USAID ආයතනයේ ප්‍රධාන පරිපාලක සමන්තා පවර් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරය තුළදී සිදුවූ එක්තරා විශේෂ හමුවක අතිවිශේෂ ඡායාරූපයක් මෙවර අප පළමු වරට ‘මව්රට’ ඔස්සේ රටට අනාවරණ කිරීමට කටයුතු කරමු.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ඡායාරූපයට අදාළ සිදුවීම සිදුව දින 04ක් ගත වුවද ලංකාවේ කිසිදු මාධ්‍යයක් මෙම ඡායාරූපයට හෝ ඊට අදාළ පුවතට හෝ කිසිදු ප්‍රසිද්ධියක් ලබා නොදීමය.
මෙම ඡායාරූපයට අදාළ සිදුවීම සිදුවූයේ පසුගිය අඟහරුවාදා දිනයේදීය.
එදින සමන්තා පවර් මහත්මිය සහ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් බත්තරමුල්ලේ පිහිටි වෝටර්ස් එජ් හෝටලයේදී සිදුවිය.
එම හමුවට සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය, දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන්, මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සාමාජික මනෝ ගනේෂන් යන මහත්වරුද, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියද එක්ව සිටියහ.
එම සාකච්ඡාවේදී විපක්ෂයේ සියලු නියෝජිතයන් සමන්තා පවර් මහත්මිය හට අවධාරණය කොට කියා ඇත්තේ වත්මන් ආණ්ඩුවට කිසිදු ජන වරමක් නොමැති බවත්, එම නිසා හැකි ඉක්මනින් ජන වරමක් සහිත ආණ්ඩුවකට ඉඩකඩ සලසා දිය යුතු බවත්ය.
එහිදී මෙම විපක්ෂ නියෝජිතයන් සමන්ත පවර් මහත්මියට නොකියා කියා තිබුණේ වහාම මහ මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවට බලකළ යුතු බවකි.
මීට අමතරව ආණ්ඩුව දැනට අරගලයේ නියුතුව සිටි ක්‍රියාකාරීන් ඉලක්ක කරගෙන දියත් කර ඇති මර්දනය සම්බන්ධයෙන්ද මෙහිදී විපක්ෂ නියෝජිතයන් සමන්තා පවර් මහත්මියව දැනුවත් කර ඇති බවද දැනගන්නට ඇත.
මෙම සාකච්ජාව පැවැත්වීමට පෙරාතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමන්තා පවර් මහත්මිය අතර මුහුණට මුහුණ වෙනම සාකච්ජාවක්ද වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වී තිබේ.