අයි.එම්.එෆ්. අවුල්ද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අලුත් ආණ්ඩුව අතර පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් වෙනත් කිසිදු මාධ්‍යයක් කරුණු අනාවරණ නොකරද්දී පසුගිය සති කිහිපය පුරාම ‘මව්රට’ ‘රාජ්‍ය රහස්’ තීරය අදාළ සාකච්ඡාවන් සම්බන්ධයෙන් විශේෂ අනාවරණ කිහිපයක්ම සිදුකිරීමට කටයුතු කළේය. වගකිව යුතු මාධ්‍යයක් වශයෙන් 100%ක්ම තහවුරු කරගත් තොරතුරු මත පදනම්ව එහිදී අප කියා සිටියේ වොෂින්ටනයෙන් ලැබුණු තොරතුරුවලට අනුව මූල්‍ය අරමුදල මගින් කෙරෙන දෙවැනි සමාලෝචනය ලබන වසර දක්වා කල්යනු ඇතැයි කියාය. මේ වනවිට අප අනාවරණ කළ එම තොරතුර ආණ්ඩුව විසින් පමණක් නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින්ද තහවුරු කොට තිබේ. එමෙන්ම අප සඳහන් කොට සිටියේ දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවලදී යම් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇතැයි කියාය. එයද මේ වනවිට නිල වශයෙන් ආණ්ඩුව පැත්තෙන් අනාවරණ වී තිබේ. එමෙන්ම තවත් කාරණාවක් හෙළිදරව් කරමින් අප කියා සිටියේ ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ආදායම වැඩිකර ගැනීම සඳහා ආදායම් උපදවන ප්‍රධානම ආයතන තුන වූ රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීමට සැලසුම් කරමින් සිටින බවකි. අප මීට සතියකට පෙර කළ එම අනාවරණය පසුගිය සතියේදී අනාවරණ වූයේ ජනාධිපතිවරයා හා බැංකුකරුවන් අතර පැවැති සාකච්ඡාවේදී ඒ බව ජනාධිපතිවරයා විසින්ම සඳහන් කොට තිබීම හරහාය. එමෙන්ම අප කළ තවත් අනාවරණයක් තහවුරු කරමින් ජනාධිපතිවරයා එහිදී දැනුම් දී සිටියේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා විදෙස්ගතව සේවය කරන ශ්‍රී ලාංකික විද්වතෙකු ලංකාවට පැමිණීමට සූදානමින් සිටිනවා යැයි කියාය. ඒ අනුව පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප කළ අනාවරණයන් තුනම මේ වනවිට මහපොළොවේ යථාර්ථයක් බවට පත්වී ඇත.Sri Lanka Latest News
මූල්‍ය අරමුදල මගින් සිදුකරන සමාලෝචනය ලබන වසර කල් යෑම මත මූල්‍ය අරමුදල මගින් ලබාදීමට නියමිත තුන්වැනි ණය වාරිකය ලබන වසර දක්වා කල්යෑමත් සමග ආණ්ඩුව මේ වනවිට සැලසුම් කොට ඇත්තේ ලබන මාර්තු මාසයේදී ආණ්ඩුවේ පළමු අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමටය. මෙසේ මූල්‍ය අරමුදල මගින් මීළඟ ණය වාරිකය ලබාදීම සඳහා මූල්‍ය සමාලෝචනය සිදුකිරීම පමා කොට ඇත්තේ ආණ්ඩුවේ නව ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔවුන් තවමත් පැහැදීමකට පත්ව නොමැති නිසා බව පැවසේ. විශේෂයෙන්ම ආණ්ඩුව ලබන වසරේදී රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට තීරණය කොට ඇති අතර, ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගන්නා ආකාරය පිළිබඳ යම් කුකුසක් මූල්‍ය අරමුදලට මතුව ඇතැයි කියති. එමෙන්ම පොහොර සහනාධාරය ලබාදීම, විශ්‍රාමිකයන්ට ගෙවන මුදල් ඉහළ නැංවීම, සුබසාධන කටයුතුවලට අවශ්‍ය මුදල් සපයා ගැනීම සම්බන්ධයෙන්ද මූල්‍ය අරමුදල සිටින්නේ තරමක දෙගිඩියාවකය.
හැමිල්ටන් රිසර්ව්…
මේ අතර, වත්මන් ආණ්ඩුව ඉදිරියේ පුපුරා යෑමට නියමිතව තිබෙන තවත් කාල බෝම්බයක් පිළිබඳවද මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයේ හෙළිදරව්වක් කිරීමට අප සූදානම්ය. ඒ, ශ්‍රී ලංකාවෙන් බැඳුම්කර මිලදී ගත් ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව පිළිබඳවය. 2022 වසරේදී ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත්කිරීමත් සමග විදෙස් ණය හිමියන්ට ගෙවීමට ඇති සියලු ණය මුදල් ගෙවීම පැහැරහැරීමට ආණ්ඩුව කටයුතු කොට තිබිණි. එම තත්ත්වය හමුවේ මෙරට බැඳුම්කර මිලදී ගත් ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය හමුවේ නඩු පවරමින් අදාළ මුදල් ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලීමක් කොට තිබිණි. මෙම නඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යයක පළමුව කරුණු හෙළිදරව් කිරීමට කටයුතු කළේද ‘රාජ්‍ය රහස්’ තීරය විසිනි.
එරටින් අපට ලැබෙන තොරතුරුවලින් නම් කියැවුණේ නඩුව අධිකරණය හමුවේ දිගහැරෙන ආකාරය දෙන බලන විට ශ්‍රී ලංකාවට එය ඉතා අවාසිසහගත තීන්දුවක් ලැබීමේ බොහෝ ඉඩකඩක් නිර්මාණය වෙමින් පවතිනවා යැයි කියාය. එවැනි පසුබිමක් යටතේ යම් හෙයකින් ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණය මගින් ලංකාවට අවාසිසහගත තීන්දුවක් ලබාදුනහොත් එතැන් සිට ඇමෙරිකානු රිසර්ව් බැංකුව වෙත ගෙවීමට ඇති ණය මුදල ගෙවීමට ලංකා ආණ්ඩුවට සිදුවනු ඇත.
එහි ඇති භයානකම තත්ත්වය වන්නේ මෙම නඩුවේ තීන්දුව පදනම් කොට ගෙන දැනට ගෙවීම් පැහැරහැර සිටින විදෙස් ණය හිමියන් 100කට අධික සංඛ්‍යාවක් මේ ආකාරයට තමන්ගේ ණය මුදලද පියවන ලෙස ඉල්ලා එරට අධිකරණය හමුවේ නඩු පැවරීමේ අවදානමක් තිබීමය. එසේ වුවහොත් දැඩි ඩොලර් හිඟයකට මුහුණපා සිටින ලංකා ආණ්ඩුවට සිදුවන්නේ අතිශය භයානක තත්ත්වයකට මුහුණ දීමටය.
මෙම නඩුව අධිකරණය හමුවේ දිගහැරෙන ආකාරය ලංකාවට අහිතකර නිසාම එවක පැවැති ආණ්ඩුව ඇමෙරිකානු රජය සමග සාකච්ඡා කොට ඔවුන්ගේද සහාය ඇතුව නඩුවේ තීන්දුව ලබාදීම කිසියම් කාලයකට කල්දමා ගැනීමට කටයුතු කළේය. නමුත් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන වෙනසත් සමග නැවතත් මෙම නඩුවේ තීන්දුව ලබාදීම ඉක්මන් වන ආකාරයක් දැකගන්නට පුළුවන.
ලියුම් හුවමාරුවක්
මේ බව තහවුරු වූයේ පසුගිය ඔක්තෝබර් පළමුවැනිදා හැමිල්ටන් රිසර්ව් බැංකුව මගින් ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ ලිපියක් හේතුකොට ගෙනය. එම ලිපිය මගින් හැමිල්ටන් රිසර්ව් බැංකුව අධිකරණයට පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරළියක් සිදුව ඇති බවත්, වම නියෝජනය කරන නායකයකු වන අනුර කුමාර දිසානායක මහතා බලයට පත්ව තිබීමත් නිසා ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවන බවය. අනුරගේ ආණ්ඩුවත් පැවැති ආණ්ඩු විසින් ගෙන ආ ආර්ථික වැඩපිළිවෙළම ඉදිරියට ගෙන යයිද, අයි.එම්.එෆ්. ගිවිසුමෙන් ඉවත් වීමට කටයුතු කරයිද, විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ පිළිගනීද යනුවෙන් ගැටලුවක් මතුවන බවද හැමිල්ටන් රිසර්ව් බැංකුව පෙන්වා දී තිබේ.
මෙම ලිපිය පදනම් කොටගෙන අධිකරණය හමුවේ කරුණු දක්වා ඇති එම බැංකුව වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මේ වනවිට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවා ඇති පසුබිමෙක අනුරගේ පක්ෂයට බහුතරයක් හිමි නොවීමේ අවදානමක් මතුව ඇති බවත්, ශ්‍රී ලංකාවේ මූල්‍ය බලය පාර්ලිමේන්තුවට හිමිව ඇති බැවින් එවැනි තත්ත්වයක් යටතේ බහුතරයක් නොමැති ආණ්ඩුවක් පත්වුවහොත් ණය ගෙවීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් වනු ඇති බවත්, මේ හේතුව නිසා තවදුරටත් මෙම නඩුවේ තීන්දුව කල් නොදමා වහාම ප්‍රකාශයට පත්කළ යුතු බවත්ය.
මේ ආකාරයට හැමිල්ටන් රිසර්ව් බැංකුව ලිපියක් මාර්ගයෙන් ලංකාවේ තත්ත්වය පිළිබඳ ෆෙඩරල් අධිකරණයට කරුණු දැනුම් දී ඇති බව ආණ්ඩුවටද වාර්තා විය. ඒ අනුව ආණ්ඩුවද වහාම ඊට ප්‍රතිචාර දැක්වීමට පියවර ගත්තේය. ඒ, ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන භාරව සිටින ක්ලිෆර්ඩ් ඇන්ඩ් චාන්ස් සමාගම හරහාය. ඒ අනුව, පසුගිය ඔක්තෝබර් 04 වැනි දින අදාළ සමාගම විසින් ලිපියක් මගින් ෆෙඩරල් අධිකරණයට දැනුම් දී ඇත්තේ ආණ්ඩුව වෙනස් වුවද ලංකාව මෙතෙක් පවත්වාගෙන ආ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කිරීමකට ලක් නොවන බවකි. එහිදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ දැනුම් දීමක් කර ඇති අදාළ සමාගම ආණ්ඩු වෙනස් වුවත් මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම කිසිසේත් වෙනස් නොකරන බව අධිකරණයට දැනුම්දී තිබේ.
තත්ත්වය මෙසේ වුවත් යම් හෙයකින් හැමිල්ටන් රිසර්ව් බැංකු පැවරූ නඩුවේ තීන්දුව බැංකුවට වාසිසහගත ලෙස ප්‍රකාශයට පත්කිරීමට ෆෙඩරල් අධිකරණය කටයුතු කළහොත් ආණ්ඩුවට එම මුදල් නොගෙවා සිටිය නොහැකිය. එවැනි තත්ත්වයක් මතුවුවහොත් දැනට ණය නොගෙවා සිටින අනෙකුත් ණය හිමියන්ද ලංකා ආණ්ඩුවට එරෙහිව අදාළ නඩු තීන්දුව පදනම් කරගෙන අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරනු ඇත. එසේ වුවහොත් තත්ත්වය අතිශයින්ම අවදානම්සහගත වන බව අමුතුවෙන් කිවයුතු නැත.
එමෙන්ම ආණ්ඩුව වෙනුවෙන් ක්ලිෆර්ඩ් ඇන්ඩ් චාන්ස් යොමුකළ ලිපිය හරහා තවත් කරුණක් පැහැදිලිය. ඒ, රට වෙනස් කරන බවට, අයි.එම්.එෆ්. ගිවිසුමේ යම් යම් කරුණු වෙනස් කරන බවට ජනතාවට පොරොන්දු දී පැමිණි මාලිමා ආණ්ඩුවද මහින්දලා, රනිල්ලා, සජිත්ලා ගිය පාරේම ඉදිරියට යෑමට තවදුරටත් තීන්දු කර ඇති බවය.
නම් ලයිස්තු කෝ?
ජනාධිපතිවරණය පැවැත්වීමට පෙරාතුව ‘රාජ්‍ය රහස්’ තීරය හරහා අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් අප කියා සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට බිලීබාගැනීම සඳහා හිතූ හිතූ හැටියේ මත්පැන් බලපත්‍ර ලබාදී ඇති බවත්, විපක්ෂයේ තෝරාගත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට ආණ්ඩුවේ විමධ්‍යගත අරමුදල්වලින් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ලබාදී ඇති බවත්ය. එහිදී ඇතැම් මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත්‍ර දෙක, තුන ලබාදී ඇති බවත්, සජබයේ ගම්පහ නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරයකුට මත්පැන් සංස්ථාවක් ආරම්භ කිරීම සඳහා මත්පැන් නිෂ්පාදනය කිරීමේ බලපත්‍රයක් ලබාදී තිබූ බවත්, අදාළ මන්ත්‍රීවරයා එම බලපත්‍රය ව්‍යාපාරිකයකුට ලබාදී විශාල මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති බවත් අපි එහිදී අනාවරණ කර සිටියෙමු. අප කළ මෙම හෙළිදරව්වෙන් පසු ඊට විශාල ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කළේ වෙන කවුරුවත් නොව මාලිමාවේ ඉහළ පෙළ නියෝජිතයන්ය. අප කළ මෙම හෙළිදරව්ව ගෙනහැරපාමින් ඔවුන් කියා සිටියේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වූ වහා මෙම සියලු මත්පැන් බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බවත්, හිටපු ජනාධිපතිවරයාගෙන් මත්පැන් බලපත්‍ර ලබාගත් අයගේ නම් ලැයිස්තුව ජනතාවගේ දැනගැනීම සඳහා රටට හෙළිදරව් කරන බවත්ය.
නමුත් කනගාටුවට කරුණ වන්නේ අනුර මෙරට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී මේ වනවිට මාසයක් ඉක්ම ගියත් තවමත් මේ හිටපු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව හෙළිදරව් කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන්ය. ජනාධිපතිවරයා වශයෙන් මුදල් අමාත්‍යාංශය පවතින්නේ අනුර යටතේය. සුරාබදු දෙපාර්තමේන්තුව පවතින්නේද අනුර යටතේය. ආණ්ඩුව පවතින්නේද ජනාධිපතිවරයා යටතේය. එසේ නම් හිටපු ජනාධිපතිවරයාගෙන් මත්පැන් බලපත්‍ර ලබාගත් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව විනාඩි කිහිපයක් තුළ තමන් අතට ගැනීමට අනුරට හැකියාව ඇත. නමුත් මේ වනවිට ජනාධිපතිවරයා පත්වී මාසයක් ගතවී ඇතත් තවමත් එම බාර් ලයිසන් අල්ලස් ගත් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව රටට අනාවරණ නොවීම උභතෝකෝටිකයකි. මෙසේ එම ලැයිස්තුව එළියට නොඑන්නේ යම් යම් හිටපු ප්‍රබලයන් ජනාධිපතිවරයා සමග ඇතිකරගත් රහස් ගනුදෙනු නිසාය යන්න පිළිබඳ මේ වනවිට බරපතළ ප්‍රශ්නයක් මතුව තිබේ.
අනුර ජනාධිපති බවට පත්වීමත් සමග මෙම බාර් ලයිසන් ලබාගත් මන්ත්‍රීවරයකුගේ නමක් සහ මුදල් එහා මෙහා වුණු චෙක්පත් වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවට පැමිණ අනාවරණ කළත් එය එතැනින්ම නිමාවට පත්විය. වසන්ත සමරසිංහ එහිදී කියා සිටියේ සජබ මන්ත්‍රීවරයකුව සිටි ජේ.සී. අලවතුවල මහතා එසේ මත්පැන් බලපත්‍රයක් ගෙන කිසියම් පාර්ශ්වයකට විකුණා ඇති බවකි. ඊට අදාළව හුවමාරු වුණු චෙක්පතක්ද අංක සහිතවම මාධ්‍යයට හෙළිදරව් කිරීමට එදා වසන්ත පියවර ගෙන තිබිණි. නමුත් එදායින් පසු අද වනතුරු වසන්ත සමරසිංහ ඒ පිළිබඳ වචනයක් හෝ කතා කළේ නැත. චෝදනා එල්ල වූ ජේ.සී. අලවතුවලද සජබයෙන් නැවත වතාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.
විමධ්‍යගත අරමුදල් ලබාගත් මන්ත්‍රී නම් ලැයිස්තුව සම්බන්ධයෙන්ද කීමට ඇත්තේ එපමණකි. මුදල් අමාත්‍යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදී සියල්ල පවතින්නේ ජනාධිපතිවරයා යටතේය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට මෙම විමධ්‍යගත අරමුදල් හිමිවිය යුතු නමුත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒවා ලබාදී තිබුණ් තෝරාගත් සජබ, දෙමළ සන්ධාන සහ මුස්ලිම් පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට පමණි. එම නම් ලැයිස්තුව ලබාගැනීමටද ජනාධිපතිවරයාට එතරම් අපහසු නැත. නමුත් ගැටලුව ඇත්තේ එදා කී ආකාරයට තවමත් එම නම් ලැයිස්තුව ආණ්ඩුව පැත්තෙන් හෙළිදරව් නොවීම සම්බන්ධයෙන්ය.
මෙහිදී දෙමළ සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මාධ්‍ය හමු දෙකක් පවත්වමින් ආණ්ඩුවට කළ අභියෝගයද පහසුවෙන් බැහැර කළ නොහැක. එහිදී සුමන්තිරන් ප්‍රසිද්ධියේම කියා සිටියේ උතුරේ රනිල්ගෙන් මත්පැන් බලපත්‍ර දෙක තුන ගත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සිටින බවත්, හැකි නම් ඔවුන්ගේ නම් ලැයිස්තුව හෙළිදරව් කරන ලෙසත්ය. සුමන්තිරන්ගේ මෙම අභියෝගයට හේතුව වී තිබුණේ උතුරේ ද්‍රවිඩ මන්ත්‍රීවරයකු වූ ශ්‍රීධරන් විසින් රනිල්ගෙන් මත්පැන් බලපත්‍ර 3ක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබීමය. නමුත් අනුර ජනාධිපතිවරයා බවට පත්වීමත් සමග අනුරව මුණගැසී තිබූ ශ්‍රීධරන් ඔහු සමග සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඒ බව ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිවේදනය කළත් එම හමුවේ ඡායාරූප කිසිවක් මාධ්‍යයට නිකුත් නොකිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා හමුවී ශ්‍රීධරන් යම් දේශපාලන ඩීල් එකක් දමාගත්තාද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනකුට සැක මතුව තිබේ.
දේවානන්දාත් ගිහින්
මීට අමතරව පසුගිය සතියේදී උතුරේ තවත් ද්‍රවිඩ නායකයකු වූ ඩග්ලස් දේවානන්දාද කොළඹ පැමිණ ජනාධිපතිවරයා හමුවීමට පියවර ගෙන තිබිණි. ඩග්ලස් යනු මහින්දගේ කාලයේ සිටම ඔහුත් සමග දේශපාලනය කළ දැඩි මහින්දවාදියෙකි. මහින්දගෙන් පසු ගෝඨාට සහාය දැක්වූ ඩග්ලස්, පසුව ගෝඨාගේ පලා යෑමෙන් පසු රනිල්ට සහාය පළකරමින් ඔහුගේ කැබිනට්ටුවේද අසුන් ගත්තේය. කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම ඩග්ලස්ට එල්ල වී තිබූ චෝදනා ඉතා බරපතළය.
කෙසේ වෙතත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා මුණගැසුණු ඩග්ලස් තමන් ඉන්දියාවත් සමග කිට්ටු සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව දැනුම් දී ඉන්දියාව සහ ජනාධිපතිවරයා අතර පාලමක් සෑදීමට හැකි බව දැනුම් දී ඇති බවකි.
‘මට ඉන්දියාවත් එක්ක සමීප සම්බන්ධයක් තියෙනවා. අපේ ආණ්ඩු කාලයේ ඉන්දියාවත් එක්ක එකතු වෙලා ව්‍යාපෘති ගොඩක් කළා. ඒ ව්‍යාපෘතිවල තාම වැඩ කරන්නෙත් අපි දාපු නිලධාරීන්මයි. හැබැයි දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේ ව්‍යාපෘතිවලට මොකද වෙන්නේ කියලා. ඉන්දියාවත් බලාගෙන ඉන්නේ මේ ව්‍යාපෘතිවල අනාගතය දිහා. ඔවුන්ටත් ප්‍රශ්නයක් මේවා තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක වෙනවද කියලා’ යනුවෙන් මෙහිදී ඩග්ලස් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ. මේ බව තහදුරටත් තහවුරු වූයේ සාකච්ඡාව අවසන් කොට එළියට පැමිණි ඩග්ලස් ඒ සම්බන්ධයෙන් සිය හිතවතුන්ට කළ දැනුම්දීමත් සමගය. එහිදී ඩග්ලස් කියා තිබුණේ ඉන්දීය ව්‍යාපෘති සියල්ල මෙතෙක් කරගෙන ගිය ආකාරයට හිටපු නිලධාරීන් සමගම සිදුකරගෙන යන ලෙසට ජනාධිපතිවරයා තමන්ට දැනුම් දුන් බවකි. එමෙන්ම උතුරට ගොස් එහි දේශපාලන නායකයන් හමුවූ ඩල්ගස් ඔවුන්ට කියා තිබුණේ තමන් ජනාධිපතිවරයා මුණගැසී තම පක්ෂයට උතුරෙන් ආසන 10ක් ලැබෙන බවත්, මැතිවරණයෙන් පසු සිය මන්ත්‍රීවරුන් 10 දෙනාගේ සහාය ජනාධිපතිවරයාට ලබාදෙන බව දැනුම් දුන් බවත්ය.
අප දන්නා විදියට නම් ඩග්ලස් ගේ ඊ.පී.ඩී.පී.යට උතුරෙන් ආසන 10ක් ලබාගැනීමට කිසිදු හැකියාවක් නැත. උතුරෙන් මෙවර ඔහුගේ පක්ෂයට උපරිම හිමිවන්නේ මන්ත්‍රීවරුන් එක් අයකු හෝ දෙදෙනෙකි. එමෙන්ම ඩග්ලස් කියන ආකාරයට ඉන්දියාව සමග ඔහුගේ විශාල ගනුදෙනුවක් හෝ හිතවත්කමක්ද නැත. අනෙක ඉන්දියාව ලංකාවට පණිවුඩ දීමට ඩග්ලස්ව පාවිච්චි කරන්නේද නැත. අනෙක් අතට ඉන්දියාවට ඇතුළු නොවන ලෙසට ඩග්ලස්ට එරෙහිව වාරණ නියෝගයක්ද තිබේ. ඒ අනුව ඉන්දියාව ඩග්ලස් හා අනුර අතර පැවැති සාකච්ඡාවක් පිළිබඳ හාංකවිසියක් හෝ නොදන්නා බවද සහතිකය.
බහුතරය ගන්න බෑ
මේ ආකාරයට ශ්‍රීධරන් සහ ඩග්ලස් හදිසියේම ගොස් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීම පිළිබඳවත්, දෙනවා දෙනවා කියා ප්‍රසිද්ධ නොකර සිටි බාර් ලයිසන් ගත් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ නොකර සිටීම පිළිබඳවත් ‘රාජ්‍ය රහස්’ තීරය පසුගිය සතියේ යම් විමර්ශනයක් සිදු කළේය. එහිදී මේ සිදුවීම් අතර ඇති සහසම්බන්ධය පිළිබඳ යම් සැකයක් අනාවරණ කරගැනීමට අපට හැකිවිය.
ඒ සැකය නම් ආණ්ඩුව එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය ස්ථිර වුවත් 113ක බහුතරය ලබාගැනීමේ යම් චකිතයකින් පසුවීමය. ආණ්ඩුවට මෙම චකිතය මතුව ඇත්තේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු මසක් ඇතුළත පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ මැතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමත් සමගය. සාමාන්‍යයෙන් ලංකාවේ ඇති පොදු තත්ත්වය වන්නේ විශාල ජනාධිපතිවරණ ජයග්‍රහණයකින් පසු ඊළඟට පවත්වන කුමන ඡන්දයක් හෝ වේවා ඒ ජයග්‍රාහී කණ්ඩායම තවත් අතිවිශාල ජයග්‍රහණයක් වාර්තා කිරීමය. නමුත් ඇල්පිටිය මැතිවරණයේදී මාලිමාවට අවම වශයෙන් 50% ඡන්ද ප්‍රතිශතයක් හෝ ලබාැනීමට නොහැකි විය. එවැනි පසුබිමක් යටතේ මහ මැතිවරණයේදීද පාර්ලිමේන්තු බහුතරය ලබාගැනීමට නොහැකි වුවහොත් මතුවිය හැකි තත්ත්වය සම්බන්ධයෙන් මාලිමා ප්‍රබලයන් මේ වනවිට සිටින්නේ කිසියම් අර්බුදකාරී තත්ත්වයකය.
ඒ අනුව, පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොළඹ එක්තරා ස්ථානයක විශ්ෂ සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාව පැවැති ස්ථානය, වේලාව, ඊට සහභාගි වූ පිරිස් කවුරුන්ද යන්න පිළිබඳ අපට තොරතුරු වාර්තා වී ඇතත්, මේ මොහොතේ අපි එය වාර්තා කිරීමට කටයුතු නොකරමු, කෙසේ වෙතත් මෙහිදී දීර්ඝව සාකච්ඡාවට ලක්වූයේ යම්කිසි හෙයකින් මාලිමාවට බහුතරය ලබාගැනීමට නොහැකි වුවහොත් ආණ්ඩුව පිහිටුවන්නේ කෙසේද යන්න පිළිබඳවය. මෙහිදී මැතිවරණ උපක්‍රම පිළිබඳ සාකච්ඡා කිරීමේදී බොහෝ දෙනා පෙන්වා දී ඇත්තේ දැනට පවතින තත්ත්වය යටතේ මාලිමාවට උපරිම වශයෙන් ආසන 95ත් 100ත් අතර ප්‍රමාණයක් ජයග්‍රහණය කළ හැකි යැයි කියාය. ඉන් එපිටට ලැබෙන ආසන බෝනස් බවද එහිදී කියැවී තිබේ. ඒ අනුව එම සාකච්ඡාවේදී යෝජනා වී ඇත්තේ යම් හෙයකින් ආණ්ඩුවට බහුතරය ගැනීමට නොහැකි වුවහොත් ශ්‍රීධරන්, රවුෆ් හකීම්, දිගම්බරම්, ඩග්ලස් දේවානන්දා වැනි පිරිස් එකතු කොටගෙන ආණ්ඩුවක් පිහිටුවීමටය.
මීට අමතරව යම් හෙයකින් මාලිමාව ආසන 90ටත් වඩා පහළට වැටුණහොත් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබේ. එහිදී යෝජනා වී ඇත්තේ එසේ වුවහොත් ප්‍රධාන විපක්ෂය ලෙස සජිත්ගේ සමගි ජන බලවේගය තේරීපත්වන නිසා ඔවුන් සමග වසර 3ක පමණ එකඟතා ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතු බවය.
ඒ අනුව, සජිත් මේ වනවිට සමගි ජන බලවේගයේ රැස්වීම් වැඩිකොට සම්පූර්ණ ශක්තිය මහ මැතිවරණයට ඉලක්ක කොට ඇත්තේ ඒ නිසා විය යුතුය. අනෙක් අතට ආණ්ඩුව පැත්තෙන් බාර් ලයිසන් සහ විමධ්‍යගත අරමුදල් ගත් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව එළියට නොඑන්නේද මේ ආකාරයට මහ මැතිවරණයෙන් පසුව උතුරේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමේ අරමුණෙන් යුතුව බව බොහෝ දෙනාගේ අදහසය.
ජවිපෙ-මාලිමා ගැටුම
අනුර ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී සති දෙකක් යෑමෙන් අනතුරුව අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කළ හෙළිදරව්වකින් කියා සිටියේ ජවිපෙ හා මාලිමාව අතර නාමයෝජනා මුල්කරගෙන සීතල යුද්ධයක් ආරම්භ වී ඇතැයි කියාය. දිස්ත්‍රික්කවල ජවිපෙ සාමාජිකයන්ට වැඩි වශයෙන් නාමයෝජනා ලබාදීමට ජවිපෙ කටයුතු කිරීමත් සමග මාලිමාවෙන් ඊට ප්‍රබල විරෝධයක් මතුව තිබිණි. ඔවුන් කියා සිටියේ ජයග්‍රහණයේ වැඩි කොටසක් ඔවුන්ටද හිමිවිය යුතු නිසා මාලිමාවේ ආචාර්ය, මහාචාර්යවරුන් වැඩි පිරිසකට සෑම දිස්ත්‍රික්කයකින්ම නාමයෝජනා වැඩි ප්‍රමාණයක් හිමිවිය යුතු යැයි කියාය.
මේ තත්ත්වය තරමක් උණුසුම් වූයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නව සභාපතිවරයා පත්කිරීමේදීය. අගමැතිවරිය වශයෙන් හරිනි ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ තැනැත්තාට පක්ෂව සිටියද අනුර තීන්දු කළේ ඊට වෙනත් පුද්ගලයකු පත්කිරීමටය. මේ සම්බන්ධයෙන් තිරය පිටුපස අනුර හා හරිනි අතර යම් මතගැටුමක් සිදුව ඇති බව යම් යම් සමාජ මාධ්‍ය වාර්තා කොට තිබිණද, හරිනි ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ එවැනි කිසිදු ගැටුමක් තමන් සහ අනුර අතර නොමැති බවය. හරිනි එසේ කීවද අනුර නම් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කොට තිබුණේ නැත. නමුත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් සඳහන් කරන්නේ මහ මැතිවරණය මුල් කරගෙන මෙම ජවිපෙ මාලිමා ගැටුම මේ වනවිට ඔඩුදුවා ඇති බවය.
ඊට හේතුවී ඇත්තේ මේ වනවිට සෑම දිස්ත්‍රික්කයකම ජවිපෙ සිය සාමාජිකයන් ලවා ජවිපෙ නායකයන්ගේ අංකය සහ පින්තූර පමණක් ප්‍රචලිත කරමින් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ගම් ඇතුළේ දියත් කරමින් සිටින නිසාය. මාලිමාව නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්ව සිටින ආචාර්ය මහාචාර්යවරුන්ට මෙම ජවිපෙ යාන්ත්‍රණයට ප්‍රවේශ වීමේ හැකියාව නොමැති නිසා ඔවුන්ට විශාල අසාධාරණයක් සිදුව ඇති බව පසුගිය දින කීපය පුරාම ඔවුන් මාලිමාවේ ප්‍රධානීන්ටත්, හරිනිටත් දැනුම් දීමට කටයුතු කොට තිබිණි. පෙළක් අපේක්ෂකයන් මේ බව ඍජුවම හරිනිට පැමිණිලි කිරීමටද කටයුතු කොට තිබිණි.
ඒ අනුව මේ වනවිට ජවිපෙ ඉලක්කය වී ඇත්තේ මෙවර පාර්ලිමේන්තුවට පත්වන මාලිමා නියෝජිතයන්ගෙන් 95%ක්ම ජවිපෙ මන්ත්‍රීවරුන් බවට පත්කිරීමටය. උදාහරණයක් ලෙස එක දිස්ත්‍රික්කයකින් මන්ත්‍රීවරුන් 4 දෙනෙක් පත්වන්නේ නම් ඉන් 3 දෙනකුම ජවිපෙ බවට පත්කිරීමත්, ඒ හරහා මාලිමා නියෝජිතයන් හලා සැබෑ ජවිපෙ නායකයන් පාර්ලිමේන්තුවට ගෙන ඒමත් ඔවුන්ගේ සැලැස්ම වී තිබේ.
ජවිපෙ මෙතෙක් ප්‍රතිපත්තිය වී තිබූ මනාප පොරයට නොවැටී සිටීම කඩාබිඳ දමා මෙවර මහ මැතිවරණයේදී ජවිපෙද මනාප පොරයට ප්‍රවිශ්ට විම ඊට එක් උදාහරණයකි. ලාල්කාන්ත ඒ බවප්‍රසිද්ධියේම සඳහන් කර සිටියේ මෙවර මාලිමාවද මනාප ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත්, වැඩිම මනාපයෙන් තේරී පත්වන පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත්වන බවත්ය. ඒ අනුව, ජවිපෙ මේ වනවිට සූදානම් වන්නේ පොහොට්ටුව යටතේ වියත් මගට වූ සන්තෑසියම මාලිමාව යටතේ ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට අත්කොට දී ඔවුන් ස්වභාවික මරණයකට ගොදුරු කරලීමටය. ඒ අනුව මහ මැතිවරණයේදී මාලිමාවෙන් දිස්ත්‍රික්ක ගණනාවක ඉදිරිපත්ව සිටින ආචාර්ය මහාචාර්යවරු බොහෝ දෙනකුට මෙවර පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී ඇත.
නිමල් ගැන ජපානය කී දේ
නිමල් සිරිපාල යනු මේ රටේ 1994න් පසු පැවැති සෑම ආණ්ඩුවකම කැබිනට් ඇමැති තනතුරු දැරූ අයෙකි. චන්ද්‍රිකා ජනාධිපතිකම් කරද්දී චන්ද්‍රිකාගේ කැබිනට්ටුවේද නිමල් සිරිපාල සිටියේය. මහින්ද ජනාධිපතිකම් කරද්දී මහින්දගේ කැබිනට්ටුවේද නිමල් සිරිපාල අවුරුදු 10ක් සිටියේය. මහින්ද පරාජයට පත්වී බලයට ආ මෛත්‍රීපාල සිරිසේනගේ කැබිනට්ටුවේද නිමල් සිරිපාල සිටියේය. මෛත්‍රීගෙන් පසු ජනාධිපති ධුරයට පත් ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට්ටුවේද නිමල් සිරිපාලට කැබිනට් ඇමැතිකමක් වෙන්විය. එපමණක් නොව ගෝඨාභයගේ පලායෑමෙන් පසු පාර්ලිමේන්තුව හරහා ජනාධිපති ධුරයට පත් රනිල්ගේ ආණ්ඩුවේද කැබිනට් ඇමැතිවරයකු ලෙස නිමල් සිරිපාල වැඩ කළේය. මේ ආකාරයට 1994 සිට පැවැති සියලු ආණ්ඩුවල කැබිනට් ඇමැතිවරයකු වශයෙන් කටයුතු කොට නිමල් සිරිපාල වාර්තාවක්ද තබා තිබේ.
මේ වසර 30ක කාලය ඇතුළත නිමල් සිරිපාලට විවිධ දූෂණ චෝදනා එල්ල නොවුණා නොවේ. නමුත් ඒ සෑම චෝදනාවක්ම එවකදී බලයේ සිටි ජනාධිපතිවරුන්ගේ පිහිටෙන් යටකොට ගෙන දිගටම ඇමැති ධුරයේ සිටීමට නිමල් සිරිපාලට හැකි විය. නමුත් නිමල් සිරිපාලට ගැළවෙන්නම බැරි චෝදනාවක් එල්ල වූයේ ගෝඨාභය රාජපක්ෂ සමයේදීය. ඒ එවකදී කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ කටයුතු භාරව සිටි ජපාන ‘තායිසෙයි’ සමාගමෙන් රුපියල් ලක්ෂ 2000ක අල්ලසක් ඉල්ලා සිටීමේ චෝදනාවක් එල්ල වීම නිසාය.
මේ චෝදනා කළේ මාධ්‍යයක් හෝ විපක්ෂයේ දේශපාලන පක්ෂයක් හෝ නොව මේ රටේ ජපාන තානාපතිවරයා වශයෙන් කටයුතු කළ මිෂුකෝෂි හිදකායි මහතාය. ඔහු ඒ චෝදනාව ඉදිරිපත් කළේද මාධ්‍යය හෝ වෙන යම් තැනකට නොව එවක මේ රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාටය. ඊට හේතුවී තිබුණේ සාමාන්‍යයෙන් ජපානය කිසිදු අවස්ථාවක ආයෝජනවලදී හෝ සංවර්ධන වැඩසටහන්වලදී කොමිස් මුදල් හෝ අල්ලස් ලබා නොදෙන, දූෂණ වංචාවලට ඉඩ නොතබන රටක් ලෙස අතීතයේ සිටම කටයුතු කොට තිබීම නිසාය.
කෙසේ වෙතත් ජපාන තානාපතිවරයාගෙන් නිමල් සිරිපාලට එරෙහිව මෙම බරපතළ පැමිණිල්ල ඉදිරිපත් වීමත් සමග ගෝඨාභය කළේ නිමල්ව කැබිනට් ඇමැතිකමෙන් ඉවත් කොට ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ කමිටුවක් පත්කිරීමය.
තත්ත්වය මෙසේ තිබියදී අරගලය හේතුවෙන් ගෝඨාභයට ජනාධිපති තනතුර අතහැර රටින් පලා යන්නට සිදුවිය. ගෝඨාභයගේ ආණ්ඩුව කඩාගෙන වැටුණි. ඉන් පසු පාර්ලිමේන්තුව ඇතුළේ පැවැති ජනාධිපති තේරීමේ ඡන්දයෙන් රනිල් ජනාධිපති බවට පත්විය. ජනාධිපති වීමත් සමග රනිල් කළේ නිමල් සිරිපාලට යළිත් වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය ලබාදීමය. එහිදී තමන්ට හිතවත් අයකු ලවා කමිටුවක් පත්කොට එම කමිටුව මගින් නිමල් සිරිපාල එම චෝදනාවෙන් නිදහස් බවට වාර්තාවක් ඉදිරිපත් කොට නිමල් සිරිපාලව සුද්ධ කිරීමට රනිල් පියවර ගෙන තිබිණි.
මේ හරහා සිදුවූයේ එවකදී මෙරට ජපාන තානාපතිවරයා ගෝඨාභය රාජපක්ෂ වෙත බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බවට වූ මතයක් සමාජගත වීමය. ඒ මෑත කාලයේදී ජාත්‍යන්තරය හමුවේ ලංකාව විසින් ජපානයේ ප්‍රරූපය බාල්දු කළ දෙවැනි අවස්ථාව විය. පළමු අවස්ථාව වී තිබුණේ ගෝඨාභය බලයට පත්වීමත් සමග කිසිදු සාධාරණ හේතුවක් නොදක්වා ඉතා සහනදායී කොන්දේසි යටතේ ආරම්භ කොට තිබූ මාලබේ සිට කණු මතින් කොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීමය. මේ හේතුවෙන් ලංකාවට විශාල වන්දි මුදලක් ජපානයට ගෙවීමට සිදුවූවා පමණක් නොව ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ සිටම ලංකාවට නොමිලේ උදව් උපකාර කළ, වැඩිම මුදල් ආධාර නොමිලේම ලබාදුන් රටක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ජපානය ලංකාව සමග හිත් අමනාපයෙන් පසුවීමය.
කෙසේ වෙතත් රනිල් ඒකපාර්ශ්වික කමිටුවක් පත්කොට නිමල් සිරිපාලව සුද්ද කර යළි එම ඇමැතිකමම ලබාදුන්නා කියා ජපානය හෝ ජපාන තානාපතිවරයා හෝ කිසිදු ප්‍රකාශයක් කිරීමට ගියේ නැත. තමන්ට සිදුවූ මදිපුංචිකම ඉවසාගෙන සිටියේය. නමුත් මේ සම්බන්ධයෙන් පළමු වතාවට ජපානය අදහස් දැක්වීමට කටයුතු කොට තිබුණේ ඉකුත් සතියේදීය. ඒ, ජපාන තානාපති හිදකායි මහතා සිය ධුර කාලය නිමාකොට ලංකාවෙන් පිටව යෑමට මොහොතකට පෙර මෙරට ප්‍රකට ඉංග්‍රීසි පුවත්පතක් සමග පැවැති සාකච්ඡාවේදීය.
එම සාකච්ඡාව මෙහෙයවු මාධ්‍යවේදියා විසින් නිමල් සිරිපාල ජපාන සමාගමෙන් ලක්ෂ 2000ක අල්ලසක් ඉල්ලූ බවට වූ චෝදනාව පිළිබඳ ජපාන තානාපතිවරයාගෙන් විමසා තිබිණි. එහිදී ජපාන තානාපතිවරයා පළමු වරට ඒ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා තිබුණේ තමන් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අකැමැති බවකි. කෙසේවෙතත් ඇතැම් අවස්ථාවලදී ලංකාවේ දේශපාලඥයන් තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ප්‍රතිලාභ බලාපොරොත්තු වන බවත්, එවැනි සිද්ධියක් වාර්තා වූ සැණින් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට තමන් කටයුතු කළ බවත්ය.
අච්චු ගැහුවාද?
අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව බලයට පත්වී මසක් ගිය තැන විපක්ෂයෙන් එල්ල වූ බරපතළම චෝදනාවක් වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුමේ තිබූ වගන්තියක් වූ මුදල් අච්චු ගැසීමෙන් වැළකී සිටිය යුතු බවට වූ වගන්තිය කඩකොට පළමු වතාවට මුදල් අච්චු ගැසීමට කටයුතු කොට ඇතැයි කියාය. මේ සම්බන්ධයෙන් විපක්ෂය මෙන්ම සමාජ මාධ්‍යද දිගින් දිගටම චෝදනා එල්ල කරද්දී පසුගිය බදාදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමැති විජිත හේරත් කියා සිටියේ ආණ්ඩුව එසේ මුදල් අච්චු ගැසීම සිදුකොට නැති බවත්, අයි.එම්.එෆ්. ගිවිසුම අනුව සල්ලි අච්චු ගැසීමට නොහැකි බවත්ය.
පසුව ඒ සම්බන්ධයෙන් මහ බැංකුවද නිවේදනයක් නිකුත් කළ අතර, එමගින්ද සඳහන් කොට තිබුණේ අලුතින් මුදල් අච්චු ගැසීමක් සිදුකළ නොහැකි යැයි කියාය. මේ සම්බන්ධයෙන් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් උදය ගම්මන්පිල කියා සිටියේ මහබැංකු නිවේදනය හොඳින් කියවාගෙන යද්දී එහි මුදල් අච්චු ගසා ඇති බව මහබැංකුව විසින්ම පිළිගෙන ඇති බවකි.
පසුව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්නද කියා සිටියේ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් සිදුකොට ඇති බවකි.
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ගම්මන්පිල සහ රෝහිණී කවිරත්න මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවද සජබ ආර්ථික විශේෂඥයන් ලෙස පෙනීසිටින ආචාර්ය හර්ෂ ද සිල්වා හෝ ඉරාන් වික්‍රමරත්න යන දෙදෙනාම මේ සම්බන්ධයෙන් ජනතාවට දැනෙන ආකාරයේ නිශ්චිත අදහසක් ඉදිරිපත් නොකිරීමය. වරක් හර්ෂ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් විමසූ විට හර්ෂ කියා සියේ ‘මම ඒ ගැන කතාකරන්නේ නෑ’ කියාය. ඉරාන්ද මාධ්‍ය හමු කීපයක් පැවැත්වුවද රෝහිණී කවිරත්න කළ පැහැදිලි කිරීම හෝ ඉරාන්ගෙන් ඉදිරිපත් වනු දැකගන්නට නොලැබිණි.
කෙසේ වෙතත් පෙළක් සජබ මන්ත්‍රීවරු සිය දැනුවත් වීම සඳහා හර්ෂගෙන් ඉරාන්ගෙන් මේ පිළිබඳ විමසද්දී ඔවුන් කියා තිබුණේ මහබැංකුවට මුදල් අච්චු ගැසිය හැකි බවට වූ කතාවකි.
මේ පසුබිම යටතේ අලුතින් මුදල් මුද්‍රණය කොට ඇති බවට වූ තොරතුරක් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද ලැබී තිබිණි. ඒ, සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වත්මන් ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් සිදුකරමින් සිටින බවට වූ තොරතුරකි. ඒ අනුව සජිත් එම තොරතුරේ සත්‍ය අසත්‍යතාව සෙවීම සඳහා විශේෂ කමිටුවකට එය භාරදීමට පසුගිය සතියේ පියවර ගත්තේය. සජිත් තීන්දු කොට ඇත්තේ ඒ තොරතුරු තමා වෙත ලැබීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු සහිතව රටට කරුණු ඉදිරිපත් කිරීමටය.
කෙසේ වෙතත් මෙහි ඇති ගැටලුව වන්නේ හිටපු ප්‍රධාන විපක්ෂය ලෙස සහ විපක්ෂයේ ආර්ථික විශේෂඥයන් ලෙස හර්ෂලා, ඉරාන්ලා මේ පිළිබඳ නිශ්චිත අදහසක් ඉදිරිපත් නොකරමින් ජනතාවට දැනෙන ආකාරයේ පැහැදිලි කිරීමක් නොකිරීමය. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ හෝ මේ සම්බන්ධයෙන් රට දැනුවත් කිරීමට හර්ෂලා ඉරාන්ලා කටයුතු කරනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය.
රන්ජන් දිලිත් ගැටුම
පසුගිය කාලයේ ලංකාවේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව තිබුණේ හොරු ඇල්ලීමය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී මහින්දව පරාජය කොට මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළේ හොරු අල්ලන බව කියමිනි. අන්තිමේදී හොරු ඇල්ලීම කෙසේ වෙතත් මෛත්‍රීපාලගේ ආණ්ඩුව කඩාගෙන වැටුණේ හොරු ආණ්ඩුව ඇල්ලීම හේතුකොට ගෙනය. ඉන් පසුව මාලිමාවද බලය ගත්තේ හොරු අල්ලන බවට ජනතාවට දිවුරා පොරොන්දු දෙමිනි. හොරු සැඟවූ ධනය ලංකාවට ගෙනෙන බවට පොරොන්දු වෙමිනි. තවමත් බලයට පැමිණ මාසයක් පමණක් නිසා දැන්ම මාලිමා ආණ්ඩුවේ හොරු ඇල්ලීම ගැන කතා කිරීමට කල් මදිය.
මේ කරුණු කාරණා මැද පසුගිය සතියේ හොරු ගැන අලුත් සංවාදයක් කරළියට පැමිණියේය. ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පක්ෂ දෙකකින් තරග කරන රන්ජන් රාමනායක සහ දිලිත් ජයවීර මුල්කරගෙනය. එහිදී මුලින්ම රන්ජන්ට බරපතළ චෝදනාවක් එල්ල කරමින් මාධ්‍ය හමුවකදී දිලිත් කියා සිටියේ හොරු අල්ලන බව කියමින් ඡන්දෙට එන රන්ජන් ලොකු හොරෙක් අල්ලාගෙන ඇති බවකි. දිලිත් නොකියා කීවේ රන්ජන්ගේ පක්ෂයේ හිමිකරු වන අලිරාජා සුබාස්කරන් හට බරපතළ මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති බවකි.
නමුත් රන්ජන්ද දිලිත්ගේ මේ ප්‍රහාරය අතහැරියේ නැත. පැය 24ක් යෑමට මත්තෙන් ඊට ප්‍රතිචාර දැක්වූ රන්ජන් මාධ්‍ය හමුවකදී දෙරණ නාලිකාවේ මයික්‍රෆෝනයද පෙන්වමින් කියා සිටියේ තමන්ට චෝදනා කරන දිලිත් හට ‘ඇන්ටිජන් හොරා’ යනුවෙන් චෝදනා එල්ල වී ඇති බවත්, ඉකුත් කොරෝනා සමයේදී ලංකාවට ඇන්ටිජන් කට්ටල ගෙන්වීමේදී බරපතළ වංචාක් සිදුකොට ඇති බවට චෝදනා එල්ල වී ඇති බවත්ය. රන්ජන්, ගෝඨාභය බලයට ගෙන ඒම සඳහා දෙරණ නාලිකාව කැලණියේ නයි නැටවූ බව කියා සිටියේය. එපමණක් නොව හොර ධම්මික පැණියට පවා ප්‍රසිද්ධියක් ලබාදී කතානායකවරයාට පවා ධම්මික පැණිය පෙවූ බවද රන්ජන් කියා සිටියේය.
දිලිත් කළ චෝදනාවට රන්ජන් මෙසේ පිළිතුරු ලබාදුන්නත් රන්ජන්ගේ චෝදනාවට තවමත් දිලිත්ගේ පාර්ශ්වයෙන් ප්‍රතිචාර ඉදිරිපත් නොවීම විශේෂ සිදුවීමකි.










