නිහඬ බරවූ හුස්ම ගන්නවත් අමාරු වගේ රාත්‍රියක්. ඒ රාත්‍රියේදී දෙහැවිරිදි කිරිසප්පයෙක් තමන්ගේ අම්මාගේ උකුලේ නිදාගෙන හිටියා. ඇයට කිසිවක්ම තේරෙන්නේ නැහැ. ලෝකය කියන්නේ ඇගේ අම්මා. ආරක්ෂාව කියන්නේ ඇගේ අම්මා. සැනසීම කියන්නේ ඇගේ අම්මා. දරුවකුගේ පුංචි හිතට දැනෙන්නේ එහෙමයි.Sri Lanka Latest News
නමුත් ඒ අම්මාගේ හදවත තුළ එදා සිදුවෙමින් තිබුණේ වෙනමම යුද්ධයක්. කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ ජීවත්වූ ඇයගේ වයස අවුරුදු 27යි. ජීවිතය ඇයට පහර දුන්නේ දුප්පත්කම හා පියෙකු නොමැතිව දරුවන් දෙදෙනකු සමග තනිවීම වන්නට ඇති. නමුත් එහෙමයි කියලා අහිංසක දරුවන්ව විකුණන්න තරම් මානසිකත්වයක් ආවේ කොහොමද අම්මා කෙනෙකුට? මේ හැමදේම එකතු වෙලා ඇගේ හදවත බිඳදමා තිබුණා.
දස මාසයක් කුස දරාගෙන තමන්ගේ ලෙයින් පෝෂණය කරලා හුස්මක් වගේ ආදරයෙන් රැකගත්ත ඇගේ කුඩා දියණිය විකුණා යන්න ඇය තීරණය කරලා තිබුණා. ඇගේ ඒ තීරණයට බලකර තිබුණේ ඇගේ ජීවිතයට ඇතුළු වූ අනියම් පුද්ගලයෙක්. මේක තමයි එකම විසඳුම කියලා ඔහු කියද්දි මේ අම්මාගේ හදවත කලකිරීම, බිය සහ අසරණකම අතර හිරවෙලා තියෙන්නට ඇති. දරුවාව අලෙවි කරන දවස කිසිම අම්මා කෙනකුට අත්විඳිය නොහැකි වේදනාවක් වන්නට ඇති. රුපියල් හතළිස් දහසක්… ඒක තමයි දරුවාට නියම කරපු මිල වුණේ. දරුවා අතට දෙන මොහොතේ ඇගේ කුඩා අත්දෙක අම්මාගේ ඇඟට තදින් අල්ලා ගත්තා කියලා හිතනවා. නමුත් මේ කිරිසප්පයාට තේරෙන්නේ නැහැ මෙතැන සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ඇයට තේරෙන්නේ එකම දෙයයි ‘අම්මා මට ඕනේ’ කියලා විතරයි. නමුත් ඒ උණුසුම ඒ අත්දෙකෙන් ඈත්වෙලා වෙන අතකට යවන්න මේ අම්මා අනියම් සැමියා සමග තීරණය කරලා තිබුණා.
මේ සිදුවීම මෙතැනින් අවසන් වුණේ නැහැ. පසුගිය 25 වැනිදා මේ දරුවා මිලදීගත් කාන්තාව වුණේ කටුනායක ඇවරියවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 37ක තැනැත්තියක්. ඇය දරුවා හදාගන්නවා කියලා තිබුණත් මේ ක්‍රියාව නීතියෙන් බලද්දි ළදරු ජාවාරමක්. පසුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගේ පැමිණිල්ලක් මත කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය මේ කතාව හෙළිකරගන්නවා. දරුවාගේ මව අනියම් සැමියා සමග සිටියදී ධර්මපුරම් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා. දරුවා භාරදෙන අවස්ථාවේ ගත් ඡායාරූප, ලියවිලි මේ සියල්ලම අනියම් සැමියාගේ ජංගම දුරකතනයේ තිබී හමුවෙනවා. තවත් හද කම්පා කරන කරුණක් වන්නේ ඒ මුදලින් කොටසක් යොදාගෙන එනම් රුපියල් පහළොස් දහසක් යොදාගෙන ජංගම දුරකතනයක් මිලදීගෙන තිබීමයි. එතකොට අපිට දැනෙන හැඟෙන ප්‍රශ්නයක් තියෙනවා. දරුවාගේ වටිනාකම ජංගම දුරකතනයේ මිලටත් වඩා අඩුද කියලා. නමුත් මේ කතාවට අමතරව තවත් සිදුවීමක් තියෙනවා.
පොලිසිය ඉදිරියේ ඒ අම්මා කියලා තිබුණේ මගේ දරුවන් දෙන්නාම තැලසීමියා රෝගයෙන් පෙළෙනවා, ප්‍රතිකාර කරන්න මුදල් තිබ්බේ නැහැ කියලා. එක මොහොතකට හිතන්න මේ වැඩේ හරිද කියලා. අම්මා කෙනෙක් තමන්ගේ එක දරුවෙක් බේරගන්න තවත් දරුවෙක් අහිමි කරගන්නවා. එය හදවතක් හෘද ශාක්ෂියක් නැති ක්‍රියාවක්ද? නැත්නම් අන්ත අසරණභාවයක අවසාන පියවරද?
ඇයට දරුවා දී තිබුණේ දරුකමට හදා වඩා ගැනීමට බවයි පරීක්ෂණවලින් අනාවරණ වී තිබුණේ. වහාම ධර්මපුරම් පොලිසිය මේ අම්මා කියන තැනැත්තිය සහ ඇගේ අනියම් සැමියාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා. දරුවා මිලදීගත් කාන්තාවද පොලිස් භාරයට පත්ව තිබුණා. එක් අතකින් මෙය ළමා ජාවාරමක්.
පොලිස් අත්අඩංගුවට ගත් මව ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ විකුණූ දරුවාත් ඇගේ සිවු හැවිරිදි වැඩිමහල් සොහොයුරියත් තැලිසීමියා රෝගයෙන් පෙළෙන බවයි. වැඩිමහල් දියණියගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මෙම මුදල ලබාගත් බවයි. සැකකරුවන් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. මේ කාන්තාව සමග ඇගේ දරුවන් දෙදෙනාද රක්ෂිත බන්ධනාගාරයේ රඳවාගෙන තිබේ.
පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ මේ මව සහ අනියම් ස්වාමිපුරුෂයා නිරුත්තර වී තිබුණා. මොකද පොලිසිය අසා තිබුණේ ඇයි දරුවා විකුණා ෆෝන් එකක් ගත්තේ යන ප්‍රශ්නයට ඔවුන්ට දීමට පිළිතුරක් නොමැති වීමෙනි.
අපිට මේ සිදුවීම මතක්කර දෙන්නේ මවකගේ සෙනෙහස මිල කළ හැකිද? දරුවෙකුගේ වටිනාකම රුපියල් දහස් ගණනකින් මැනිය හැකිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම පවා කම්පනයක් ගෙනදෙයි. අම්මාගේ ආදරය කියන්නේ ලෝකයේ පිරිසිදුම ආදරය කියලා අපි කියනවා. නමුත් ජීවිතයේ සමහර කටුක තත්ත්වයන් ඒ ආදරය පවා පරාජය කරනවා. එහෙම වෙන සමාජයක අපිට නිහඬව ඉන්න පුළුවන්ද? ගෙවල්වල අගහිඟකම් තියෙන්න පුළුවන්. දරුවන් ලෙඩ වෙන්න පුළුවන්. ඒවා සාමාන්‍ය දේවල්. තමන්ගේ දරුවන්ව වෙළෙඳ භාණ්ඩ කරගන්න පුළුවන්ද මවුපියන්ට? ඒ ගන්න මුදලින් ජංගම දුරකතනයක් ලබාගත්තේ ඇයි? දරුවාගේ වටිනාකම කොහේද සැඟවුණේ? මිනිස්සු අමනුස්සයන් ලෙස ක්‍රියා කරන්න පුරුදු වෙලා. හදවතක් තියෙන අපි මේවා අහනකොට ලැජ්ජා විය යුතුයි. මොකද අහිංසක දරුවන් පාපතරයන්ගේ ගොදුරු බවට පත්වන නිසයි. දරුවෙක් කියන්නේ විකුණන්න ඕන සම්පතක් නෙවෙයි. ජීවිතයක් කියන්නේ වගකීමක්. අපිට භාරදුන්න වගකීමක්. ඒ කිරිසප්පයා ලොකුවෙලා කවදා හරි දවසක අහන්න පුළුවන් ‘අම්මා මාව ඇයි දීලා දැම්මේ?’ එදාට ඒ අම්මාගේ හදවත පළාගෙන යන්න තරම් දුකක් දැනෙයි. නමුත් ඒ අම්මා දරුවෙක් ආරක්ෂා කරන පොරොන්දුව බිඳලා දැම්මා. දරුවෙක් කියන්නේ ආදරයෙන් රැකබලා ගෙන ගුණ ධර්මවලින් පෝෂණය කර සමාජයට දයාද කළ යුතු සම්පතක් මිස වෙළෙඳ භාණ්ඩයක් නොවන බව අපි හැමෝම මතක තබාගත යුතුයි.
දසමස කුස හොවාගෙන
පෝෂණය කළ ඒ සෙනෙහසට
මිලක් තියෙනවාද?
කුඩා අත තදින් අල්ලාගෙන ‘මට ඔයා ඕනේ’ කියලා
නිහඬව හිත යටින් හඬද්දි
ඒ හඬ අහන්න බැරි වුණාද අම්මේ…
රුපියල් හතළිස් දහසක්
ඒකද දරුවෙකුගේ වටිනාකම?
නැත්නම් අසරණ හදවතක
අවසන් විකල්පයද?
අම්මේ ඔයාගේ උණුසුමට
ලෝකයක්ම සමාන වෙන්නේ නැහැ කියලා
ඇයට හදවතට දැනෙයි දවසක
ඒ දවසට ඇය අහයි කඳුළු අතරින්
මාව ඇයි අත්හැරියේ?
එදාට නිසැකවම හදවත කකියන
වේදනාවක් වෙයි ඔබට

නිලන්ති රේණුකා










