හිටපු අමාත්‍යවරයෙක්, ආණ්ඩුකාරවරයෙක් මෙන්ම මව්බිම ජනතා පක්ෂයේ නායකයා වන ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත්කොට තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් හේමකුමාර නානායක්කාර මහතා වෙත ලබා දුන්නේය.
ඊට අමතරව ඒ මහතාට මෙරට සමස්ථ ගොවි ජනතාව කේන්ද්‍ර කොටගෙන ගොවි පෙරමුණක් නිර්මාණය කිරීමේ වගකීම ද පැවරී තිබේ.
කෘෂිකර්මය පිළිබඳව ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුමකින් යුක්ත හේමකුමාර නානායක්කාර මහතා ඒ පිළිබඳව පර්‍යේෂන මට්ටමේ කටයුතු රැසක් සිදුකළ චරිතයකි.
හේමකුමාර නානායක්කාර මහතා දේශපාලනය ඇරඹුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි.
1994 දී ඔහු අනුර බණ්ඩාරනායක මහතා සමග එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට බැඳුණේය.
එතැන් සිට එජාපය බලයට ගෙන ඒම උදෙසා විශාල කාර්‍යභාරයක් ඉටු කළ ඒ මහතා 2000 දී ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වූ අතර 2001 දී නැවත පත්වී එ.ජා.ප. ආණ්ඩුවේ ඇමැති ධුරයක්ද දැරීය.
පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම උදෙසා නිරන්තරයෙන් පෙනී සිටි ඒ මහතා යහපාලන ආණ්ඩුව සමයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට පත්විය.
පසුගිය මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගය සමග එක්වූ ඒ මහතා මව්බිම ජනතා පක්ෂයේ නායකයාද වෙයි.










