ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ධුරය දරන සමයේ කොටි ත්‍රස්තවාදී කලබල උතුරු පළාතේ නිරන්තරයෙන් සිදුවිය. එසේම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචණ්ඩ ක්‍රියාද දකුණේ තැනින් තැන සිදුවන්නට විය. ආණ්ඩුවට මෙම තත්ත්වය මහත් හිසරදයක් වී තිබුණේ රටේ ආර්ථිකය සහ ස්ථාවරත්වය එමගින් බොහෝ දුරට අඩාළ කර තිබූ නිසාය. එවන් පසුබිමක ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මහජන රැස්වීමකදී දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකරන්නට කටයුතු කළේය. මීට දශක 04කට පමණ පෙර ජයවර්ධන මහතා සිදුකළ එම කතාවෙන් උපුටාගත් කොටසක් පහත පළවේ. Sri Lanka Latest News
‘අපි ආණ්ඩුවට පත්වුණා 77. මම නිදහස් කෙරුවා මේ ත්‍රස්තවාදය. දැන් මේ ආණ්ඩු ක්‍රමය යටතේ බෝවෙලා තියෙනවා, දියුණුවෙලා තියෙනවා ඇතැම් පළාත්වල ත්‍රස්තවාදී ව්‍යාපාරවල්. භයානක විදියට. උතුරු නැගෙනහිර පළාත්වල ඒ ව්‍යාපාරය දියුණු වෙලා තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවෙන් වෙන් වෙන අදහසින්. ද්‍රවිඩ උදවිය ඉන්නේ ඒ පළාත්වල. විශේෂයෙන් උතුරු පළාතේ. නැගෙනහිර පළාතේ ඉන්නවා තවත් ජාතීන්. ඒ උදවිය කියනවා අපිට නිදහසක් නෑ, අපේ භාෂාව නැහැ, අපිට තැනක් නෑ, ඒ නිසා අපි වෙන්වෙලා ආණ්ඩුවක් පාලනය කරන්න ඕනේ කියලා. ඒ අදහස අනුව ත්‍රස්තවාදී හිංසා ව්‍යාපාරයක් දියුණු වෙලා තියෙනවා.
දැන් දකුණු පළාතෙත් ඇතැම් පළාත්වල එහෙම ඇතිවෙලා තියෙනවා. ඒ උදවිය මොනවා ඉල්ලනවද කියලා මම දන්නේ නෑ. 1971දීත් ඒ ව්‍යාපාරය දියුණු වුණා. එතකොට බණ්ඩාරනායක මැතිනියයි මේ ලංකාව පාලනය කෙරුවේ. මහජනයාගෙන් තේරිලා. එතකොටත් මේ නායකයෝ තමයි ඒ නායකත්වය අනුව ක්‍රියා කෙරුවේ. ඒ උදවිය හැදුවා දැන් වාගේ ආණ්ඩුවේ නායිකාව බණ්ඩාරනායක මැතිනිය හිරබාරයට ගන්න බලහත්කාරයෙන්. මොනවා කරන්නද කියලා මම දන්නේ නෑ. නමුත් ආණ්ඩුව එතකොට පෙරළෙනවා එහෙම වුණා නම්. මහජනයා තෝරපු ආණ්ඩුවක් නැතිවෙනවා. පොලිස් නිලධාරීන්ට හුඟක් හිරිහැර කෙරුවා. පොලිස් කාර්යාල 50ක් දවස් දෙකකින් තුනකින් අල්ලා ගත්තා. පොලිස් හමුදාව මරලා, පොලිස් හමුදාව ඒවා අතහැරලා ගිහිල්ලා. ඒවා පාලනය කෙරුවා. තමන්ගේ සාමාජිකයෝ විනිශ්චයකාරතුමා හැටියට පත්කෙරුවා. නඩු විභාග කෙරුවා. එල්ලුම් ගහට නියම කෙරුවා. එල්ලුවා. මැරුවා. ඇල්පිටිය පළාතේ එහෙම. තව ටික කාලෙකින් මුළු රටම අල්ල ගන්නයි අදහස තිබුණේ. නමුත් වාසනාවකට එහෙම කරන්න බැරිවුණා. ඒ උදවිය පැරැදුණා. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව අපි වාගේ නෙවෙයි යුද්ධ හමුදාවෙන් ඒගොල්ලන්ව නැතිකෙරුවා. වෙඩි තිබ්බා. කැලණි ගඟේ පාවෙලා එව්වා ඒ ත්‍රස්තවාදීන්ගේ මෘත ශරීර. ගිරිඋල්ල පාලමෙන් ආදිය වෙඩි තියලා මරලා. ඒක පාර්ලිමේන්තුවේ මම ඇතුළු අනිත් උදවිය ප්‍රසිද්ධියේ කිව්වා. නැහැ කියලා කිව්වේ නැහැ.
මම හිටියේ ඒ කාලේ විපක්ෂයේ නායකතුමා හැටියට. මමයි ඩඩ්ලි සේනානායක මහත්තයයි අපි කිව්වා අපි උදව් කරනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුවේ පාලනය කරපු ආණ්ඩුවට, මහජනයා තෝරපු ආණ්ඩුවට සම්පූර්ණ ආධාර දෙනවා කියලා මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය නැතිකරන්න. නවත්තන්න. අපි කිව්වා එහෙම කරන්නේ මේ නායිකාව තේරිලා තියෙන්නේ මහජනයාගෙන්. මේ ආණ්ඩුව තේරිලා තියෙන්නේ මහජනයාගෙන්. මහජනයාගෙන් තේරුණා නම් මහජනයාට පමණයි අයින් කරන්න පුළුවන්. තුවක්කුවෙන් අයින් කරන්න හදනවා නම්, මරලා අයින් කරන්න හදනවා නම්, එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය එතැනින් නැතිවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයම නැතිවෙනවා. ආපහු ලබාගන්න අමාරුයි. ඒ වාගේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිකරලා තියෙන රටවල් අවුරුදු ගණන් පවතිනවා, නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය නැතුව. ඉන්දියාව අවට රටවල් ඔක්කොම එහෙමයි. ආසියාවේ රටවල්, අප්‍රිකාවේ රටවල්, ඇමෙරිකාවේ රටවල් එහෙමයි. මම තාම දන්නේ නෑ එකක් හරි ප්‍රජාතන්ත්‍රවාදය බලහත්කාරයෙන් නැතිකරලා, ආපහු ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණු රටවල්. ඒ නිසා අපි බණ්ඩාරනායක මැතිනියට ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේ කතාවලින් කිව්වා. අපි කිව්වා අපේ සාමාජිකයන්ට. එක්සත් ජාතික පක්ෂය බලවත් පක්ෂයක්. 45%ක් විතර ඒ කාලේ ඡන්ද දායකයෝ එක්සත් ජාතික පක්ෂයට උදව් කෙරුවා. ඒ එක හේතුවක්. ඒ වෙලාවේ ත්‍රස්තවාදී ව්‍යාපාරය මැඬපවත්වන්න.
මේ උදවිය අල්ලගෙන නඩු විභාග කරලා හිර භාරයට නියම කෙරුවා. විජේවීර මහත්තයා මුළු ජීවිත කාලෙම හිර බාරෙට නියම කෙරුණා. ගමනායක, පොඩි අතුල, ලොකු අතුල ආදී උදවිය ඔක්කොම. එතකොට 1977 බණ්ඩාරනායක මැතිනිය අවුරුදු 7ක් පාලනය කරලා, අවුරුදු 5ක් පාලනය කරන්නයි බලය ලැබුණේ. නමුත් ඒක තව අවුරුදු 2ක් දික් කෙරුවා. ජනමත විචාරණයකින් නොවෙයි. මහජනයාගෙන් අහලා නොවෙයි. වැඩිපුර ඡන්ද තිබුණු නිසා පාර්ලිමේන්තුවේ, තුනෙන් දෙකක් බලය ලබාගෙන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා දික් කෙරුවා අවුරුදු 2ක්. අපේ පක්ෂය විරුද්ධ වුණා. මමත් විරුද්ධ වුණා. මම කිව්වා මගේ විරුද්ධභාවය පෙන්නනවා මගේ ආසනයෙන් අයින් වෙලා. මහජනයාගෙන් අහනවා මහජනයාගේ කැමැත්ත. මම අස්වුණා. එතකොට මම දකුණු කොළඹ හිටියේ. දකුණු කොළඹ නැවත අතුරු මන්ත්‍රී තරගයක් තිබුණා. වැඩිපුර ඡන්ද 26,000කින් මම පත්වුණා. මහජනයා අනුමත කෙරුවා අපේ අදහස. ඡන්ද විමසීමක් නැතුව ජනමත විචාරණයක් නැතුව ආණ්ඩුවේ කාලය දික් කිරීම වැරැදියි කියලා. අපි එහෙම කෙරුවේ නෑ. අපි මහජනයාගෙන් ඇහුවා. මහජනයාට බලය තියෙනවා ඕනේ දෙයක් කරන්න. මහජනයාට බලය තියෙනවා අද තියෙන ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් කරලා රාජ්‍යයක් ඇතිකරන්න. අපි රාජ්‍යයක් ඇතිකරලා ප්‍රජාතන්ත්‍රවාදය ජනමත ආණ්ඩුවක් ඇතිකෙරුවා. මහජනයා කෙරුවේ මහජනයාගේ ඡන්දයෙන්.
එතකොට මැතිනියට පුළුවන් වුණා ඒ ත්‍රස්තවාදී ව්‍යාපාරය අහෝසි කරන්න. මේ උදවිය නිදහස් කෙරුවේ හිංසාවාදය අත්හැරලා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයට ඇතුළු වෙනවා කියලා පොරොන්දුවක් උඩයි. විජේවීර මට හම්බවුණා. ඒ, 78දී. අවුරුදු 5ක් මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය ඒ පොරොන්දුව වැඩ කෙරුවා. විපක්ෂය හැටියට නොයෙක් මන්ත්‍රී තරගවලට ඉදිරිපත් වුණා. පළාත් සභා, 1982 ජනාධිපති තරගය. ඔක්කොම පැරැදුණා. එතකොට මට ආරංචියක් ලැබුණා පොලිස් නිලධාරීන්ගෙන් දැන් මේගොල්ලේ ආපහු පටන්ගන්නවා තමන්ගේ පන්තිවල හිංසාව දේශනා කරන්න. හිංසාවෙන් තමයි ආණ්ඩුව පෙරළන්න පුළුවන්, ඔක්කොම ඡන්ද පැරැදුණු නිසා වෙන්න පුළුවනි හිංසාව දේශනා කරන්න. වෘත්තීය සමිති 20ක් විතර තිබුණා. සාමාජිකයෝ ඉන්නවා ගණනාවක්. තවත් ඇතිවුණොත් ආණ්ඩුවලට අමාරු වෙනවා මේ ව්‍යාපාරය පාලනය කරන්න හිංසාව නිසා. තමන්ගේ දේශපාලන පක්ෂය තහනම් කෙරුවොත් හොඳයි කියලා ඒ සාක්ෂිය උඩ තහනම් කෙරුවා 1983දී.
එදා ඉඳන් උතුරු පළාතෙත් පටන් ගත්තා, දකුණු පළාතෙත් ක්‍රමක්‍රමයෙන් පටන් ගත්තා හිංසා බලය. 1987 ඉඳන් වැඩිවුණා. දැන් අපි මොකක්ද කරන්නේ? ආරක්ෂාව පාලනය කරන යුද හමුදාව, ආරක්ෂාව පලනය කරන පොලිසිය ආදී අනෙක් ආරක්ෂක හමුදා වැඩකරනවා, පුළුවන් උත්සාහය ගන්නවා. මැරෙනවා. ඒකට ගොඩක් කනගාටුයි. දැන් හුඟක් දුරට මැඬපවත්වලා තියෙනවා. නමුත් ඇතැම් පළාත්වල තාම බලවත් විදියට ක්‍රියා කරනවා. මේ උදවිය හදන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සහ සාමාජිකයෝ එක්සත් ජාතික පක්ෂයට උදව් කරන උදවිය, පුරුෂ හෝ ස්ත්‍රී පක්ෂයේ කවුරු වුණත් කමක් නෑ, වයසක හෝ තරුණ අය වෙඩි තියලා මරන්න. අවාසනාවකට යුද්ධ ආයුධ බොහොම නවීන විදියට පාවිච්චි කරන්න පුළුවන් යුද්ධ ආයුධ ටී56 ආදිය ඒගොල්ලන්ට හොරකම් කරලා ලබාගන්න පුළුවන් වුණා. මේක තමයි බලය. ඒගොල්ලන්ගේ පුද්ගලික මනුෂ්‍ය බලයක් නෙවෙයි. යුද්ධ ආයුධවල බලය. අපිට කරන්න තියෙන වැඩ අපි ඔක්කොම කරනවා ආණ්ඩුවකින් ඒගොල්ලන්ගේ ව්‍යාපාරය නැතිකරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැංගිලා ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය හැම දෙනාම මේ ව්‍යාපාරයට විරුද්ධයි. මම හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ ඉන්නවා නම්, මගේ කතාවල් අහනවා නම් ගුවන්විදුලියෙන්, රූපවාහිනියෙන්, පත්තරවල තියෙනවා නම් කරුණා කරලා කල්පනා කරලා බලන්න. තමන්ගේ නායිකාව සහ ඇතැම් නායකයන්ගේ කල්පනාවට පිටින්. කල්පනා කරලා බලන්න අපි කරන එක හරිද? මේ ව්‍යාපාරය දියුණු වුණොත් මොකක්ද වෙන්නේ මම මතක් කරපු ප්‍රජාතන්ත්‍රවාදයට? මේක පවතීද? ඡන්ද තියයිද? නිදහසේ කතාකරන්න පුළුවන් වෙනවද?
ඊයේ පෙරේදා ඉස්කෝලේ ළමයි පාරට බැස්සා. එහෙම පාරට බහින්න දෙයිද? එක්සත් ජාතික පක්ෂය ඉවසීමෙන් හිටියා වගේ ඉඳීද? වර්ජන ව්‍යාපාරවලට ඉඩ දෙයිද? පාර්ලිමේන්තුවේ නැගිටලා මේ උදවියගේ බලය ගැන විවේචන කරන්න ඉඩ දෙයිද? නැත්නම් මේ රටේ සම්පූර්ණ ආඥාදායක ආණ්ඩුවක් පවතීද? අවුරුදු 50ක් නෙවෙයි ඊටත් ඉස්සෙල්ලා ඉඳන් අපිට ඡන්දේ ලැබුණා 1911දී. පළාත් ඡන්ද ලැබුණේ 1921දී. ව්‍යාවස්ථාදායක සභාව ලැබුණේ 1924දී. සර්වජන ඡන්දය ලැබුණේ 1931දී. නගරසභා ඡන්ද ලැබුණේ 1860 කාලෙදී. දැන් අවුරුදු 150ක්. සර්වජන ඡන්දය අවුරුදු 50කට වැඩි කාලයක් පාවිච්චි කරලා මේ ඔක්කොම අපි නැතිකරන්න ඉඩ දෙනවද සුළු පිරිසකට? ඒකයි ප්‍රශ්නේ. කල්පනා කරන්න.
මේ ව්‍යාපාරයට, මේ වසංගතයට, මේ ලෙඩේට විරුද්ධව ක්‍රියාකරන පිරිසට ආධාර දිය යුතුයි කොයි විදියෙන් හරි. ඔත්තු දීම, ඒගොල්ලෝ බය කරනවා ඇතැම් පළාත්වල. පොලිසියට ආධාර දීම, යුද හමුදාවට ආධාර දීම, රජය වෙනුවෙන් වැඩකරන උදවිය ආරක්ෂා කිරීම. සම්පූර්ණයෙන්ම රජය විතරයි අද මේ ව්‍යාපාරයට විරුද්ධව ක්‍රියා කරන්නේ. රජය එක්ක අත්වැල් බැඳගෙන වැඩකිරීම නේද අපේ යුතුකම? මේ වගේ ඉස්කෝලේ ඇතිකෙරුවේ මොනවටද? ළමයින්ට අකුරු උගන්වන්න පමණක් නොවෙයි. භාෂාව උගන්වන්න පමණක් නොවෙයි. ඉගෙනගෙන රක්ෂාවක් කරන්න පමණක් නොවෙයි. ප්‍රගතිශීලී අපේ ආගම් අනුව. විශේෂයෙන්ම බෞද්ධ ආගම. මේ ඉස්කෝලේ හැදුවේ බෞද්ධ නායකයෝ. පිරිවෙනක. ඒ ආගම්වල උගන්වන වැදගත්, උසස් අදහස් අනුව සමාජයක් ඇතිකරන්න නේද? දෙමවුපියන්ට ජීවිතයේ නිස්කාංසුවෙන් ඉන්න පුළුවන් සමාජයක් ඇතිකරන්න නේද? නැත්නම් මෘගයෝ වාගේ එක එක්කෙනා ගහගෙන, එක එක්කෙනා මරලා, වෙඩිතියලා, සමාජයක් ඇතිකරන්න නොවෙයි. ඒක සමාජයක් නොවෙයි. ඒක වනාන්තර ශිෂ්ටාචාරයක්. අවුරුදු 2500ක් අපි එහෙම නොවෙයි ඉගෙනගත්තේ. අපේ රජ්ජුරුවෝ යටතේ, අපේ පිරිවෙන් යටතේ, භික්ෂුන් වහන්සේලා යටතේ එහෙම නොවෙයි අපි ඉගෙනගත්තේ. එහෙම නොවෙයි අපි හැදුණේ. ලෝකෙම ශිෂ්ටසම්පන්න රටක් විදියට අපි හැදුණේ.
වැරැදි කරන උදවිය ඉන්නවා හැම රටේම. මේ රටෙත් හිටියා. නමුත් දැන් අපි පෙනෙන්නේ පහත් මනුෂ්‍යයෝ හැටියට. කිසි කරදරයක් නැති, කිසි වරදක් නැති එක එක්කෙනාට වෙඩිතියන පිරිසක් හැටියට. ඒක නැතිකරන්නයි එක්සත් ජාතික පක්ෂය යටතේ වැඩකරන ආණ්ඩුව බලවත් ආණ්ඩුව උත්සාහ කරන්නේ. උදව් කරන්න. වචනයෙන් හරි…’
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද්දකි)










