මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
ඒ අතර බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙක් සහ රැඳවියන් සිව් දෙනෙකු සිටින බව වාර්තා වේ.
මේ වන විට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය, බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී ගැටුම්කාරී තත්වය සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව අප වාර්තාකරු පැවසීය.
මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළුව තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර සිටී.
මීගමුව රෝහල පැවසුවේ, මිය ගිය අයගේ හා තුවාල ලැබූ ඇතැමුන්ගේ සිරුරවල වෙඩි ප්‍රහාරවලින් සිදුවූ තුවාලද දක්නට ලැබුණු බවය.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද උදෑසන සංවිධානාත්මකව සිදුකළ පහරදීම්වලින් මෙම ගැටුම හටගත් අතර තත්ත්වය පාලනයට වෙඩිතැබීමටද ආරක්ෂක අංශවලට සිදුවුණි.
අද උදෑසන මෙම සිද්ධිය ඇතිවූයේ ඊයේ (05) බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වය මැදියම් රැය වන විට පාලනය කර තිබූ පසුබිමකය.
කෙටිකාලීන සිරකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් 1,800කට අධික පිරිසක් රඳවා සිටින මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත්තේ ඊයේ පස්වරුවේය.
එම ගැටුමින් රැඳවියන් දෙදෙනකු මිය ගොස් තවත් 34 දෙනකු තුවාල ලැබීය.
මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින් මෙම ගැටුම ඇති වූ බව සඳහන්ය.
පසුව බන්ධනාගාරයේ කාන්තා සහ පිරිමි රැදවියන් පිරිසක් එහි වහල මත නැග විරෝධතාවකද නිරත වූ අතර එහි සිවිලිම කඩාවැටීමෙන් ඇදවැටුණු රැඳවියන් සිව්දෙනෙකුද තුවාල ලබා රෝහල්ගත කෙරුණි.
උද්ගත වූ මෙම තත්ත්වය පාලනය සඳහා ඊයේ රාත්‍රී බන්ධනාගාර පරිශ්‍රය වෙත පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාවද කැඳවනු ලැබීය.
බන්ධනාගාරය තුළ කළහකාරී ලෙස හැසිරුණු රැඳවියන් මීගමුව බන්ධනාගාරය තුළ පිහිටි රෝහල කඩා එහි වූ ඖෂධ පැහැරගෙන ඇති බව එහි බලධාරීන් පවසයි.
එසේම ඔවුන් එහි ශරීර සුවතා මධ්‍යස්ථානයේ දොරටු කඩා එහි වූ යකඩ සිය ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යොදාගෙන ඇති බව ද වාර්තා වේ.
කෙසේවෙතත් ඊයේ පස්වරුවේ ඇතිවූ තත්ත්වය හමුවේ රැඳවියන් අවි පැහැගනීයැයි ඇතිවූ සැකය මත බන්ධනාගාර නිලධාරීන් ඊයේ රාත්‍රියේම අවි ගබඩාවේ තිබූ ගිනිඅවි ඉන් ඉවත් කරගෙන තිබේ.
අද අලුයම් කාලයේ සන්සුන් ස්වරූපයෙන් සිටි රැඳවියන් උදෑසන යළි සංවිධානාත්මකව බන්ධනාගාර නිලධාරීන්ට අමානුෂික අයුරින් පහරදී ඔවුන්ගේ ජංගම දුරකථන පැහැරගෙන ඇති බව වාර්තා වේ.
බලධාරීන් බන්ධනාගාර දැඩිව පාලනය කිරීමට විරෝධය පාමින් ඔවුන් මෙම පහරදීම් සිදුකර ඇති බව ආරක්ෂක අංශ පවසයි.
මෙම ගැටුම ඇති වූ බන්ධනාගාරයේ විවිධ අපරාධ කල්ලිවලට සම්බන්ධ පාතාල සාමාජිකයන් 26 දෙනකු සිටින බව සඳහන්.
ආරක්ෂක අංශ පවසන්නේ මේ ගැටුම මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරය තුළ දඬුවමට යටත්ව සිටින කටුවැල්ලේගම සුරේෂ් නමැත්තා බවය.
ඔහු කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙක් වන අතර තියුණු ආයුධවලින් පහරදීම, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ අලෙවිය ඔහුට එරෙහි චෝදනා වේ.
මෙම පුද්ගලයාට 2016 වසරේදී නාරම්මල ප්‍රෙද්ශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමකට හා එහි සහායකයාට පහරදී බැඳ දමා චෛත්‍යයකට හානි කිරීමේ චෝදනාවක්ද එල්ල වී තිබේ.
මීගමුව මහාධිකරණයේ ඔහුට එරෙහි නඩුවක් විභාග වෙමින් තිබෙන බවද සඳහන්.
ඔහු දැනට බන්ධනාගාරගතව සිටින්නේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළවයි.










