සිවිල් පුද්ගලයින් හට ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් ලබාදී ඇති සියළුම ගිනි අවි පිළිබඳව සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව තාවකාලික පදනම මත 1916 අංක 33 දරණ තුවක්කු ආඥා පනතේ 6 (1) හා 6 (2) වගන්ති ප්‍රකාරව ආරක්‍ෂක ලේකම් වෙත පැවරී ඇති බලතල අනුව රජය වෙත භාර ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. Sri Lanka Latest News
එම ගිනි අවි සහ ඒ සඳහා නිකුත්කර ඇති පතරොම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත 2024.11.07 දිනට පෙර භාරදෙන ලෙස සියළුම බලපත්‍රලාභීන් හට දැනුම් දී ඇති බවයි කියන්නේ.
එසේ භාරදීමෙන් පසුව වැලිසර රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව මඟින් නිකුත් කරනු ලබන භාර ගැනීමේ කුවිතාන්සියේ පිටපතක් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගේට්ටුව අසල ස්ථාපිත කර ඇති ‘සිවිල් ආරක්‍ෂක හා සංවර්ධන අංශයේ’ ලිපි භාර ගැනීමේ කවුළුව වෙත භාරදීමට කටයුතු කරන ලෙසත් දැනුම් දෙනවා.
අදාළ දිනට පෙර බලපත්‍රලාභීන් විසින් ගිනි අවි භාරදීමට අපොහොසත් වුවහොත් 1916 අංක 33 දරණ තුවක්කු ආඥා පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසනවා. දේපල ආරක්‍ෂාව, වගා හානි ආරක්‍ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති ගිනි අවි සඳහා මෙම තීරණය අදාළ නොවන බවයි කියන්නේ.
මේ අතර තනතුර අතහැර පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට පුරා පුද්ගලයින් 1,500 කට ආයුධ 1,690 ක් ඔවුන්ගේ පුද්ගලික පරිහරනය සදහා ලබාදී තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අතරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයෙකු වන මේජර් නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසකටත් පසුගිය රාජපක්ෂ පාලනයන් විසින් ආයුධ තොග වශයෙන් ලබා දී ඇති බව පැවසෙනවා.
හිටපු නාවික හමුදා නිලධාරියෙකු වන යෝෂිත රාජපක්ෂ විසින් මිලිමීටර් 9 පිස්තෝල 6ක් ඇතුළු ගිනි අවි 7ක් රැගෙන ගොස් ඇති අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මිලිමීටර් 9 පිස්තෝල තුනක් සහ බෝර රිපීටර් පහක් ලෙස ගිනි අවි 8ක් පසුගිය රජයෙන් ලබාගෙන තිබෙන බව පැවසෙනවා.
මේ අතර ඇවන්ගාඩ් ආයතනයේ හිමිකරු නිශ්ශංක සේනාධිපතිට මි.මී. 9පිස්තෝල 7ක් සහ බෝර රිපීටර් 2ක් ලබාදී ඇති බව වාර්තා වෙනවා.










