සියවස් දෙකකට අධික කාලයක සිට වන්දනාවට පාත්‍ර වු වන්නියේ පර්වතයක් මත පිහිටි ශිව දේවාලයක හින්දු භක්තිකයන්ගේ ප්‍රධානතම ආගමික පුජාවක් පවත්වමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින අට දෙනකු නිදහස් කරන ලෙස ඉල්ලමින් විරෝධයක් දියත් කර තිබේ.Sri Lanka Latest News
වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදි ලිංගේස්වර කෝවිලේ මහා ශිව රාත්‍රී වන්දනා කටයුතු සිදු කරමින් සිටියදී මාර්තු 8 වැනිදා රාත්‍රියේ පොලීසිය විසින් හින්දු භක්තිකයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන තිබුනේ අධිකරණ නියෝග නොතකමින් රාත්‍රි කාලයේ විශේෂ පුජාවක් පැවැත්වු බවට චෝදනා කරමිනි.
අධිකරණ නියෝග හා පුරා විද්‍යා පනතට අනුව හවස 6 න් පසු එම භුමියේ පුජාවන් තැබිය නොහැකි බවට පොලීිසිය හින්දු භක්තිකයන්ට දැනුම් දුන්නද ඔවුන් එම උපදෙස් නොතකා පුජා සිදු කිරීම නිසා පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගත් බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
අත්අඩංගුවට ගන්නා ලද කෝවිලේ පූජක තම්බිරාසා මදිමුගරාසා (45) ඇතුළු තුරෙයිරාසා තමිල්චෙල්වන් (28), මහේන්ද්‍රන් නරේන්තිරන් (29), සිවම් ලක්ෂාන් (28), කන්දසාමි ගෞරිකාන්තන් (24), තිලකනාදන් කින්දුයන් (28), රාසරාත්නම් විනායගමුර්ති (30), සුබ්‍රමනියම් තවපාලසිංහම් (35) යන අට දෙනා වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග අනුව මාර්තු මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ මාර්තු 12 වැනිදා සිට මේ දක්වාම පස් දෙනකු කිසිදු ආහාරයක් නොගෙන වවුනියාව බන්ධනාගාරයේ උපවාසයක නිරත වන බව පළාත් බද වාර්තාකරුවෝ පවසති. එම සිරකරුවන් ආහාර වර්ජනයක යෙදී නොඉන්නා බවට බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක කොළඹින් පලවන ජනමාධ්‍යයට කර ඇත්තේ නොමග යවනසුලු අසත්‍ය ප්‍රකාශයක් බව දෙමළ ජාතික ජනතා පෙරමුණ ප්‍රකාශ කරයි.
“එයා එහෙම කියනවා ඇත්තේ එක්කෝ උපවාසික කට්ටියට විපත්තිදායක තත්වයක් ඇති කරන්න එහෙම නැතිනම් ඒ කට්ටියට බලපෑම් කරලා බලහත්කාරයෙන් කෑම කැවීමේ යටි අරමුණක් ඇතිව,” යයි වීඩියෝ නිවේදනයක් නිකුත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් කියා සිටී.
බන්ධනාගාරගත කර සිටින හින්දු භක්තිකයන් අට දෙනා වහාම නිදහස් කරන ලෙස බල කරමින් මාර්තු 15 වැනිදා දහවල් නෙදුන්කේනි නගරයේදී විරෝධතා පෙළපාලියක් ආරම්භ කළ සිවිල් සංවිධාන, ආගමික නායකයන්, දේශපාලඥයන් හා ප්‍රදේශවාසීන් ඇතුළු සිය ගණනක් නෙදුන්කේනි පොලිස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතා දක්වා පසුව බස් නැවතුම් පොළ දක්වා පෙළපාලියකින් ගමන් කර තිබේ.
වෙඩුක්කුනාරි දෙමළ ජනයාගේ දෙපළක් බව අවධාරණය කළ ඔවුන් වැඩි දුරටත් ඉල්ලා සිටියේ නෙදුන්කේනි පොලීසිය මර්දනය නතර කළ යුතු බවයි.