ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් රෝහලේ ගොඩනැඟිලි 10ක සවි කර තිබුණු රුපියල් ලක්ෂ හැටපහකට අධික වටිනාකමක් ඇති අකුණු සන්නායකවල ඇති තඹ පටි කිසිවකු විසින් සොරාගෙන ගොස් තිබේ.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසියට පෙරේදා (22) පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත්තේ රෝහලේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු නාවික හමුදාවේ ලුතිනන් කර්නල් පී.කේ.ඩී. ගොඩකන්ද මහතා විසිනි. එම පැමිණිල්ලට අනුව සොරාගත් තඹ පටිවල වටිනාකම රුපියල් ලක්ෂ 6,597,000ක් පමණ වේ.
මෙම සොරකම ජනවාරි 30 වෙනිදාත් ජූලි 03 වෙනිදාත් අතර කාලය තුළ සිදුව ඇතැයි පැමිණිල්ල අනුව කියැවෙන බව පොලිසිය කියයි.
දැඩි ආරක්ෂක විධිවිධාන ඇති මෙම රෝහල් භූමියට පිටස්තර පුද්ගලයින්ට ඇතුළුවී මෙවන් සොරකමක් කිරීමට ඉඩක් නොමැති බව මූලික විමර්ශනයේදි ම පොලිසියට පෙනී ගොස් ඇත.
මෙම සොරකම කවුරුන් විසින් කළේදැයි මේ වන විට තොරතුරු රැසක් ලැබී ඇති බවත්, එම තොරතුරු ඔස්සේ විමර්ශන සිදුවන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ගයාන් කුමාර වීරසිංහ










