• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

ආචාර්ය-මහාචාර්ය නාඩගමෙන් පසු අධ්‍යාපන සුදුසුකම් ගැන සජබය ඇතුළේ ලොකු සාකච්ඡාවක්! සජිත් දැඩි තීන්දුවක් ගනී! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

December 15, 2024
in Exclusive, Rajya Rahas
Reading Time: 16 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේදී අනුරට එන අභියෝග!

සජබය වර්ජන තීන්දුවක් ගනී!

රනිල් නත්තල් නිවාඩුවට ආපහු රට යයි!

අනුර ව්‍යාපාරිකයන් හමුවෙයි!

කතානායක කට අරී
.
‘එතකොට යුනිවර්සිටි එක හැදිලා තිබුණේ නැහැනේ අපිට. යුනිවර්සිටි එක ඒවෙලා වේ ඇෆ්ලිටියේට් වෙලා තිබුණේ, UGC එකෙන් පරිවර්තනය වෙලා ආපු කාලෙනෙ අපි ඒක කළේ, එතකොට තිබුණේ ෆැකල්ටි එකක් විතරයි තිබුණේ. ටෙක්නිකල්…. මොකද්ද ඒකට කියන්නේ. මම ඒක දුන්න විදිහට නෙමේ දාලා තියෙන්නේ. කමන් නැහැ ඒක.’Sri Lanka Latest News

එසේ නම් ඒ අනුව නිවැරදි ලෙස ඔහුගේ මූලික උපාධිය සඳහන් කරන්නේ කෙසේදැයි විමසා සිටි අවස්ථාවේදී අශෝක රංවල කියා සිටියේ, ‘ඒක මං ඔයාට ලියල එවන්නද?’ යනුවෙනි.

කතානායක අශෝක රංවලගේ දේශපාලන කටයුතු පිළිබඳ නිරන්තරයෙන් යාවත්කාලීන කරන ෆේස්බුක් ගිණුමේ (තහවුරු නොකළ) ඔහු පිළිබඳ සඳහන් තොරතුරු නිවැරදි ද යන්න පිළිබඳව බීබීසී සිංහල ඔහුගෙන් ඉන් අනතුරුව විමසීමක් කළේය.

‘නැහැ. තාම ඔෆීෂයල් පේජ් එක හදලා නැහැ. එක එක්කෙනා මගේ වෙනුවට හදපුව තමා ඒවා.’

‘ඒ දවස්වල මම ෆැකල්ටි එකේ ලොකු වැඩ කොටසක් කළානේ. පක්ෂයේ වැඩ කොටසක් කළානේ ෆැකල්ටි එකේ. ඒවත් එක්ක තමා ඔය දාලා තියෙන්නේ.’ අශෝක රංවල කියා සිටියේය.
අශෝක රංවලගෙන් බීබීසී සිංහල නැවත විමසා සිටියේ ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු ලෙස හැඳින්විය හැකිද යන්න පිළිබඳවය.

‘ඒක උපාධියක් නෙමේ. ඊට පස්සේ අවුරුදු ගාණක් පිරුණම උපාධියක් බවට පත් කර ගත්තා අපි. නමුත් ඒක වෙන්න ඇති ඕක ප්‍රශ්න කරනවා ඇත්තේ.’

‘පෙට්‍රෝලියම් එකේ මම ඉන්දැද්දි දෙකම එකට කරලා තමයි ගත්තේ. (උපාධිය) ඒකයි ඔය. පෙට්‍රෝලියම් එකේ ඉංජිනියර්ස්ලා හිටියානේ. මම ඉංජිනියර් කෙනෙක් නෙමෙයි හින්දා තමා ඔය කියන්නේ පෙට්‍රෝලියම් එකේ.’

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සේවය කරන සමයේ ඔහු කුමන ධුරයක් දැරූවේ දැයි බීබීසී සිංහල ඔහුගෙන් විමසීමක් කළේය.

‘මම කාර්මික නිලධාරී විදිහට හිටියේ.’

බීබීසී සිංහල අනතුරුව ඔහුගෙන් විමසා සිටියේ ඔහුගේ දැන් විවාදයට තුඩු දී ඇති ආචාර්ය උපාධිය පිළිබඳවය.

එහිදී ඔහු සඳහන් කළේ ආචාර්ය උපාධිය ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් ලබාගත් බවය.

එය ජීව රසායනය සම්බන්ධ ආචාර්ය උපාධියක් බවද අශෝක රන්වල එහිදී පැවසීය.

ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේ කුමන වසරේ දැයි බීබීසී සිංහල විසින් ඔහුගෙන් විමසීමක් කළේය.

‘ඒක කළේ… අසූ… අනූ හයේ වගේ.’

කෙසේ නමුත් අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ බීබීසීය විමසා සිටි කරුණු සම්බන්ධයෙන් ලිඛිතව පිළිතුරු එවීමට පොරොන්දු වූ කරුණු, කතානයක අශෝක රංවල මේ දක්වා ගතවූ දින 14 තුළ අප වෙත එවා නැත.

ඒ සම්බන්ධයෙන් යළි දුරකතන ඇමතුමක් දෙන බව ඔහු අප වෙත පැවසුව ද මේ දක්වා අප වෙත දුරකතන ඇමතුමක් ලබාදී නැත.

තවත් චෝදනා එනවා

මේ, පසුගිය සතියේ කතානායක අශෝක රංවල මහතා බීබීසී සිංහල පුවත් සේවයට සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනය පිළිබඳ විසමීමේදී ලබාදී තිබූ ප්‍රකාශයය. මේ ආන්දෝලනය මුලින්ම මතුවූයේ මොරටු සරසවියේ ආචාර්යවරයකු රංවලගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුකිරීමත් සමගය. ඉන් අනතුරුව මාලිමාවට සහාය දුන් පිළිගත් පුද්ගලයන් පවා ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමත් සමග එය පසුගිය සති දෙක තුළ විශාල සමාජ කතිකාවක් බවට පෙරළී ගියේය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් තවමත් නිශ්චිත ප්‍රකාශයක් සිදුකොට නොමැති අතර, ආණ්ඩුව පවසන්නේ ලබන 17 වැනි දින පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු කතානායකවරයා මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරනු ඇති බවත්, ඉන් අනතුරුව කතානායකවරයා සම්බන්ධයෙන් අවශ්‍ය නම් තීන්දු තීරණ ගැනීමට ආණ්ඩුව සූදානම් බවත්ය.

මීට අමතරව අශෝක රංවලගේ පමණක් නොව මාලිමාවේ සිටින තවත් කිහිප දෙනකුගේ උපාධිය සම්බන්ධයෙන්ද මේ වනවිට යම් යම් පිරිස් ප්‍රශ්න කරමින් සිටින ආකාරයක් දැකගැනීමට තිබේ. එම චෝදනා කරන විපක්ෂ පිරිස් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ තේරීම් කාරකසභාවක් ස්ථාපිත කොට හෝ මේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කළ යුතු බවකි. එවිට ඇත්ත උපාධි, බොරු උපාධි ඇත්තේ කාටද යන්න සොයාගත හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ.

සජිත්ටත් ප්‍රශ්නයක්

කෙසේ වෙතත් පසුගිය සතියේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැති අතර, එහිදී බොහෝ දෙනා බලා සිටියේ සජිත් මේ උපාධි සම්බන්ධයෙන් කවර ආකාරයේ ප්‍රතිචාරයක් දක්වනු ඇද්දැයි කියාය. මන්දයත් 2019 ජනාධිපතිවරණ සමයේ ගෝඨාභයට එරෙහිව සජිත් තරග වදින විට එල්ල වූ ප්‍රබල චෝදනාවක් වූයේ සජිත්ටද අධ්‍යාපන සුදුසුකම් නැතැයි කියාය. සජිත්ට අධ්‍යාපන සහතික නැතැයි කියාය. ඒ කාලයේ ජවිපෙ සජිත්ට එරෙහිව සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් උඩ පැනපැන මඩ ගැසුවේය. ඒ නිසාම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සජබ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම රංවලගේ මේ ආචාර්ය උපාධි ප්‍රශ්නය පිළිබඳ සජිත්ගෙන් විමසා සිටියහ.

‘එදා මේ කට්ටිය ඔබතුමාටනේ ගැහුවේ අධ්‍යාපන සහතික නෑ කියලා. අද ඒ අයටම ඒක පාරාවළල්ලක් වෙලා ඇවිත්…’ යනුවෙන් මන්ත්‍රීවරුන් කියද්දී සජිත් සිනාසෙමින් කීවේ ‘අයියෝ මේ අය මට මොනවා කියලද එදා නොගැහුවේ. මේ අධ්‍යාපන සුදුසුකම් ගැන හොයන්න තේරීම් කාරකසභා නෙවෙයි ජනාධිපති කොමිසමක් දැම්මත් මට කමක් නෑ. එහෙම නීත්‍යනුකව ඒවා හොයන වෙලාවට මම මගේ ඕලෙවල්, ඒලෙවල් සහතික, එංගලන්තෙ, ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලවලින් ගත්ත සහතික ඉදිරිපත් කරන්න සූදානම්. මම ඔය අධ්‍යාපන සහතික කියන ඒවා බෙල්ලේ එල්ලගෙන ප්‍රදර්ශනය කරමින් යන කෙනෙක් නෙවෙයි. ඉල්ලපු වෙලාවට මම ඒවා දෙන්නම්. එතකන් මේ අයට ඔහොම ගහගෙන යන්න දෙන්න. දැන් මම දැක්කා සමහරු මේ ආචාර්ය උපාධිය ගැන මොරටු විශ්වවිද්‍යාලයෙන් අහලා තිබ්බා. ලියුම් ලියලා ජපාන විශ්වවිද්‍යාලයෙන් අහලා තිබ්බා. ඒ කැම්පස්වල වෙබ්සයිට්වලින් බලලා තිබ්බා. ඉතින් ඒ දවස්වල මේ විදියටම මගේ අධ්‍යාපන සහතික ගැනත් ඒ විශ්වවිද්‍යාලවලින් අහන්න ඇති. ගෝඨාගේ, රනිල්ගේ, අනුරගේ අය ලියුම් ලක්ෂ ගානක් ලියන්න ඇති. හැබැයි ඉතින් ඒ සහතික බොරු ඒවා නෙවෙයි හින්දා මේ අයට දිගටම ඒ මඩේ ගහන්න බැරි වුණා. ඒ නිසා අපි මේවට කලබල නොවී ඒ අයටම මේකට ගහගන්න ඉඩ දෙමු. අපේ තීන්දුව අපි වෙලාවට ගමු…’ යන්න එහිදී සජිත් මන්ත්‍රීවරුන්ට ලබාදුන් පිළිතුර විය.

සජිත් හොරෙන් ගිය ගමන

මේ අතර සජිත් පසුගිය සතියේ විශේෂ කටයතු කිහිපයකම නිරත වී සිටියේය. ඉන් එකක් වූයේ කාටවත් නොකියා හදිසියේම පාර්ලිමේන්තු යෑමය. ඒ ගියේ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ සේවය කරන කාර්ය මණඩලය මුණගැසී සාකච්ඡා කිරීම සඳහාය. ඒ සඳහා බලපා තිබූ ප්‍රධානම හේතුව වූයේ විපක්ෂ නායක කාර්ය මණ්ඩලයේ ඇතැමුන් කිසිදු වැඩක් නොකර නිකරුණේ කාලය ගතකරන බවටත්, යන එන වෙලාවන් පවා හිතුමතේ කරන බවටත් කාලයක් තිස්සේ චෝදනා එල්ල වෙමින් තිබීමය. ඒ අනුව හදිසියේම පාර්ලිමේන්තුවට ගිය සජිත් සිය කාර්ය මණ්ඩලය හමුවී ඒ සියලු දෙනාටම ඉලක්ක ලබාදීමට පියවර ගත්තේය. පාර්ලිමේන්තුවේ පර්යේෂණ සිදුකරන ආකාරය, මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන ආකාරය පිළිබඳ වරුවක් තිස්සේ පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් ඔවුන් දැනුවත් කිරීමටද සජිත් කටයුතු කළේය.

සජිත්-බිමල්-සුනිල් එකට

මීට අමතරව පසුගිය සතියේ සජිත්ට කටාර් රාජ්‍යයේ ජාතික දිනය වෙනුවෙන් ෂැංග්‍රිලා හෝටලයේ පැවැති නිල උත්සවයට සහභාගි වන ලෙසට කටාර් තානාපති කාර්යාලයෙන් ආරාධනාවක් ලැබී තිබිණි. ඒ අනුව සජිත් ඊට සහභාගි වීමට ෂැංග්‍රිලා හෝටලයට ගිය විට ආණ්ඩුව නියෝජනය කරමින් අමාත්‍යවරුන් වූ බිමල් රත්නායක සහ සුනිල් හඳුන්නෙත්තිද ඊට එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී ආසන පනවා තිබුණේද සජිත්ට මැද ආසනයක් ලබාදී බිමල්ට සහ සුනිල්ට සජිත්ගේ දෙපස ආසන ලබාදෙමිනි. ඒ අනුව උත්සවය පුරාම සජිත් හා බිමල්, සුනිල් අතර ලොකු කතාබහක් සිදුවන ආකාරයක් උත්සවයට පැමිණ සිටි සියලු දෙනාටම දැකගන්නට ලැබිණි. බොහෝ දෙනා එය මේ දිනවල උණුසුම් මාතෘකා වන කතානායකවරයාගේ ප්‍රශ්නය හෝ හාල් මිල ගැන විය හැකි බවට අනුමාන කළත් තිදෙනා අතර සාකච්ඡා වී තිබුණේ ඒ කිසිවක් නොව ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ මාතෘකාවන්ය. උදාහරණයක් ලෙස සිරියානු ප්‍රශ්නය, ඊශ්‍රායල් ප්‍රශ්නය ආදිය පිළිබඳ තිදෙනා අතර දීර්ඝ කතාබහක් එහිදී සිදුව තිබිණි.

මේ අතර පසුගිය සතියේ පැවැති පක්ෂ නායක රැස්වීමටද සජිත් සහභාගි වී සිටියේය. එහිදී සාකච්ඡාවට ගැනුණේ මෙවර පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම පිළිබඳවය. එහිදී සජිත් ආණ්ඩුව මැතිවරණ සමයේදී රටට කී පරිදි අයි.එම්.එෆ්. ගිවිසුම වෙනස් කළ යුතු බව කියමින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්දයක් ඉල්ලා සිටීමට පියවර ගත්තේය. නමුත් ආණ්ඩුවෙන් ඊට සාධනීය ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ආණ්ඩුව පැත්තෙන් කියැවුණේ ඊට ඡන්දයක් පැවැත්විය නොහැකි බවත්, අවශ්‍ය නම් කල්තැබීමේ විවාදයක් පමණක් ලබාදිය හැකි බවත්ය.

කෙසේ වෙතත් මෙහිදී අදහස් දැක්වූ රවී කරුණානායක මහතා කියා සිටියේ මූල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනයකින් තොරව ඉදිරියට රැගෙන යෑමට ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි කියාය.

සූම් සාකච්ඡාවක්

මීට අමතරව පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සූම් සාකච්ඡාවක්ද පැවැත්විණි. එහිදීද මන්ත්‍රීවරුන් දැඩිව පෙන්වා දුන්නේ මේ වනවිට කතානායකවරයාගේ ප්‍රශ්නය ඉතා බරපතළ තත්ත්වයකට පෙරළී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සමාජයේ විශාල චෝදනාවක් මාලිමාව පැත්තට එල්ල වී ඇති බවත්ය. ඒ අනුව වහාම කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු බව සජබ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබිණි. මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරිපත් වූ එම යෝජනාව අනුව ඊට එකඟතාව පළකළ සජිත් අදාළ කෙටුම්පත සකස් කිරීමේ කටයුතු අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයාටත්, ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයාටත් පැවරීමට පියවර ගත්තේය. මීට අමතරව අදාළ කටයුත්තට විපක්ෂයේ සහාය ලබාගැනීම සඳහා අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කිරීම පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට පැවරිණි.

ඉන් අනතුරුව සාකච්ඡා වූයේ මේ දිනවල ආණ්ඩුව පැත්තෙන් යම් යම් චෝදනා එල්ල කරමින් පවතින ඔන්ලයින් පනත පිළිබඳවය. එහිදී මන්ත්‍රීවරුන් බොහොමයක්ම සජිත්ට පෙන්වා දුන්නේ ආණ්ඩුවට මේ වනවිට සමාජ මාධ්‍ය හිසරදයක්ව පවතින නිසා ඔවුන් ඊට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවකි. සජිත් මෙන්ම සජබයද සමාජ මාධ්‍යවලින් දැඩිව බැට කා ඇති නිසා මින් ඉදිරියට කිසිසේත්ම ඔන්ලයින් පනතට පක්ෂව අදහස් නොදැක්විය යුතු බවත්, එය අහෝසි කිරීමට කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරුන්ගේ අදහස විය.

සජිත් එදා ගත් තීන්දුවේම

නමුත් මෙහිදී සජිත් ඊට එරෙහිව දැඩි ස්ථාවරයක් ගත්තේ මන්ත්‍රීවරුන් සියල්ලන්ම පුදුමයට පත්කරමින්ය.

‘සමාජ මාධ්‍යවලින් වැඩියෙන්ම ගුටි කෑවේ මම. වැඩියෙන්ම මඩ ගැහුවේ මට. වෙන කවුරුත් නෙවෙයි. මට විතරක් නෙවෙයි මගෙ අම්මා තාත්තට, මගෙ පවුලට, මගේ නංගිට, මගේ දුවට පවා සමාජ මාධ්‍යවලින් පහර ගැහුවා. හැබැයි එහෙම වුණා කියලා මම මගේ ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නෑ. අපි එදත්, අදත්, හෙටත් සමාජ මාධ්‍ය වාරණයට විරුද්ධයි. පෞද්ගලික වාසි තකා අපි අපේ ප්‍රතිපත්තිය කීයටවත් වෙනස් කරන්න හොඳ නෑ…’ යන්න සජිත්ගේ ස්ථාවරය විය.

ඉන් අනතුරුව සාකච්ඡා වූයේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඇති කමිටු ප්‍රමාණය අඩු කිරීමට දරන උත්සාහය සම්බන්ධයෙනි. මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ඊට දැඩිව විරෝධය පළකළ යුතු බවත්, ආණ්ඩුව එසේ විපක්ෂයට අදහස් දැක්වීමේ අයිතිය අහුරාලීමට කටයුතු කරන්නේ නම් එම කමිටු සියල්ලම වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කළ යුතු බවත්ය.

නමුත් මෙහිදී සජිත් පෙන්වා දුන්නේ දැනටමත් මුදල් කමිටුවේ සභාපති ධුරය සඳහා හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට සජබය කටයුතු කර ඇති බවකි. එමෙන්ම පක්ෂ නායක රැස්වීමද පාර්ලිමේන්තුවේ වැදගත් කමිටුවක් බව සජිත් පිරිසට පෙන්වා දුන්නේය. ඒ අනුව අවසානයේ සජබය තීන්දු කළේ මුදල් කමිටුව සහ පක්ෂ නායක රැස්වීම හැරුණු විට අනෙකුත් සියලු කමිටු වර්ජනය කිරීමටය. ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කිරීමටද එහිදී තීන්දු විය.

අනුර තීන්දුවක් අරන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පළමු සංචාරය වූ ඉන්දීය සංචාරය සඳහා සූදානම් වූයේ රට ඇතුළේ මෙවැනි තත්ත්වයක් මතුවෙමින් පවතිද්දීය. සිකුරාදා දිනයේදී ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව යෑමට ප්‍රථම තවත් විශේෂ රැස්වීමක් පැවැත්වීමටද පියවර ගත්තේය. ඒ, රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් සමගය. එහිදී ජනාධිපතිවරයා මේ වනවිට කතානායකවරයා සම්බන්ධයෙන් මතුව අති ප්‍රශ්නය සම්බන්ධයෙන්දෝ නම්ගම් සඳහන් නොකරමින් කිසියම් විශේෂ ප්‍රකාශයක් කිරීමට පියවර ගත්තේය.

‘ඉතිහාසයේ පළමු වැනි වතාවට මෙවර මේ රටේ ජනතාව අවස්ථා දෙකකදී අපට සහ ජාතික ජන බලවේගයට ලබා දුන් ඓතිහාසික ජනවරමේ අර්ථය සහ හරය කුමක්ද කියන එක සම්බන්ධව අපට පුළුල් කියවීමක් තියෙනවා. ප්‍රමිතිගත සහ ස්ථාවර රටක් නිර්මාණය කරනු ඇතැයි යන විශ්වාසය ඇතිව මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බිහිකළා. ඒ සුවිශේෂ විශ්වාසයට අබමල් රේණුවකින් හෝ හානියක් වන්නට අපේ ආණ්ඩුව කිසි විටෙකත් ඉඩක් තබන්නේ නැහැ. ඉතාම කෙටියෙන් කිවහොත්, රට තුළ වැරදි කරන කිසිවෙකු, කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ. රට තුළ පමණක් නෙවෙයි, අපේ ආණ්ඩුව තුළ කවර තරාතිරමක කෙනෙක් වුණත් වැරැද්දක් කරනවානම් ඒ වැරැද්දට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න අපි පැකිළෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගත යුතු නිවැරදිම මොහොතේ ගැනීමට අප දෙවරක් කල්පනා කරන්නේ නැහැ….’ යන්න එහිදී ජනාධිපතිවරයා කී කතාව විය.

ඉන්දීය ගමන

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයට පිටව යන මොහොතේ ජනාධිපතිවරයා ඉදිරියේ තවත් ප්‍රශ්න රැසක් මතුව තිබිණි. ඉන් පළමු වැන්න වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව සමග ඇතිකරත් එකඟතා ගිවිසුම් තවදුරටත් ඉදිරියට රැගෙන යනවාද යන්නය. දෙවැන්න වූයේ අලුතෙන් ඉන්දියාව සමග ඇතිකරගන්නා එකඟතා මොනවාද යන්නය. තුන්වැන්න වූයේ කොළඹ වරායේ බටහිර පර්යන්තයේ හිමිකාරීත්වය ඇති ඉන්දීය කෝටිපති ගෞතම් අදානිගේ ව්‍යාපෘති තවදුරටත් ඉදිරියට ගෙනයනවාද යන්නය.

කෙසේ වෙතත් මේ වනවිට අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක නඩු ගොනුකොට ඇති අතර, ඒ හේතුව මත අදානිගේ ඇමෙරිකානු ආයෝජන පිළිබඳ බරපතළ තත්ත්වයක් මතුව තිබේ. ඒ අනුව අදානිගේ ලංකාවේ ව්‍යාපෘති පිළිබඳවද ගැටලුවක් මතුවෙද්දී වහාම අදානි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා තමන් ඇමෙරිකානු බැංකුවකින් මුදල් ඉල්ලා ඉදිරිපත් කර තිබූ යෝජනාව ඉවත් කරගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සම්පූර්ණ කරගැනීමට තමන්ට හැකියාව ඇති බවත්ය. ඒ හරහා අදානි ලබාදී තිබූ ඉඟිය වූයේ ඇමෙරිකානු තීන්දුව හමුවේ තමන් වැටී නොමැති බවත්, අදාළ ව්‍යාපෘති තමන්ට තවදුරටත් ඉදිරියට ගෙනයා හැකි බවත්ය. ඒ අනුව මුලින් අදානිගේ ප්‍රශ්නය ඉන්දියානු සාකච්ඡා මේසයේදී කතාබහ නොකිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබුණත් ඉන්දීය සංචාරය කටමුල තියා අදානි විසින් සිදුකළ මෙම ප්‍රකාශය මුල්කරගෙන එම ආයෝජන පිළිබඳ ඉන්දියාවේදී සාකච්ඡා කරන තැනට ජනාධිපතිවරයා තල්ලු කිරීමට අදානි සමත් වී තිබේ.

කෙසේ වෙතත් අදානිගේ ප්‍රකාශය නිකුත් වීමට ප්‍රථම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබුණේ දැනට ඉන්දියාව සමග ඇතිකරගෙන ඇති එකඟතා සහ ගිවිසුම් ඉදිරියට සිදුකරගෙන යෑමටය. නමුත් සාකච්ඡා මට්ටමේ පවතින සහ එකඟතාවන්ට පැමිණීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ යළිත් වතාවක් අධ්‍යයනය කිරීම සඳහා කල් ඉල්ලීමට ජනාධිපතිවරයා මෙම ඉන්දීය සංචාරයේදී තීරණය කොට ඇත. මුලින් අදානිගේ ව්‍යාපෘති අවලංගු කිරීමට තීරණය කොට තිබියදී ඇමෙරිකාවෙන් ලද තීන්දුව හමුවේ ජනාධිපතිවරයා වාසිසහගත විකට්ටුවක සිටියත් අදානිගේ ප්‍රකාශය හරහා නැවත වතාවක් බෝලය ජනාධිපතිවරයාගේ පිටියට වැටී ඇති බවක් දැකගැනීමට පුළුවන.

රනිල් ගැන සැකයක්

මෙම පසුබිම යටතේ පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා වන සංතෝෂ් ජා මහතා නවදිල්ලිය බලා පිටත්ව ගියේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේ න්‍යායපත්‍රය සකස් කිරීම සඳහාය. එසේ වුවත් ඉන්දීය සංචාරය කට මුල තියා ජනාධිපතිවරයාට තවත් සැකයක්ද මතුව තිබේ. ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් වරට සිදුකළ ඉන්දීය සංචාරය අතරතුරදී අනුරගේ ඉන්දීය ගමන කඩාකප්පල් කිරීම සඳහා යම් යම් දේවල් සිදුකළාද යන සැකය ජනාධිපතිවරයාට පැනනැගී තිබීමය. මේ සම්බන්ධයෙන් ලැබී තිබූ යම යම් තොරතුරු නිසා ජනාධිපතිවරයා පසුවූයේ තරමක කේන්තියකින් යුතුවය. ඒ සම්බන්ධයෙන් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප යම් සටහනක් තැබුවේ ඒ පිළිබඳ අපටද යම් යම් තොරතුරු වාර්තා වී තිබීම නිසාය.

ජනවාරියේ චීනයේ

කෙසේ වෙතත් සිය ඉන්දීය සංචාරයට ප්‍රථමව ජනාධිපතිවරයා තමන්ගේ ඊළඟ සංචාරය පිළිබඳවද මේ වනවිට තීන්දුවක් ගෙන තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා බලාපොරොත්තු වන්නේ ලබන ජනවාරි මාසයේදී චීන සංචාරයක නිරත වීමටය. එමනිසා ඉන්දීය සංචාරය අතරතුරදී චීන සංචාරය සඳහාද මේ වනවිට ලහිලහියේ කටයුතු සූදානම් වෙමින් පවතින ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ සඳහා විශාල වැඩකොටසක් තිරය පිටුපස සිදුකරන්නේ මෙරට චීන තානාපතිවරයා වන කී ෂෙන් හොන් මහතාය. ෂෙන් හොන් මහතා මේ වනවිට වසර ගණනාවක් පුරා ලංකාවේ තානාපති ධුරය දැරීම හේතුවෙන් ලංකාව මුහුණ දී සිටින අභ්‍යන්තර අර්බුද මෙන්ම ජාත්‍යන්තර අර්බුදවල සිවුකොනද හොඳින් දනී. එමෙන්ම ලංකාව මුල්කරගෙන ඉන්දියාව සහ ඇමෙරිකාව චීනය සමග ගැටුම් ඇතිකරගත්තේ කෙසේද යන්න පිළිබඳවද චීන තානාපතිවරයා හොඳින් දනී. එම නිසා ජනාධිපතිවරයාගේ චීන සංචාරයට ප්‍රථම චීන තානාපතිවරයාගේ මැදිහත් වීමෙන් පසුගිය සති කීපය පුරා ලංකාවට විශේෂ වරප්‍රසාද රැසක්ම චීනයෙන් ලබාදීමට කටයුතු කොට තිබිණි.

ඉන් එකක් වූයේ මීට දින කීපයකට පෙරාතුව චීනයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට එවා තිබූ ලිපියකි. එහි සඳහන් වූයේ මේ වනවිට ඇඳන් 700ක් සහිත වෛද්‍ය නෞකාවක් කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා ඇති බවත්, එමගින් ලංකාවේ පුද්ගලයන්ට නොමිලේ වෛද්‍ය පරීක්ෂණ කරගැනීමට හැකි බවත්ය. කෙසේ වෙතත් මෙවැනි වෛද්‍ය පරීක්ෂණ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ විවිධ මතිමතාන්තර තිබේ. ඇතැමුන් කියන්නේ මේ හරහා ජාන සොරකම පවා සිදුකළ හැකි බවකි. ඇමෙරිකාව, ඊශ්‍රායලය යන රටවල් කිසිසේත්ම මෙවැනි ආකාරයේ පරීක්ෂණ සඳහා ඉඩ දීමක් නොකරන්නේ ඒ නිසාය.

චීනයෙන් මෙම යෝජනාව ඉදිරිපත් වී තිබුණේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරකසභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමැති සුන් හයියැන් මහත්මිය ලංකාවේ සිදුකළ සංචාරයෙන් අනතුරුවය. හයියෑන් සැලකෙන්නේ ජනාධිපතිවරයා සහ චීනය අතර සබඳතාව ගොඩනැගූ පාලම ලෙසටය. ජනාධිපතිවරයා 2023 වසරේ චීනයේ කළ සංචාරය අතරතුරදී සාකච්ඡා කළේ මේ හයියෑන් සමගය. එමෙන්ම හයියෑන් මහත්මිය ලංකාවට දෙවතාවක් පැමිණි අතර, පළමු අවස්ථාවේදී පැලවත්තේ පක්ෂ කාර්යාලයටම ගොස් අනුර මුණගැසීමටත්, දෙවැනි අවස්ථාවේදී ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපති අනුර මුණගැසීමටත් හයියෑන් පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් චීනයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙර කී යෝජනාව ඉදිරිපත් වී තිබුණේ හයියෑන්ගේ මෙම සංචාරයෙන් අනතුරුවය.

හම්බන්තොටට ලොකු ආයෝජනයක්

අනෙක් පැත්තෙන් චීනය මේ වනවිට හම්බන්තොට වරායට විශාල වශයෙන් ඇතුළු වීම සඳහා සැලසුම් සකස් කොට ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ. ඉකුත් ආණ්ඩු සමයේදී හම්බන්තොට වරායට යාබදව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා විශාල ඉඩම් ප්‍රමාණයක් එවක ආණ්ඩු විසින් චීනයට නිදහස් කර තිබූ අතර, චීනය මේ වනවිට සූදානම් වන්නේ දැවැන්ත ආයෝජනයක් සමග හම්බන්තොට මෙම තෙල් පිරිපහදුව ඉදිකිරීමටය. ඒ හරහා දකුණු ආසියානු කලාපයේ විශාලම පිරිපහදුව ඉදිකොට එම කලාපයේ තෙල් සම්බන්ධයෙන් පවතින ආධිපත්‍යය වෙනස් කිරීම චීනයේ සැලසුම වී ඇති බව පැවසේ.

මීට අමතරව චීනය මේ වනවිට සැලසුම් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ චීන සංචාරය අතරතුරදී පෝර්ට් සිටිය සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමටය. එහි සංවර්ධන කටයුතු සඳහා ඉතාම ඉක්මනින් මැදිහත් වීමටද චීනය මේ වනවිට තීරණය කොට තිබේ.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේදී චීන නැව් ලංකාවේ සංචාරය කිරීම සඳහා විශේෂ ගිවිසුමක් අස්සන් කොට තිබිණි. එය හැඳින්වෙන්නේ එස්.ඕ.පී. යනුවෙනි. එම ගිවිසුම හරහා ගෝඨාගේ කාලයේ චීන නැව් කිහිපයක්ම ලංකා මුහුදු සීමාවට පැමිණ තිබිණි. නමුත් රනිල්ගේ පාලන සමයේදී මතුවූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් චීන නෞකාවලට වසරක කාලයක් ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වීම අත්හිටුවීමට කටයුතු කොට තිබිණි. රනිල්ගේ මෙම තීන්දුව චීනය එතරම් නොඉවසූ අතර, ඒ හේතුවෙන්ම රනිල්ගේ පාලන සමයේදී චීනය සිටියේ ලංකාව සමග එතරම් හිත හොඳින් නොවේ. එම කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි 15 වැනි දිනය. ඒ අනුව ලබන ජනවාරි 15 වැනිදාට පසුව චීන නෞකාවන්ට ලංකාවට පැමිණීමට අවසර හිමිවේ. නිල නොවන ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ දැනටමත් චීනය එවැනි නෞකාවක් සඳහා ලංකාවෙන් අවසර ඉල්ලා ඇති බවකි. නමුත් ජනාධිපතිවරයා ඊට අවසර දෙයිද නැද්ද යන්න තීන්දු වනු ඇත්තේ ජනාධිපතිවරයාගේ චීන සංචාරය ආරම්භ වන කාලසීමාවේදීමය.

අගමැතිනියට බලපෑම්

කෙසේ වෙතත් චීනය පැත්තෙන් පසුගිය සතියේදී ආණ්ඩුවට යම් යම් බලපෑම්ද සිදු නොවුණා නොවේ. ඉන් එකක් වූයේ ලංකාවේ සියලු පාසල් ළමුන්ට නොමිලේ නිල ඇඳුම් ලබාදීමට චීනය ඉදිරිපත් වූ අවස්ථාවේදී සිදුවූ ක් සිදුවීමකි. චීනයට අවශ්‍යව තිබුණේ එම නිල ඇඳුම් නිල වශයෙන් ලංකාවට ලබාදෙන අවස්ථාවට අගමැතිනි හරිනි අමරසූරියද එක්කර ගැනීමටය. ඒ අනුව මෙරට චීන තානාපති කාර්යාලය ඒ බව අගමැතිනියට දැනුම් දුන්නද එවැනි උත්සවවලට සහභාගි නොවීමේ ප්‍රතිපත්තිය මත අගමැතිනියගේ පාර්ශ්වයෙන් දැනුම් දී තිබුණේ ඊට සහභාගි වීමට නොහැකි යැයි කියාය. නමුත් අගමැතිනියගේ මෙම ප්‍රතිචාරයත් සමග ඇයව එම අවස්ථාවට සහභාගි කරවා ගැනීම සඳහා දැඩි බලපෑමක් චීනය පැත්තෙන් ආණ්ඩුව වෙත එල්ලවී ඇති බවක්ද ආරංචිය. එහිදී චීනය දැනුම් දී ඇත්තේ අගමැතිනිය අනිවාර්යයෙන්ම මෙම උත්සවයට සහභාගි වියයුතු බවකි. කෙසේ වෙතත් අවසානයේදී අගමැතිනිය එම උත්සවයට සහභාගි වුවද, ඇය ඊට සහභාගි වූයේ පැයක් ප්‍රමාද වීමෙන් අනතුරුවය. එම නිසා නියමිත වේලාවට චීන තානාපතිවරයා උත්සවයට පැමිණියද අගමැතිවරියගේ පැයක ප්‍රමාදය ගැන දැනගත් වහා චීන තානාපතිවරයාද වෙනත් කටයුත්තක් සඳහා පිටත්ව ගොස් නැවතත් පැයකට පමණ පසු එම උත්සවයට සහභාගි වීමට පියවර ගෙන තිබිණි.

අනුර ව්‍යාපාරිකයන් හමුවෙලා

මේ අතර, ජනාධිපතිවරයා පසුගිය කාලයේදී නිතර නිතර ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කීප දෙනකු ගෙන්වා පෞද්ගලිකවම ඔවුන් සමග සාකච්ඡා කිරීමට කටයුතු කොට තිබිණි. එහිදී අවධානය යොමුව තිබුණේ ආර්ථිකය බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳවය. මෙහිදී ව්‍යාපාරිකයන්ගේ පාර්ශ්වයෙන් ජනාධිපතිවරයාට යෝජනා රැසක් ඉදිරිපත් කොට ඇති බවක්ද ආරංචිය. එමෙන්ම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඉකුත් ආණ්ඩුව ඇතිකරගත් ගිවිසුම තවදුරටත් ඉදිරියට රැගෙන යායුතු බවය.

ජාතික ලයිස්තු පිරෙයි

මහ මැතිවරණයෙන් පසු සති කීපයක් තිස්සේ සිලින්ඩරය ඇතුළේත්, සජබය ඇතුළේත් ඇදි ඇදී ගිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ප්‍රශ්නය පසුගිය සතියේදී අවසන් වූයේ ඊට අදාළ මන්ත්‍රීවරුන් පක්ෂ දෙකෙන්ම නම්කිරීමත් සමගය. සිලින්ඩරයෙන් ඊට නම්කෙරුණේ හිටපු ඇමැතිවරයකු මෙන්ම ශ්‍රීලනිප නියෝජිතයකු වූ ෆයිසර් මුස්තාෆාය. සජබයෙන් ඊට නම්කෙරුණේ සුජීව සේනසිංහ, මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර් සහ මොහොමඩ් ස්මයිල්ය.

මේ ආකාරයට පසුගිය සතියේ ජාතික ලැයිස්තුව සඳහා නම් ඉදිරිපත් වුවද ඒ පිටුපස සාකච්ඡා වට විශාල ප්‍රමාණයක් පක්ෂ දෙකෙන්ම පවත්වා තිබිණි. සිලින්ඩරය අවසානයේදී ෆයිසර් නම්කිරීමට පියවර ගත්තද, මුලින්ම ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒමට මාන බලමින් සිටියේ වෙන කවුරුවත් නොව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාය. රටට පෙනෙන්නට බොරුවට විවිධ අවස්ථාවලදී කංචන විජේසේකරගේ නම, තලතා අතුකෝරලගේ නම, සාගල රත්නායකගේ නම, රුවන් විජේවර්ධනගේ නම රනිල්ගේ මාධ්‍ය කණ්ඩායම විසින් පතුරුවා හැරියද ඇත්තටම ඒ නම් රටට පෙන්වමින් රනිල් සැලසුම් කර තිබුණේ කෙසේ හෝ තමන්ට එම ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීමටය. අප මේ සම්බන්ධයෙන් පසුගිය සතියේදී විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ සිලින්ඩරයේ ප්‍රධානීන් හට විවිධ පාර්ශ්වයන් හරහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල්ට ලබාදෙන ලෙසට යෝජනා ඉදිරිපත් වෙමින් පැවති බවය. ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්, ජාත්‍යන්තරයම දන්නා කියන පුද්ගලයන් මේ පසුපස සිටින බවද අප එහිදී වාර්තා කර සිටියෙමු.

කෙසේ වෙතත් විවිධ පාර්ශ්වයන්ගෙන් අවසානයේදී මේ බලපෑම ආවේ සිලින්ඩරයේ පක්ෂ හිමිකරු වූ රවී කරුණානායකටය. නමුත් ඒ වනවිටත් සිලින්ඩරයේ ප්‍රධාන පක්ෂ 4ක් ඒකමතිකව ෆයිසර් මුස්තාෆාගේ නම පක්ෂය වෙත යවා තිබීම නිසා අවසානයේදී තීන්දු වී තිබුණේ ෆයිසර්ගේ නම මැතිවරණ කොමිසමට යැවීමටය. ඒ සමගම ශ්‍රීලනිපය පැත්තෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ තවදුරටත් රනිල් සමග හෝ එක්සත් ජාතික පක්ෂය සමග කිසිදු දේශපාලන ගමනක් යෑමට ශ්‍රීලනිපය සූදානම් නොමැති බවකි.

සජබයට අත වනයි

මීට අමතරව රනිල් සමග ඉකුත් ආණ්ඩුවේදී කටයුතු කළ පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරු කණ්ඩායමක්ද පසුගිය සතියේදී හිටපු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ නිවෙසේ රැස්වී සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහිදීද කියැවුණේ තවදුරටත් රනිල් සමග දේශපාලන ගමනක් යෑමට අවකාශයක් නොමැති බවත්, එහි කිසිදු තේරුමක් නොමැති බවත්ය. ඒ අනුව ඔවුන් අවසානයේ තීන්දු කළේ විපක්ෂ නායක සජිත් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ඉතා අවාසිසහගත තත්ත්වයක් යටතේ හෝ මන්ත්‍රී ධුර 40ක් ගැනීමට සජිත් සමත්ව තිබීම ඊට හේතුවී තිබිණි.

මේ අතර, සිලින්ඩරයේ මන්ත්‍රී ධුරයට ෆයිසර්ගේ නම යෝජනා වීමත් සමග රනිල් හදිසියේම තීන්දු කළේ නැවත වතාවක් රටින් පිටවීමටය. ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වූයේ රනිල් ඉන්දියාවේ යෑමට තීන්දු කොට ඇති බවකි. ඒ අනුව ලබන 22 වැනිදා සිය බිරිය වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හා සාගල රත්නායක මහතා සමග ඉන්දියාව බලා පිටත්ව යන රනිල්, නත්තල් සමය සහ අලුත් අවුරුදු සමය ඉන්දියාවේ ගතකිරීමට නියමිත බව ආරංචිය.

සජබය තීන්දුව ගත් හැටි

සජබ ජාතික ලැයිස්තු ප්‍රශ්නය විසඳුණේ මීට සම්පූර්ණයෙන් වෙනස් ආකාරයකටය. පක්ෂයට හිමිව තිබූ ලයිස්තු මන්ත්‍රී ධුර පහෙන් මුලින්ම පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම මැතිවරණ කොමිසමට යැවූවද ඉල්ලීම් රැසක් ලැබී තිබීම හේතුවෙන් ඉතිරි සිවුදෙනා තෝරාගැනීම සජිත්ටද විශාල ගැටලුවක් වී තිබිණි. විශේෂයෙන්ම සුළු පක්ෂ නියෝජිතයන්ට අවස්ථාවක් ලබාදීම මෙන්ම පරාජයට පත්වූ හිටපු මන්ත්‍රීවරුන් රැසක්ම නැවත වතාවක් තමන්ට අවස්ථාවක් ඉල්ලා සිටීම එම ගැටලුවට මුල් වී තිබිණි.

කෙසේ වෙතත් මුල සිටම සජිත්ගේ වුවමනාවක් වී තිබුණේ ආර්ථික විශේෂඥයකු වන ඉරාන් වික්‍රමරත්නට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබාදීමටය. මන්ද යත් පසුගිය මහ මැතිවරණයේදී ඉරාන් සිටියේ තරග කිරීමට නොව ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වීමටය. නමුත් පෞද්ගලිකවම ඉරාන් සමග සාකච්ඡා කළ සජිත් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වනවා වෙනුවට මැතිවරණයට තරග කරන මෙන් ඉරාන්ට කළ දැනුම් දීමට අනුව ඉරාන් මැතිවරණයට ඉදිරිපත් වී තිබිණි. කෙසේ වෙතත් එහිදී යම් හෙයකින් ඉරාන් පරාජයට පත්වුවහොත් ජාතික ලැයිස්තුවෙන් ඉරාන් පාර්ලිමේන්තුවට ගෙන ඒමටද යෝජනා ඉදිරිපත්ව තිබිණ. නමුත් ඉරාන්ට එම අවස්ථාව ලබාදීමට යන බව වාර්තා වීමත් සමග පරාජයට පත්වූ හිටපු මන්ත්‍රීවරුන් වූ තුෂාර ඉඳුනිල් සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන දෙදෙනාම තමන්ටද ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව හිමිවිය යුතු බව පක්ෂයට දැනුම් දී තිබිණි.

එමෙන්ම මැතිවරණයට පෙර ඇතිකරගෙන තිබූ අවබෝධතා ගිවිසුම හේතුකොට ගෙන රිෂාඩ්ගේ පක්ෂයටත්, හකීම්ගේ පක්ෂයටත්, දිගම්බරම්ගේ සන්ධානයටත් ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදිය යුතුව තිබිණි. සජිත් මුලින් යෝජනා කොට තිබුණේ හකීම්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් හිමිව තිබීම නිසා ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4න් 2ක් රිෂාඩ්ට සහ දිගම්බරම්ට ලබාදී ඉතිරි ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුජීව සේනසිංහත්, ඉරාන්වත් පත්කිරීමටය. නමුත් හකීම්ද තමන්ට අවස්ථාවක් ලබාදිය යුතු බව දැනුම් දී තිබීම නිසා අවසානයේ ඊට එකඟතාව පළකිරීමට සජිත් කැමැත්ත ප්‍රකාශ කළේය.

ඒ අනුව පසුගිය බ්‍රහස්තින්දා දිනයේදී එම එකඟතාව ඇතිකරගෙන තිබුණද හදිසියේම හකිම්ගේ පක්ෂයෙන් සජබ ජාතික ලැයිස්තුවට වාරණ නියෝගයක් දැමීමට කටයුතු කිරීම නිසා සජබය තීන්දු කළේ අවසානයට එකඟතාව හිමිවූ සිවුදෙනාගේ නම් වහාම මැතිවරණ කොමිසමට යවා ප්‍රශ්නය අවසන් කිරීමටය. ඒ අනුව දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම සම්පූර්ණ වී අවසානය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

හමුදා නීතිය දාලා දකුණු කොරියාව එක රැයින් උඩුයටිකුරු කරපු ජනපති යුන් සුක් පාර්ලිමේන්තුවෙන් ගෙදරම යවයි! ජනපතිගේ පක්ෂයේ අයත් විරුද්ධව ඡන්දය දෙයි! I Sri Lanka Latest News

Next Post

අඟහරුවාදා පාර්ලිමේන්තුවේ අලුත් කතානායක තෝරන්න ඡන්ද විමසීමක්? විපක්ෂයත් කතානායක තනතුරට මන්ත්‍රීවරයෙක් නම් කරන්න සූදානම්! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.