මෛත්‍රිපාලලා, දයාසිරිලා මෙන්ම තවත් එක් චරිතයක්ද නිදහස් උත්සව වේදිකාවේ දැකගන්නට නොලැබිණ. ඒ, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාය. මාධ්‍ය ක්ෂේත්රයේ පැතිර ගොස් තිබූ කතාවලින් කියැවුණේ ෆොන්සේකාටද නිදහස් දින උළෙලට ආරාධනා ලැබී තිබූ බවකි. නමුත් එදින ෆොන්සේකා සිටියේ කොළඹ නොව දියතලාවේය. ඒද හිටපු හමුදා නිලධාරීන් කිහිපදෙනකු සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වෙමිනි. මේ පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමඟ හිටි හැටියේම ෆොන්සේකා හමුදා නිලධාරීන් කිහිපදෙනකු සමඟ දියතලාවේ සාකච්ඡා කරන්නේ කුමක්දැයි යන්න සොයා බැලීමට බොහෝ දෙනෙක් පියවර ගත්හ. ඊට හේතුවී තිබුණේ යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව හමුදා කුමන්ත්‍රණයක් කළ බවට එදා පැවැති ආණ්ඩුවෙන් බරපතළ චෝදනාවක් ෆොන්සේකාට එල්ල වී තිබීමය. ඒ තත්ත්වය මත ෆොන්සේකාට සිරගත වීමට පවා සිදුවූ අතර ඔහුට නිදහස ලැබුණේ අදාළ කාලය සිරගෙදර ගතකළාට පසුවය.
කෙසේ වෙතත් මෙවර ෆොන්සේකා දියතලාවේ ගොස් තිබුණේ ඒ ආකාරයේ කිසිදු වැඩකට නොව හමුදාවේ වසර 50ක් ගතකළ නිලධාරීන් වෙනුවෙන් පැවැති උත්සවයකට සහභාගි වීමටය. ඊට මෛත්රිගේ ආණ්ඩු සමයේ හිටපු ආරක්ෂක ලේකම්වරයකු වූ ශාන්ත කෝට්ටගොඩ ඇතුළු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනකු සහභාගි වී සිටි අතර සුහද හමුවක් ලෙස එය සංවිධානය කිරීමට සංවිධායකවරුන් පියවර ගෙන තිබිණ. ඒ අනුව එහිදී සාකච්ඡා වූයේද දේශපාලන කරුණු කාරණා නොව අතීත යුද පිටියේදී සිදුවූ ජය පරාජයන්, විශේෂ මතක සැමරුම් සහ යුද ජයග්‍රහණය ආදී මාතෘකාය.










