අස්වැසුම විවාදයෙන්ම එය ‘අස්වැසුමක්’ ද ‘ඇස්බැන්දුමක්’ ද කියා ප්‍රකාශ කළේ තමා බවත් එය ‘ඇස්බැන්දුමක්’ ලෙස දැනදැනත් රාජ්‍ය පාර්ශ්වයේ මැතිඇමතිවරු එදින ඊට පක්ෂව අදහස් ප්‍රකාශ කළ බවත් ඔවුන් තම දේශපාලන බලවතුන්ගේ විධානවලට අනුව වහලුන් එහෙයියන් අතකොලුවන් ලෙස එදින කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී පොදුජන සමෘද්ධි වෘත්තීය සංගමය සහ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ය.
සමෘද්ධි ව්‍යාපාරය පවුල් ලක්ෂ 17ක් සෘජුව සහ පවුල් ලක්ෂ 40ක් ගණුදෙනුකරුවන් ලෙස මෙරට සමාජ තලය තුළ ක්‍රියාත්මක වැදගත් වැඩසටහනක් බවත් එහි ඉතා හොඳ ගුණාංග මෙන්ම සුළු අඩුපාඩු තිබෙන බවත් එම සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳ හරිහැටි නිවැරදි අධ්‍යයනයකින් තොරව කිසිදු විද්‍යාත්මක පර්යේෂණයකින් තොරව දත්ත කේන්ද්‍රීය නොවූ ක්‍රම හරහා අස්වැසුම ක්‍රියාත්මක කළ බව පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයන්ට ලබා දීමට විදේශීය ආයතනයකින් මුදල් ආධාර ලැබුණු විට එය කෙසේ හෝ පවුල් ලක්ෂ 20කට ලබා දීම සඳහා සාවද්‍ය සමීක්ෂණයක් හරහා අස්වැසුම ලෙසින් ක්‍රියාත්මක කළ බව යි.
තමා රටේ ජනාධිපතිවරයා වූවා නම් මෙහි දී ප්‍රථමයෙන් ම සිදු කරනු ලබන්නේ කොවිඩ් තත්ත්වයෙන් පසු රටේ ගෘහයක සමාජ ආර්ථික ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර දරිද්‍රතා රේඛාව හඳුනා ගන්නා බවත් ඒ තුළින් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් සඳහා සැබෑ දුප්පතුන් හඳුනා ගන්නා බවත් මෙහි දී විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට ජුලි මාසයේ දි සමෘද්ධිය සහ අස්වැසුම ලබා නොදුන් බවත් සියලු කටයුතු පටලවා ගෙන දැන් ජන සංගණනයක් සිදු කිරීමට උත්සාහ කරන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේ වෙරිටේ රිසර්ච් ආයතනයට අනුව මෙරට විදුලි පාරිභෝගිකයන් විසින් විදුලිය පරිභෝජනය කරන ප්‍රමාණය මත පදනම්ව දරිද්‍රතා රේඛාව නිවැරදිව හඳුනා ගත හැකි බවත් එය සියයට 80කට වඩා සාර්ථක විද්‍යාත්මක ක්‍රමවේදයක් බවත් පැවසීය. මේ තුළින් අස්වැසුම සඳහා වැය වූ විශාල පරිපාලන වියදම් පවා අවම කර ගත හැකි බවත් පැවසීය.
සහනාධාර ලබා දිය යුත්තේ ඊට සුදුසකම් ඇති පුද්ගලයන්ට බවත් එම පුද්ගලයන් සොයා ගත යුත්තේ දත්ත කේන්ද්‍රීයව විද්‍යාත්මකව අපක්ෂපාතීව සියැසින් අවබෝධ කර ගැනීමේ ක්‍රම 03න් බවත් එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරය තුළ මේ සම්බන්ධයෙන් තමා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දැවැන්ත හඩක් නැගීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනාධිපතිවරයා විසින් ඊයේ දින සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ජනාධිපතිවරයාගේ සෘජු නියෝග ආණ්ඩුකාරවරුන් හරහා පළාත්සභාවල ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජාතික ප්‍රමුඛතාවට ඇහුම්කන් දීම බවත් මේ වන විට ඇති ජාතික ප්‍රමුඛතාව වන්නේ පිරිසුදු ජනවරමක් ලබා දීම බවත් ඒ තුළින් වඩාත් හොඳින් රට ඉදිරියට ගෙන යා හැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
එබැවින් විවිධ පාර්ශ්වයන්ට අවශ්‍ය පරිදි සමෘද්ධි සහනාධාරය විනාශ කිරීමට ඉඩ නොදෙන බවත් එහි ගැටලු ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීමට කටයුතු කළ යුතු බවත් මේ වැඩසටහන් විද්‍යාත්මකව දත්ත මත කේන්ද්‍රීයව මෙන්ම මනුෂ්‍යකම මූලික කර ගෙන ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.











