට අයිති නෑ. අපේ සීයගේ කාලේ ඉඳලා තමයි අපි මේ ඉඩම වගා කරගෙන ඉන්නේ. සීයා නැතිවුණාට පස්සේ අපේ තාත්තා තමයි ඒ වගාව කරගෙන යන්නේ. සෑහෙන මහන්සියෙන් තමයි වගාව කරගත්තේ. නමුත් තේ පැළ, පොල් පැළ ඔක්කොම විනාශ කරලා දාලා තියෙන්නේ දැන්. අපේ ආදායම් මාර්ගය නැතිවෙලා තියෙනවා. අපි ඉල්ලන්නේ මේ ගැන විමර්ශනයක් කරලා සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලයි….’
අසාධාරණයට ලක්වූ එච්.ජී. තුෂාරනන්ද මහතා මෙසේ අදහස් දැක්වීය.
‘යද්දෙහිකන්ද කියන ප්‍රදේශයේ මේ අක්කර දෙකක ඉඩම මම භුක්ති විඳිනවා. තාත්තා ඉන්න කාලේ තාත්තා භුක්ති වින්දා. තාත්තා නැතිවෙලා දැන් අවුරුදු 11ක් වෙනවා. මට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. මගේ තේ ගස් ඔක්කොම ගලවලා ගිනි තියලා තියෙන්නේ. අලුත් ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා මේකට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා. තාත්තා ඉන්නකල් තාත්තා මේ ඉඩමට අක්කර බදු ගෙව්වා. තාත්තා නැතිවුණාට පස්සේ මමත් අවුරුදු 4ක් තිස්සේ අක්කර බදු ගෙවාගෙන යනවා. අවුරුද්දට රුපියල් 320 ගානේ.
මට රට ඉඳලා නෝනා කෙනෙක් කතා කළා. ඒ නෝනා මට කිව්වා ඔය ඉඩමෙන් අයින් වෙන්න, නැත්නම් මම කොළඹින් කට්ටිය එවලා අයින් කරනවා කියලා මට තර්ජනය කළා. නෙළුව පොලිසියේ ඕ.අයි.සී මහත්තයත් මට කතා කරලා කිව්වා අර නෝනාට ඉඩම දෙන්න කියලා. ඒ මහත්තයටත් ඕනෙකම තියෙන්නේ අපිව මෙතැනින් එළවගන්න තමයි. මම ඉඩමේ දඩයම් කරනවා කිව්වා. මම දඩයම් කරන්නේ නෑ. මේ ඉඩම්වල සත්තු ඇත්තෙත් නෑ. මේ පුංචි දරුවෝ දෙන්නා හදාගන්නේ පවු කරලා නෙවෙයි. මම ඉල්ලා සිටින්නේ මේ ගැන පරීක්ෂණයක් කරලා අපිට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලයි….’
NewsCenter.lk ඇසුරිණි










